Friday, May 3, 2024

කොවිඩ් 19 වැළැක්වීමේ නාමයෙන් පොලීසිය තවත් අහිංසකයෙක් මරයි! (වීඩියෝ සහිතයි)

ඡායාරුපය: මිය ගිය මොාහාමඩ් අලීෆ්ගේ අසරණ වූ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා.

සංචාරක සීමාවන් උල්ලංඝ‍නය කළැයි පානදුර උතුරේ වට්ටලපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පානදුර උතුර පොලීසිය කියන්නේ පොලිසියට රැගෙන යමින් සිටියදී මෙම පුද්ගලයා පොලිස් ජීප් රථයෙන් වැටී ඇති බවයි.

මොහොමඩ් අලීෆ් නම් 42 හැවිරිද මෙම පුදගලයා දෙදරැ පියකු වන අතර එක් දරුවකු අංග විකල බව දැක්වේ.

ජීප් රථයකින් වැටී පුද්ගලයකු මියයාම ඇදහීමට දුෂ්කර කතාවකි.

ඔහුගේ බිරිද කියන්නේ එහුට පහරදී මරා දමන ලද බවයි. සිංහල බසින් ඇය කියන අදහස් සදහා තප්පර 45 සිට නරඹන්න.

මෙයට දින තුනකට පෙර මඩකළපුවෙහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යැයි සැක පිට අත්අඩංගුවට ගත් 22 හැවිරිදි චන්ද්‍රන් විදූෂන් පොලිස් කූඩුවෙහිදී මිය ගියේය. ඔහු මිය ගියේ අයිස් නම් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීමෙන් බව මරණ පරීක්ෂන වාර්තාව කියන්නේ යැයි පොලීසිය කී කතාව පවුලේ අය ප්‍රතික්ෂේප කළහ. සිය පුතාට පොලීසිය දරුණු ලෙස පහර දෙන බව තමා දුටුවේයැයි ඔහුගේ මව ජනමාධ්‍ය ප්‍රකාශ කළාය. එම ගමෙහි තවත් අය එම පහර දීම දැක තිබේ.

නමුත් දැන් නීතියට අනුව එම තරුණයා මත්දුව්‍ය ලෝලියෙකි. මැරුණේ ඒ නිසාය!

පානදුරයේ දී පොලීසියේ නොසැළකිල්ලෙන් මරා දැමු  පුද්ගලයා  වට්ටලපොල පදිංචිකරුවෙකි

නිරෝධායන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් වින්දිතයා ඥාතියෙකුගේ නිවසකට යමින් සිටි බව පොලීසිය පවසයි.

ඔහු පොලිස් ජීප් රථයකින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පානදුර උතුරු ප්‍රදේශයේ සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහන පවසා තිබේ. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකුගේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වීමය.

මෙයට පෙර වැලිගමදී දින තුනක් කෑමට යමක් නැතිව සිට කෑමට යමක් සොයා යමින් සිටි පුද්ගලයතුට පොලීසියේ සේවකයකු පොලිස් නිලධාරීන් ඉදිරියෙහි දී පහරදී මරා දමන ලදී. එම පුද්ගලයා මහ මඟ ඇද වැටීමෙන් පසු බස් රථයක් ඔහුගේ සිරුරු උඩින් ධාවනය කරනු ද සීසී ටීවී දර්ශන වල දැක්වේ. එම බස් රතය ධාවනය වන්නේ පොලීසිය බලා සිටියදීමය.

එසේ මරා දැමුණේ සිය දරු පවුල නඩත්තු කළ සුසිල් ඉන්ද්‍රජිත්ය.

ශ්‍රී ලංකාවේ පොලීසිය අහිංසක මිනිසුන් මරා දමා දඩුවම් නොලබා සිටීමේ අයිතිය ඇති සංස්ථාවකි.

මේ යුගයේ මහම ඛේදවාචකය වන්නේ යහපත් මිනිසුන්ගේ නිහඩතාවයයි.

පානදුර සිදුවීමේ මූලාශ්‍රය නිව්ස් හබ්

 

Archive

Latest news

Related news