Friday, July 19, 2024

සාමකාමී විරෝධයට ඇති අයිතිය අහිමි කිරීම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමක්. -මාධ්‍ය සංවිධාන එකතුව

ප්‍රභූ රථ පෙළකට යෑම සඳහා පොලිසිය විසින් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට එරෙහිව පසුගිය දිනෙක සාමකාමී විරෝධයක් දැක්වීමට මූලික වූ බත්තරමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි පවසමින් අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය අද (30) උදෑසන වාර්තා කර තිබූ අතර, මෙවැනි අත්අඩංගුවට ගැනීම් හරහා සාමකාමී විරෝධතාවයන් සඳහා ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇති බැවින් මාධ්‍ය සංවිධාන එකතුව ඊට දැඩි විරෝධතාවය පළ කර සිටී.

මීට අදාළ සිදුවීම සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පසුගිය දා දැක ගැනීමට ලැබුණු අතර සාමාන්‍ය ජනතාව ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කර ප්‍රභූ රථ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට එරෙහිව තරුණයකු කටයුතු කරන ආකාරය එහි දක්නට ලැබිණි. එලෙස රාත්‍රී කාලයේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලු රථවාහන නතර කර රඳවාගෙන තිබෙන්නේ කිසිදු හදිසි අවශ්‍යතාවයක් සඳහා නොව ප්‍රභූ රථ වෙනුවෙන් බව පවසමින් එහි රැඳී සිටින සියලු රථ වාහනවල නළා නාද කර විරෝධතාවය දක්වන ලෙස එම තරුණයා ඉල්ලා සිටින බව එම වීඩියෝ පටය අනුව පැහැදිලිවේ.

යම් ක්‍රියාවකට එරෙහිව තම විරෝධය දැක්වීමට ඕනෑම පුරවැසියකුට අයිතිය තිබේ. ඒ බව මීට පෙර ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ගණනාවකින්ම පිළිගෙන තිබේ. සුප්‍රකට අමරතුංග එදිරිව සිරිමල් සහ වෙනත් අය හෙවත් ජනඝෝෂා නඩුව (264 SLR (1993) 1) ඊට දැක්විය හැකි හොඳම නිදර්ශනයකි.
නළා නාද කරමින් විරෝධතා දැක්වීම ද භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියේම කොටසක් බවට එම නඩු තින්දුවෙන් පිළිගෙන තිබේ.
ප්‍රභූ රථ පෙළකට ප්‍රමුඛත්වය දීම සඳහා යම් කාල සීමාවක් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය නතර කිරීමට එරෙහිව කටයුතු කළ පුද්ගලයාගේ දේශපාලන පක්ෂය හෝ තරාතිරම අප නොදන්නා අතර ඔහුගේ ක්‍රියාව සාමකාමීව සිදුවූ බව අදාළ වීඩියෝව බැලූ බැල්මට පෙනී යයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙවැනි ආකාරයට විරෝධයක්වත් පළ කළ නොහැකි නම් එය බරපතල තත්ත්වයකි. සාමකාමීව විරෝධය දැක්වූවන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම කිසිම හේතුවක් නිසාවත් සාධාරණීකරණය කළ හැකි නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට බාධා කළ අවස්ථා සහ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය භාවිත කළ පිරිස් අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම පසුගිය වකවානුවේ ද වාර්තා විය. මෙය ඉතා බරපතල තත්ත්වයකි.

භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරමින් කටයුතු කරන ලෙසටත්, එම අයිතිය භාවිත කළ පිරිස් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙසටත් රජයට බලකර සිටින ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සියලු ජනතාවගෙන් මාධ්‍ය සංවිධාන එකතුව ඉල්ලා සිටී.

2021.04.30/මාධ්‍ය නිවේදනය

Archive

Latest news

Related news