Wednesday, May 1, 2024

2021 මැයි මස 01 වෙනි දින සිට ආණ්ඩුවේ අපේ කට්ටිය වෙත නිකුත් කර ඇති අදෘශමාන කෝවිඩ් මාර්ගෝපදේශ – සුදේශ් ද සිල්වා

ඡායාරූපය: රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් පැවැති  නුවරඑළිය වසන්ත සැණකෙළියෙහි මුව ආවරණ නැතිව තැගී බෙද් ශිරන්ත රාජපක්ෂ,; අශ්ව රේස්‌ තරගයේ  රැජින කුසලානය රෝහිත රාජපක්‍ෂට ලබා දෙන ලදී.

කෝවිඩ් තත්ත්වය පාලනය හා ප්‍රතිශක්තිකරණ සම්බන්ධයෙන්

1. ඔබට ලබා දී ඇති සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී ඇති බව මහජනතාව නොදනී. ඒ නිසා එම කරුණ රහසිගත කරුණක් වශයෙන් තබා ගන්නා ලෙස දැනුම් දෙමු. එය මහජනතාව දැනගැනීමෙන් රජය තවදුරටත් අසමත් බව දැනගන්නා නිසා ප්‍රවේසමෙන් කතා කරන්න.

2. සෑම අවස්ථාවකම චීන එන්නත ප්‍රචාරය කරන්න.

3. කෝවිඩ් වසංගතය, ආර්ථික ප්‍රශ්න, සංවර්ධන ප්‍රශ්න රජයට වාසිසහගත ලෙස අදහස් ප්‍රකාශ කරන්න.

4. එන්නත් ඉතා ඉක්මනින් ලැබෙන බවට දින ගණන් සහිතව පවසන්න.

5. ඔබගේ ප්‍රදේශයේ ඇති කොවිිඩ් තත්ත්වයන් පිළිබඳ තොරතුරු නිතර සÛවන්න.

6. සෞඛ්‍ය කාර්යංශය, ආරක්ෂක අංශ නොව දේශපාලන බලාධිකාරිය විසින් මෙම කෝවිඩ් තත්ත්වය නිසි ලෙස පාලනය කරන බවට අදහස් පළ කරන්න.

7. කෝවිඩ් මරණ, කෝවිඩ් මරණ නොවන බව නිතර ප්‍රකාශ කරන්න.

8. ග්‍රාම සේවා කොට්ටාශ මට්ටමින් කෝවිඩ් තත්ත්වය ගැන හුවමාරු වන තොරතුරු පාලනය කරන්න. අවම කරන්න.

9. අපගේ රටේ තත්ත්වය හොඳ බවත් ඉන්දියාව ඇතුළු දකුණු ආසියාව අසමත්බව නිතර පවසන්න.

10. පහත සඳහන් මාර්ගෝපදේශ මූලිකව ජනතාවට පනවන ලද ඒවා බව සලකන්න.

11. ක්‍රීඩා තරග, රූපවාහිනි වැඩසටහන්, වෙනත් ක්‍රියාකාරිත්වයන් සඳහා ජනතාවගේ අවධානය යොමු කරන්න.

12. අපට වාසි කුඩා සිද්ධියකට හෝ විශාල ප්‍රචාරයක් ලබා දෙන්න.

13. අපට එරෙහි වන මාධ්‍ය හා සමාජ මාධ්‍යය පාලනය සඳහා අවශ්‍ය තරම් මුදල් වියදම් කරන්න. අවශ්‍ය විටෙක අවම බලය භාවිතා කරන්න.

මහජනතාවට පනවන ලද මාර්ගෝපදේශ හා ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරිත්වය

1. සමුළු, සම්මන්ත්‍රණ, රැස්වීම්, සන්නාම දිවා භෝජන, මැයි මස 31 වෙනි දින දක්වා නිවේදනය කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට ය. එය ඔබට අදාළ නොවේ. ඒ සඳහා පළමු රැල්ල තුළදී ඔබ විසින් අනුගමනය කරන ලද විශේෂ ක්‍රමවේදයන් ම අනුගමනය කරන්න. රැස්වීම් පැවැත්වීම අවශ්‍ය අවසර ගැනීම සඳහා පී.එච්.අයි මහත්වරුන් බිය කිරීම හෝ ඔවුන්ට විශේෂ සැලකිලි ලබාගැනීමෙන් සිදු කළ හැකිය.

2. සුපිරි වෙළඳසැල්, මහාපරිමාණ අලෙවිහල්, මූල්‍ය ආයතන, රෙදිපිළි වෙළඳ සැල්, සිල්ලර වෙළඳ සැල් ක්‍රියාත්මක වීමේ දී සාමාන්‍ය ජනතාවට නීති පැනවූවද, එවැනි ආයතන වලට සියළු ආරක්ෂකයින් පිරිවරාගෙන ඇතුල්වීමට ඔබට අවසර ඇත. ඒ සඳහා කිසිඳු නිලධාරියෙක්ගෙන් අවසර ගැනීමට අවශ්‍ය නැත.

