Tuesday, July 16, 2024

පිස්සකුගේ දින සටහන්: “මං දැං වහලෙක් සත්තාමි”

ජිං පිං මහප්පා අපේ රැකවරණය බාරගත්ත වාසනාවන්ත දවසට කලින් අනිද්දා—

ඉල්ලංකාවේ වසනා පින්බර පුතුන් සියයක් නොව හැටහුටාමාරක් ජනතාවගේ සුවර්ණමය කාලය උදාවෙමින් තිබෙනවාය.

දැන් අපිට ඉස්සර වාගේ එක එකාට පදිරි වෙන්නට කාරණාවක් නැත. අවස්සය තරං රෝග පරබේද තියෙන නිසා තමන්ට කැමති එහෙකින් වැලඳ ගන්නට පුරවැසියාට ඉඩ තිබේ.

කැමති නං ජිං පිං මහප්පාගේ එක ඒත් නැත්නං මෝදි බාප්පාගේ එක ඒත් නැත්නං පර සුද්දාගේ එක ආදි වසයෙන් තමන්ට කැමති කොරෝනාවක් හදාගන්නට තරං බඩු සුලබය.

මේ යන තාලෙට නං වැඩි කල් නොයවා ඉල්ලංකා පරබේදයක් වුනත් ලෝකයාට දායාද කරන්නට අපිට වාසනා මහිමය පාත් වෙන්නත් බැරි නැතුවාය. අනෙක් අතට දැන් අපිට වැස්සින් ගැන වද වෙන්නට කාරණාවක්ද නැත.

ජිං පිං මහප්පාගේ එක මදි නං පුටිං ලොකු අප්පච්චිගේ එක තිබෙනවාය. ඒත් මදිනං මොඩානා පයිසර් ආදි වසයෙන් බඩු සුලබය. එහෙවු එකේ දැං අපිට බය වෙන්නට කාරණාවක් නැත. ඒ කියන්නේ හොඳටම කරන්නට දැන් අපිට පුලුවන් කියන එකය.

පොඩි පරහකට ඇත්තේ තවමත් කට කමසිරියාවක් නැති එකාලා ඔලොක්කු කතන්දර ලියන එකය. මේ ඊයේ පෙරේදා ඒ වගේ එකෙක් අලුකුත්තේරු කතාවක් ලියලා තියෙනවා දැක්කෙමි. ඒ කතාව ලියපු එකා කිසිම දේසප්පරේමයක් නැති එකෙක් බව ඉස්සරියෙන්ම ලියන්නට ඕනැය.

ඌ ලියාලා කියාලා තිබුණේ ජරමානුලන්තයද මොකක්ද කොදෙවුවක රට කොරනා සන්ජුලා මැකරල්ද මොකියද්ද කියාපු කතාවක් ගැනය. ඒ උන්දෑ කියලා තියෙන කතාව මෙන්න මෙයාකාරය.

අපිට කොරෝනා ආපු වේලේ මං ඒකෙ මර්දන කටයුතු සවුක්කිය අංසයට දුන්නෙමු. ඒ මං ඒ ගැන දන්නේ නැති හින්දාය. ඒ ගැන දන්නේ සවුක්කිය බලදාරීන් හින්දාය. ඔය ඉස්තිරියාව කියලා තියෙන කතාව ඔන්නොහොමය.

රටකට ආදරේ ඇති කිසිම පාලකයෙක් ඔය වගේ ගොං කතා කියන්නේ නැත. මහා විසාල සවුක්කිය වියසනයක් එනකොට සවුක්කිය බලදාරීන්ට ඒක බාරදෙන්නට පාලකයෙක් හිතනවා නං ඒ පාලකයෙක් වෙන්නට බැරිය. ඒ හින්දා ඒ මැකරල් කියනා කතාව දනිං ඉහලට ගන්ට නාකය.

සවුක්කිය වියසනයකදී හොඳටම කරන්නට පුලුවන් සවුක්කිය බලදාරීන්ට කියලා හිතන එකාලාගේ මොලය වහාම පරීස්සා කරන්නට ඕනැය.

අනෙක් අතිං ඉල්ලංකාවේ තත්වය ඒ වගේ නෙමේය. අපේ රටේ සවුක්කිය වියසනයකදී සවුක්කිය බලදාරීන්ට උපදෙස් දෙන්නට පුළුවන් තරං වයිද්දිය දැනුමක් ඇති ජහමන නියෝජිතයෝ අපිට ඉන්නවාය.

