Friday, April 19, 2024

අඳුර කොතරම් ගලා හැලුනද – මාවතක් ඇත ප්‍රදීපය වෙත…

වැහිබරෙන් යුතු වලාකුළු පොද
නැතද අහසේ බැලූ බැල්මට
එහෙත් වැහිබිඳු වැටි ඇති සැටි
මටත් රහසින් මගේ උරමත

කඳුළු කැට ලෙස ගලා බසිනා
නුඹේ සොම්නස් දෙනෙත් තරු එළි
සුළඟ සමගින් ඔහේ මුසුවුණ
මඟක් සොයමින් ඔහේ ඇවිදින
ග්‍රීස්මය වෙත පාර පෙන්වන
කිරණයක් විය සමහරක් විට…

හිරු රැසෙන් මහ පොළොව නැහැවුන
ප්‍රභාවත් වූ දිනක් අබියස
වළා කෝඩය තල්ලු කරමින්
ඇස් රුවාගෙන නිරතුරුව මම

වැස්ස පතිතන තිමිරකඩ යට
තෙතින් බරිතව වෙහෙස වෙමි මම
අන්ධකාරය තල්ලු කරනට
ඔබේ වාරුව ඕනෑමයි මට

ගීතයක් ඇත රිද්මයක් නැත
පාළු මාවත සහමුලින් ගෙන
තනිව සරණා මගේ තනියට
සුනඛයෙක් ඇත සෙවණැල්ල යට

නොදැනුනත් මේ ගෙවෙන කාලය
ඔබව එනතුරු මඟ බලාගෙන
ලුහුබඳිමි අර අඳුරු තිමිරය
පතිත කරනට සැඩ දිවාකර

අඳුර කොතරම් ගලා හැලුන ද
මාවතක් ඇත ප්‍රදීපය වෙත
තවත් දවසක් ගෙවී යන තැන
අන්ධකාරය තුරන් වනු ඇත

පළායන ඒ අඳුර අතරින්
උදෑසන ඔබ සිනාසෙනු ඇත
ඒ සිනාවේ උදා කිරණින්
මගේ ජීවය පහන් වනු ඇත….

Bruce Springsteen විසින් ගායනා කරන අතිශයින් ජනප්‍රිය ගීතයක් වන Waiting on a Sunny Day ගීතයේ ඡායා අනුවාදයකි. සෑම අතිකින්ම අඳුර ගලා එන බලාපොරොත්තු රහිත මේ හෝරාව තරණය කර ආලෝකය වෙනුවෙන් බලාපොරොත්තු දල්වන මෙම ගීතය අද මේ මොහොත වෙනුවෙන් වඩාත් ගැළපේ යයි සිතූ බැවින් මෙසේ පළ කරමි….
මුල් ගීතය සඳහා පහත ලින්කුව පාවිච්චි කරන්න

Mahesh Hapugoda මහුණු පොතිනි.

Archive

Latest news

Related news