3. සංවෘත ස්ථානවල සහ විවෘත ස්ථානවල සාද පැවැත්වීම මහජනතාවට තහනම් වුවත්, එවැනි උත්සව පැවැත්වීමට ඔබට බාධාවක් නැත. බාධාවක් ඇතිවුවහොත් පළාතේ රජයේ දේශපාලන අධිකාරිය අමතන්න. ඒ සඳහා හමුදාවෙන් පැන ගිය සෙබළුන්ගේ ආරක්ෂාව ලබාගන්න.

4. ආගමික ස්ථානවල ජනතාව එක්රැස් වීම නොකළ යුතුයැයි දැනුම් දී ඇත්තේ මහජනතාවට ය. ඔබගේ ආගමික කටයුතු, බාර හාර, ප්‍රමාද වුවහොත් රජය අස්ථාවරවීමට ඉඩ ඇති නිසා ඒවා නිසි වේලාවට පැවැත්වීමට ඔබට බාධාවක් නැත. ඒ සඳහා කිසිවෙකුගෙන් විශේෂ අවසර ගැනීම අවශ්‍ය නැත. ඔබගේ නිදහස් කාලය අනුව එය යොදාගන්න.

5. සිනමා ශාලා සහ රංග ශාලා, ළමා උද්‍යාන, පිහිණුම් තටාක, පබ්, බාර්, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන සහ සම්භාහන ස්ථාන මහජනතාවට තහනම් වුවත්, ඒවා ඔබට පහසු ස්ථානයක කිරීමට බාධාවක් නැත. ඒ සඳහා විශේෂ අවසරයක් ලබාගැනීමට ද අවශ්‍ය නැත.

6. හෝටල්, තානායම්, ආගන්තුත නිවාස ආදියෙහි රඳවා තබාගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවෙන් 50% වන අතර රාත්‍රී 10.00 පසුව ක්‍රියාත්මක නොකළ යුතුය. එම නීති පනවා ඇත්තේ මහජනාතවට වන අතර ඉන් පසුව එම ස්ථානයන් ඔබට කැමති පරිදි භාවිතා කළ හැකිය. ඊට ජනතාවට ගැවසීම බාධාවක් නම් ආරක්ෂක අංශ කැඳවා ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගන්න.

7. කානිවල්, සංගීත සංදර්ශන, වෙරළතීර සාද,/ උත්සව මහජනතාවට තහනම් කර ඇති අතර. එය ඔබට අදාල නැත. නමුත් ඔබට එවැනි දේ ආරක්ෂක අංශයන්හී ආරක්ෂාව යටතේ කළ හැකිය. ඒ සඳහා රාත්‍රී කාලය යොදාගන්නේ නම් මැනවි.

8. විවෘත වෙළඳ සැල්, පොළ සහ බේකරි වෙළඳ සැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවයෙන් 25 % යැයි මහජනතාවට ඇති සීමාව ඔබ සතු ආයතනයන්ට අදාල නොවේ. කලින් විදියටම කරගෙන යෑමට ඔබට බාධාවක් නැත. සෞඛ්‍ය නිලධාරින් විමසුවහොත් ඉහළින් හා නියෝගයක් යැයි පවසන්න.

9. උසාවියෙන් මුළු ධාරිතාවයෙන් 25% දක්වා මහජනතාවට සීමා දමා ඇතත් විපක්ෂයට විරුද්ධව හා රජයට එරෙහිවන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නීතිය බාධාවක් නොව වාසියක් ලෙස යොදාගන්න.

10. බන්ධනාගාර රැඳවියන් බැලීමට මහජනතාවට අවසර නැතත් අප වෙනුවෙන් පසුගිය කාලයේ ක්‍රියා කිරීම නිසා හා විපක්ෂයට බාධා කිරිම නිසා සිරගතවූවන් වෙනුවෙන් අවශ්‍ය දේ කිරීමට ඔබට මෙම බාධාවක් නැත.

11. පාසැල්, පෙර පාසැල්, විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන, ආධාරක පංති වසා දැමුවද ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා නොනිල වශයෙන් ගුරුවර ගුරුවරියන්ගේ සහය ලබා ගැනීමට හෝ ඔවුන්ව නිවෙස් වලට ගෙන්වා අධ්‍යාපනය ලබා දීමේ කිසිඳු බාධාවක් නැත.

මෙය නිර්මාණශිලී විවේචනයක් මිස සැබෑ මාර්ගෝපදේශය නොවන බවත් ආන්ඩු පක්ෂ දේශපාලඥයන්ගේ හැසිරීම සළකා බලා නිර්මානය කරන ලද බව සළතන්න.

 

Archive

Latest news

Related news