Wednesday, May 1, 2024

වැඩකරන ජනතාව එන්නත් ඉල්ලූ විට අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම මර්දනීය කි‍්‍රයාමාර්ගයක් -වැඩ කරන ජනබලය

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ විවිධ ක්ෂේත‍්‍රවල වැඩකරන ජනතාවට ප‍්‍රමුඛතාවය ලබා නොදී විවිධ දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව එන්නත් ලබාදීම මේ වන විට සිදුවෙමින් පවතී. මේ තත්වය තුළ ක්ෂේත‍්‍ර ගණනාවක වැඩකරන ජනතාව එන්නත් ලබාදෙන ලෙස බල කරමින් විවිධ වෘත්තීය කි‍්‍රයාමාර්ග ගන්නා බවට ප‍්‍රකාශ කරමින් තිබුණි. එසේම ග‍්‍රාම නිලධාරීන් කෝවිඞ් 19 රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වූයේ එන්නත් ලබාදෙන ලෙස බල කරමිනි.

දැනටමත් කෝවිඞ් මර්දන රාජකාරිවල යෙදන හා අත්‍යවශ්‍ය සේවාවල යෙදනෙ බැංකු සේවකයන්, ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, බස්රථ සේවකයන්, දුම්රිය සේවකයන්, වරාය හා තැපැල් ආදී සේවාවල කටයුතු කරන සේවකයන් විශාල පිරිසක් කෝවිඞ් 19 ආසාදිතයන් බවට පත් වී ඇත. මෙම තත්වය මත ඔවුන් තමන්ට එන්නත් ලබාදෙන දෙස ඉල්ලමින් විවිධ බලපෑම් කරමින් සිටී.

වෘත්තීය කි‍්‍රයාකාරීත්වයන් මර්දනය සඳහා යොදා  ගෙන ඇති ඉහත අත්‍යවශ්‍ය සේවා නියෝග වහා ඉවත් කරනු!

ඔවුන්ගේ එම මානූෂීය ඉල්ලීමට ඇහුම්කන් දී කෝවිඞ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවට 2021 මැයි 27 දිනැති 2229/8 දරණ අති විශේෂ ගැසට්පත‍්‍රය මගින් ජනාධිපතිවරයා විසින් වරාය, ඛනිජතෙල්, ප‍්‍රවාහනය, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහාකාර නිලධාරීන් ඇතුළු දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ක්ෂේත‍්‍ර මට්ටමේ සිදුකරන සියලූ කටයුතු, ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලූම රාජ්‍ය බැංකු හා පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසල කළමනාකරණ සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප‍්‍රකාශයට පත් කරන ඇත.

මෙම සේවාවල කටයුතු කරන පිරිස් ඍජුවම මහජනතාව හා විවිධ පාර්ශව සමග කටයුතු කරන පිරිස් වන අතර, ඔවුන් කෝවිඞ් 19 අවදානමට ඍජුවම ලක්වන පිරිස්ය. මෙම තත්වය තුළ මේ ආකාරයෙන් එම සේවා අත්‍යවශ්‍ය සේවා  බවට පත් කිරීම වෘත්තීය කි‍්‍රයාමාර්ග මර්දන කිරීම සඳහා ගන්නා ලද මර්දනීය පියවරක් බව ‘වැඩකරන ජන බලය’ ලෙස අපි ප‍්‍රකාශ කර සිටින අතර, එම මර්දනකාරී තත්වය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සිටිමු.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පවතින නීති ප‍්‍රතිපාදන අනුව ඉහත මර්දනකාරී ගැසට් නිවේදනය නිකුත් කර ඇති බැවින් ග‍්‍රාම නිලධාරීන් විසින් තම වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද දහවල් තාවකාලිකව නරත කරන ලදී. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශී‍්‍ර ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්.ඒ. අතුල සීලමන් ආරච්චි මහතා සඳහන් කර ඇත්තේ මෙය ශ‍්‍රී ලංකාවේ වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට වැට බැඳීම සඳහා රජයකට යොදා ගත හැකි ප‍්‍රබලම අවියක් බව නීතිඥයින් ප‍්‍රකාශ කර සිටි බවයි. මේ තත්වය තුළ වෘත්තීය කි‍්‍රයාමාර්ග මර්දනය සඳහා රජය මෙම අත්‍යවශ්‍ය සේවා නියෝග නිකුත් කර ඇති බව තවදුරටත් පැහැදිලි වේ.

ඉහත සේවාවන්වල යෙදෙන පිරිස් සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාවය ලබාදී ඔවුන්ට කෝවිඞ් 19 වැලැක්වීමේ එන්නත් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙසත්, වෘත්තීය කි‍්‍රයාකාරීත්වයන් මර්දනය සඳහා යොදා  ගෙන ඇති ඉහත අත්‍යවශ්‍ය සේවා නියෝග වහා ඉවත් කරන ලෙසත්, කෝවිඞ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල දේශපාලන මැදිහත්වීම්වලින් හා ඥාති සංග‍්‍රහයන්ගෙන් තොරව විධිමත්ව කි‍්‍රයාත්මක කරන ලෙසත් බලකර සිටිමු.

මෙයට,

ජොස්ප් ස්ටාලින්

රවී කුමුදේශ
ජගත් ගුරුසිංහ
 චින්තක බන්ඩාර
වැඩ කරන ජන බලය

Archive

Latest news

Related news