Wednesday, May 1, 2024

මෙරටට ලැබුණූ කොවිඩ් එන්නත් ලක්ෂ ගණනාවකට සිදුවූ දේ ගැන ලංකා ගුරු සංගමය විගණනයක් ඉල්ලයි.

ප්‍රමුඛ කණ්ඩායම්වලට එන්නත් ලබානොදී  එන්නත් මුදලට ලබාදීම හෝ විවිධ දේශපාලන අනුග්‍රහයෙන් යටතේ එන්නත් ලබාදීම සිදු වන්නේ නම් එය මහජන දේපළ අවභාවිතාවක් බව ප්‍රකාශ කරන ලංකා ගුරු සංගමය මෙරටට ලැබුණූ සියලුම එන්නත් පිළිබඳව විගණනයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවෙක් ඉල්ලා සිටී.

විගණකාධිපතිතුමා
විගණකාධිපති දෙපාර්තමේන්තුව
පොල්දූව පාර,
බත්තරමුල්ල.
විගණකාධිපතිතුනි,

කෝවිඩ් 19 වසංගතය වැලැක්වීම සඳහා ප්‍රදානයන් ලෙස ලැබුණ එන්නත් භාවිතා කළ ආකාරය සම්බන්ධයෙන්
විගණනයක් කරන ලෙස ඉල්ලීම

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් 2021.05.24 දිනැතිව යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් පරිදි ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස Covishield එන්නත් මාත්‍රා 500,000 ක් ලැබී ඇති අතර, එම වර්ගයෙන්ම තවත් එන්නත් මාත්‍රා 500,000 ක් මිලට ගෙන ඇත.

එසේම ජාත්‍යන්තර එන්නත්කරණ ව්‍යාපෘතිය අනුව COVAX යටතේ එන්නත් මාත්‍රා 264,000 ක් ලැබී ඇත. චීන රජයෙන් Sinofarm එන්නත් මාත්‍රා 600,000 ක් ලැබී ඇති අතර, රුසියාවෙන් Sputnik එන්නත් මාත්‍රා 15,000 ක් ලැබී ඇත.

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුකරන ලද එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බව දිගින් දිගටම
වාර්තා විය. එන්නත් මුදලට විකිණීම, විවිධ දේශපාලන අනුග්‍රහයන් යටතේ එන්නත් ලබාදීම ආදිය ඒ තුළ වාර්තා විය.

එසේම නිතර මහජනතා සමග සම්බන්ධ වන වෘත්තික කණ්ඩායම් ගණනාවක් දිගින් දිගටම තමන්ට එන්නත් ලබාදෙන
ලෙස විවිධ බලපෑම් සිදුකරමින් තිබේ. පසුගිය මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගය පැවති අවස්ථාවේ විභාග කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදෙන ලෙස අප විසින් ද ඉල්ලා සිටි අතර, විභාග කොමාසාරිස්වරයා ද විභාග කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී. එහෙත් විභාග කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම ද සිදු නොවුණි.

එසේම පාසල් විවෘත කිරීමට පෙර ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා ගුරුවරුන්ට එන්නත් ලබාදෙන ලෙස ද අප විසින් ඉල්ලා සිටින ලදී. එහෙත් මේ දක්වා ගුරුවරුන්ට එන්නත් ලබාදීමට කටයුතු සිදු වී නැත. මෙසේ ප්‍රමුඛ කණ්ඩායම්වලට එන්නත් ලබානොදී ඉහත ආකාරයෙන් එන්නත් මුදලට ලබාදීම හෝ විවිධ දේශපාලන අනුග්‍රහයෙන් යටතේ එන්නත් ලබාදීම සිදු වන්නේ නම් එය මහජන දේපළ අවභාවිතාවකි.

මේ පිළිබඳව අවධානය යොමු කොට මෙරටට ප්‍රදානයන් ලෙස ලැබුණු හා මිල දී ගන්නා ලද එන්නත් භාවිතා වූ
ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමු.

ජොසප් ස්ටාලින්

ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය

Archive

Latest news

Related news