Friday, March 29, 2024

කවි: සහෝදරයට මතක නැතුවැති, එහෙම නැත්නං වලදාලා ඇති- චූලානන්ද සමරනායක

සහෝදරයට මතක නැතුවැති
එහෙම නැත්නං වලදාලා ඇති
පාර දිග පෙලපාලි ගියහැටි
පංති සතුරට තග දාපු හැටි

උස්සලා අත් දෙකම ඉහලට
මිට මොළවලා කෑ ගහපු හැටි
බිම හෙලන තුරු සූරා කන්නන්
සටන් වදිනට සපථ කළ හැටි

මාක්ස් එංගල්ස් ලෙනින් ට්රොට්ස්කිද
චේ ගෙවාරා මාඕ සිහි කර
කස්ත්රො වගෙ රැවුලත් වවාගෙන
රතු කොඩිය යට සටන් කළ හැටි

දාස් කැපිටාල් ඇන්ටි ඩූරිං
කොමියුනිස්ට් පක්ෂයෙ ප්රකාශනෙ
යගදාව සේ ලෙලව ලෙලවා
සතුරු බලමුළු සසල කළ හැටි

ජාතිවාදෙට බැට දුන්න හැටි
බලය බෙදනට තර්ක කළ හැටි
පැත්ත ගෙන පීඩිත දනන්ගේ
බහුතරය ගොළු කර දැමූ හැටි

සහෝරදයට මතකු නැතුවැති
කෙසෙල් ලෙල්ලට පය තියපු හැටි
ජාතිවාදී නරුම කඳවුර
කර තියාගෙන බයිල කිවු හැටි

සූපවේදී විද්වතෙක් වගෙ
අසූචිද අයිසින් දැමූ හැටි
මහා සබ මැද කකා දත්මිටි
ප..යා කියමින් ජෝක් වුන හැටි

සහෝදරයට මතකු නැතුවැති
රතු කමිසයක් ඇඳන් හිටි හැටි
ජාත්යන්තර ගීය ගයමින්
මැයි දිනේ පෙලපාලි ගිය හැටි

සහෝදරයට මතක නැතුවැති
එහෙම නැත්නං ඒ තමයි හැටි
දාස් කැපිටල් දවා හළු කර
දහස් කැපිටල් අගයනා හැටි

මිය ගියත් මහ මුහුද සදහට
ලැබෙන වන්දිය ඉව කරන හැටි
තමන් ගරු කළ දර්ශනය මත
කැත නැතුව වර්චස් හෙලන හැටි

නෙලුම් නටුවක් හිරවුනා වගෙ
ඇඹරි ඇඹරී තටමනා හැටි
මල ද ජීවත්වන්නවුන් මැද
පණ පිටින් මල කඳක් වෙන හැටි

කබර මස් තලගොයි කරන හැටි
ජන සතුරො වීරයො කරන හැටි
සහෝදරයට මතක නැතුවැති
එහෙම නැත්නං ඒ තමයි හැටි

සහෝදරයා දන්නෙ නැතුවැති
එහෙම නැත්නං වැඩක් නැතුවැති
සාදුකින් පෙලෙනවුන් හැම තැන
සහෝගේ මවු ගුණ ගයන හැටි

සහෝදරයට හොඳට මතකැති
හිතල අමතක කරනවා ඇති
ඔහොම යන්නට වැඩි කැමති ඇති
අපිට නං එහෙමයි පෙනෙන හැටි

ඉතිහාසයේ රන් පොතක් ඇති
ඒ ළඟම කුනු බක්කියත් ඇති
අපි ඉතින් මොනවා කරන්නද
සහෝදරයගෙ කැමැත්තේ හැටි

Archive

Latest news

Related news