Thursday, April 25, 2024

ගෑස් වෙනුවට පානුයි පරිප්පුයි දාල බලන්න – පාරිභෝගික කටයුතු අධිකාරියට අභියෝගයක්

 

පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවට චෝදනා කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගෑස් වෙනුවට පාන පාන් සහ පරිප්පු ආදේශ කල විට පාන් සහ පරිප්පු නැති සියලුම ආපන ශාලා වසා දැමීමට සිදුවන බව කියයි.

2003 අංක 09 දරණ පාරිභොගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ බලතල අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභොගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසිනි.

එම නිවේදනය පහතින් දක්වා ඇත.

බර අඩු ගෑස් අලෙවි කරනු ලබන බවට වන පාරිභෝගිකයින්ගේ පැමිණිලි පසෙකලා පාරිභෝගික අධිකාරිය විසින් ගෑස් අලෙවි කිරීම සදහා වන අමුතුම පන්නයේ ගැසට් පත්‍රයක් 2021/06/09 දින දින නිකුත් කොට ඇත.

අංක 2231/8 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාරිභෝගික අධිකාරිය විසින් විධාන අංක 78 යටතේ සදහන් කරන්නේ ගෑස් අලෙවි කිරීම සිදුකරනු ලබන වෙළදසැල් තුළ මිලදී ගැනීම සදහා 12.5 කිලෝ ග්‍රෑම් ගෑස් සිලින්ඩර තිබිය යුතු බවට ගෘහස්ත ගෑස් සිලින්ඩර නිෂ්පාදකයින්ට හා වෙළදුන්ට අදාල විධානය සිදුකරන කරන බවයි. තවදුරටත් එම විධානයේ සදහන් වන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩර සන්තකයේ හෝ භාරයෙහි හෝ තම පාලනයේ තිබෙන වෙළෙන්දෙකු විසින් 12.5 බරැති ගෑස් සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම නොකළයුතු බවයි.

මෙම ගැසට් පත්‍රයේ සදහන් වගන්ති වලින් හැගෙන කරුණු දෙකම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ සදහන්ව තිබියදී මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පෙනී යන්නේ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට තම ආයතනය පාලනය වනු ලබන 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත පිළිබදව කිසිදු දැනුමක් නොමැති බවයි. ඒ අනුව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට හා නිළධාරීන්ට අපට කීමට ඇත්තේ 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ 15(1) වගන්තිය හා 16(ආ) වගන්තිය මේ මාසයේ වැටුප ගැනීමට පෙර හොදින් කියවන ලෙසය. මක්නිසාද යත් අදාල වගන්ති යටතේ ගෑස් සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට පනතේ නීති ප්‍රතිපාදන තිබියදී නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් තවත් ගැසට් ගසමින් පාරිභෝගිකයා ගොනාට ඇන්දවීමට කටයුතු කරන බැවිනි. එසේ වන්නේ මෙම විධානයේ පළමු ඡේදය හා දෙවැනි ඡේදය එකිනෙකට පරස්පරවීම නිසාය.

අදාල ගෑස් සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක නොකරමින් ගෑස් අලෙවි කරනු ලබන වෙළෙන්දන් සදහා නීතීය ක්‍රියාත්මක කිරීමට ගැසට්පත් නිකුත් කිරීම පිළිකුලෙන් යුක්තව හෙල‌ාදැකිය යුතු අතර මෙම ගැසට් පත්‍රයට අනුව හැගීයන්නේ කිලෝ ගෑම් 12.5 ගෑස් සිලින්ඩර නිෂ්පාදකයා විසින් කුමන හේතුවක් නිසා හෝ වෙළදසැල් වෙත ලබා නොදුන්න හොත් එම වෙළදසැල වසා දැමිය යුතුය යන්නයි. එසේ නොවුන හොත් පාරිභෝගික අධිකාරිය විසින් අදාල වෙළදසැලට එරෙහිව නඩු පැවරිය හැක. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ගෑස් සිලින්ඩර අලෙවි කරනු ලබන්නේ සිල්ලර වෙළදසැල් වල නිසා කිලෝ ගෑම් 12.5 ගෑස් සිලින්ඩර නොමැති නම් එම සිල්ලර වෙළෙදසැල් වසා දැමිය යුතුය. එම සිල්ලර වෙළදසැල් වසා දැමීම නිසා පාඩු සිදුවන්නේ පාරිභෝගිකයින්ට මිස පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට හෝ ගෑස් සමාගම් වල නිළධාරීන්ට නොවේ.

නිළධාරීන් විසින් ගන්නා මෙවැනි අදූර්දර්ශී ක්‍රියාමාර්ග නිසා රජය අපහසුතාවයට පත්වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සදහා මෙසේ කටයුතු කරන වාද යන්න පිළිබදව නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අපගේ හැගීමයි.

අප විසින් එසේ සදහන් කිරීමට කරුණු අප සතුව ඇති අතර ඉන් එක කරුණක් මෙසේ සදහන් කරමු.

මේ වනවිට වෙළදපොලේ විවිධ බර ප්‍රමාණයකින් යුත් ගෑස් සිලින්ඩර අලෙවි කරනු ලබයි. එනම් කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර ඒ අතර වෙයි. එපමණක් නොව මෑතකදී හදුන්වාදුන් ලීටර 18 සිලින්ඩරද වේ. කිසියම් ආකාරයට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර විකුණා අවසාන වුවහොත් හෝ නිෂ්පාදන සමාගම විසින් එම ගෑස් සිලින්ඩර කිසියම් හේතුවක් නිසා වෙළදසැල් වෙත ලබා නොදුන හොත් අදාල ගැසට් පත්‍රයට අනුව අදාල වෙළදසැලට විරුද්ධව කටයුතු කල හැක. එම නිසා එම වෙළදසැල් හිමියන්ට ඉන් බේරීම සදහා සිදුවන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර ලැබෙනතුරු අදාල වෙළදසැල වසා දැමීමටය. ඒ අවස්ථාවේදී අනෙක් ගෑස් සිලින්ඩර වලට කරනු ලබන්නේ කුමක්ද යන්න දන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගැසට් පත්‍රය සකස් කල නිළධාරීන් පමණි.

මහා පරිමාණ සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වන පාරිභෝගික කටයුතු අධිකාරිය කුඩා වෙළදසැල් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම තැලෙන යකඩයට උඩ පැන පැන තැලීමක් වන අතර පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිතුක් කොට ඇති අංක 2231/8 දරණ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මුහුණ සමග තිබෙන තරහට නහය කපා ගැනීමක් වන බවත් තවත් විදියකට කිවහොත් පය බරුවාට බෙහෙත් බැදීමක් වන බවද කිවහැක.

ඉදිරියේදී සෑම හෝටලයකම පරිප්පු හොදි තිබිය යුතු අතර පරිප්පු හොදි නැති හෝටල් වලට නීතිය ක්‍රියාත්මක කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ මහජන මුත්තා හා ගෝලයෝ රොත්ත විසින් වන විධානයක් පැනවුවහොත් අප පුදුම විය යුතු නැත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news