ඒ අයට රටේ පමණක් නොව ලෝකේම වෙද්දුය. මුහුද යට තියෙනා ගල් කවුන්සිලේ සිට පුපුරුවන්නට උන්දැලා සමත්ය. ජහමනයාට මෝඩකොමට පෙනෙනා ඕනැම දූසනයක් සුබාවිත ගනුදෙනුවක් කරන්නට ඒ උත්තමයෝ සමත්ය. ඉතිං එවන් රටේ වෙදාලා පිරිසක් කවුන්සිලේ ඉන්නැද්දී සවුක්කිය බලදාරීන්ට මෙවුවා බාර දීලා ඒ හාදයන්ගේ උපදෙස් පිට වැඩ කොරන්නට අපේ උත්තමයොන්ට පිස්සු පීකුදු නැති බව ජහමනයා වටහා ගත යුතුය.

ජහමනයා දැං කරන්නට තියෙන්නේ දෙදාස් පන්සීයෙං මාසයක් ජීවත්වන පහසු කාරිය කරනා ගමන් මාස් දාගෙන නිදිවදින එකය.

ඔය මැකරල් කියනා එකීව උඩ දානා ගොබිලන් ඒ ඇත්ති ගැන තවත් අනං මනං ලියලා කියලා තියෙනවා මම දැක්කෙමු. සමහරු කියනා විදිහට මැකරල්ට ඇත්තේ ගවුම් තුනක්ලු. එයා තනියෙම කඩේ යනවාලු. සමහර වෙලාවට පාරෙ බස්සෙකෙත් යනවාලු.

මේ වගේ වැඩකට නැති ජරාවල් ලියනා එකාලාගේ අතට හෙන වදින්නට ඕනෑය. ඔය මැකරල් පාලන කාරියට සුදුසු නැති බව තේරුං ගන්නට ඔය ටිකම ඇතිය. ජරමානු ලන්තය ඔය තරං නොදියුනු රාජ්ජයක් වෙලා තියෙන්නේ ඔය වගේ මෝඩ හුටංලා හින්දාය.

එහෙම නැතුව අපිට වගේ මොල මැසිං තිබ්බා නං ඔය රටට ඔහොම කෙලවෙන්නේ නැත. ගවුං තුනක් තියෙන එකියක්ව පාලනයට තෝරා ගන්නා එකාලගේ මොලේ තරම අපට හිතා ගන්නට ඇහැකිය.

රටක නායකයෙක් වුනහම ඉස්ඉස්සරෝම අඳින්නට හරි හමං ඇඳුං සෙට්ටෙකක් තියෙන්නට ඕනැය. ඒ විතරක් නෙවෙයි මුළු රටටම අන්දන්න තරං ඇඳුං ඒ උදවිය ගාව තියෙන්නට ඕනැය.

පාලනය ලේසියෙන් කොරගන්න පුළුවන් වෙන්නේ එතකොටය. මොකද කියනවා නං රටේ මහ එවුංට හරි හමන් අඳින්නට දෙයක් නෑ කියලා හිතුනොත් කිසිම රටක් අපි දිහා බලන්නේ වත් නැතුවාය. අනෙක් අතින් තමං වෙනුවෙන් කඩේ යන්නට බලු බල්ලෙක් නැති අයට චන්දෙ දෙන්නට ඉල්ලංකාවේ අපිට පිස්සු නැත.

ඔය වගේ තමං වෙනුවෙන් කඩේ යන්නට කිසිම කෙනෙක් නැතුව තනියෙම කඩේ යන මැකරල් ජරමානුලන්තය විනාස කරලා මිස පස්ස බලන්නේ නැතුවාය. ඒ හින්දා අපේ නායකයෝ ඔය වගේ නරක ආදුරුස ගන්න නාකය. ඒ ඇත්තෝ කරන්න ඕනැ තමන් කඩේ නොගිහිං පුළුවන් තරං අනෙක් උන් තමන් වෙනුවෙන් කඩේ යවන එකය.

ගෝනි නැතුව කඩේ යන උන් වැඩි වෙන තරමට රට සංවර්දනය වෙනවාය. එහෙම නොවුනොත් අපිට කියන්නට වෙන්නේ අර පීරි ගාන්නා වාගේ බර බර ගානා බංදුවා කියනවා වගේ මාර වැඩේ තමයි වුනේ කියලාය.

මේ දවස්ඔල අපේ ගෙදර නිතරම කියනා ගාතාවකින් මේ ලියමන අහවර කරන්නට තීරණය කළෙමු. මේ ගාතාව දවසට සිය වතාවක් මැතිරීමෙන් ඉහල පරතිපල ලැබෙනාව අත්දුටුවයි සත්තය.

ජිං පිං සරණං ගච්චාමී
ජිං පිං මහරජු වන්දාමි
පිං පොං ගහමින් ඉන්නේමි
මං දැං වහලෙක් සත්තාමි

Chulananda Samaranayake/FB

Archive

Latest news

Related news