Sunday, May 19, 2024

වසංගතය පැරදවීම හදිසි ජාතික අවශ්‍යතාවයයි; දේශපාලන පළිගැනිම් නවතනු! – කරු ජයසූරිය

මේ රටේ සෞඛ්‍ය බළධාරීන් මෙන්ම වසංගත රෝග විශේෂඥයන්ද අනතුරු අඟවා ඇති ආකාරයට මෙම වසංගත තත්වය රට පුරා වේගයෙන් පැතිර යන ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන්ම අපගේ අසල්වැසි මිත්‍රරාජ්‍යයක් වන ඉන්දියාව අදවනවිට මුහුණදී ඇති අවාසනාවන්ත තත්වයද සැලකිල්ලට ගනිමින් අප රටතුළ එවැන්නක් නිර්මාණය නොවීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම අදාළ බලධාරීන්ගේ ප්‍රථම වගකීම වී තිබේ.

එන්නත් ලක්ෂ තුනයි

එමෙන්ම මිලියන 21ක් පමණ වන අප රටේ ජනතාවට එහිදී යම් හෝ ආරක්ෂාවක් සහතික කිරීමට නම් එන්නත්කරණ ක්‍රියාවලිය සක්‍රීය කළයුතු මොහොතකට අපි එළඹ සිටින්නෙමු. සෞඛ්‍ය බළධාරීන්ගේ වාර්තාවලට අනුව මේ වනවිට රටක් ලෙස අප සතුව ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයකි. පලමු එන්නත් මාත්‍රාව ලබාදුන් ලක්ෂ 9කට ආසන්න පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදිය යුතුව ඇති මොහොතක දැනට අප සතුව පවත්නා එන්නත් මාත්‍රා ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලිය. ඒ අනුව රජය කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග සපුරාලිය යුතුව තිබේ. එමෙන්ම රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් ලබාදෙමින් මතුවිය හැකි කුමන හෝ තත්වයකට පවා සාර්ථකව මුහුණදීම උදෙසා සියලුම ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුව තිබේ. එය ඒ ආකාරයටම සිදුවනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

එමෙන්ම මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකට ජාතියක් ලෙස අප සාර්ථකව මුහුණදීමට නම් ජාති,ආගම් සහ දේශපාලන වැනි සියලු ආකාරයේ භේද බැහැර කරමින් එකට අත්වැල් බැඳ ගැනීම සෑම පාර්ශවයකම වගකීම ය. සමස්ත ජනතාවගේම පරම යුතුකම ය. එහිදී එම ආදර්ශය පලමුව ලබාදෙමින් ඒ සඳහා ප්‍රවේශ වියයුත්තේ රටේ පාලක පක්ෂය ය සහ රාජ්‍ය නායකත්වයයි.

ඒ අනුව දේශපාලනික වශයෙන් සිදුකරන්නා වූ සියලුම ආකාරයේ පලිගැනීම් නවතා සියල්ලන් වෙතම මිත්‍රත්වයේ අස්තිය දිගු කිරීම ප්‍රථමයෙන්ම සිදුවිය යුතුව තිබේ.

හරීන්ගේ සහෝදරියක් පොලීසියට කැඳවයි

එහෙත් එවැනි පරිසරයක් නිර්මාණය කරගත යුතුව තිබීයදීත් රටේ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබදව අපතුළ දන්වන්නේ බලවත් සංවේගයකි. දින කිහිපයකින් ශල්‍යකර්මයකට මුහුණ දෙනු පිණිස රෝහල් ගතව ප්‍රතිකාර ලබාගනිමින් සිටින හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සහෝදරිය පසුගියදා පොලීසියට කැඳවා ගනිමින් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කිරීමට බඳුන් කිරීම ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනකි. එම ක්‍රියාව කිසිසේත්ම සදාචාර සම්පන්න ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. මෙය මිනිස් අයිතිවාසිකම් පැහැරගැනීමකි.

එමෙන්ම රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයාට අදාළව කටයුතු සිදුවෙමින් පවතින ආකාරය සැලකිල්ලට ගැනීමේදී ද දැකිය හැකිවන්නේ එවැනිම වූ තත්වයකි. ඔහු මෙයට පෙර අවස්ථා ගණනාවකදීම අත්අඩංගුවට ගෙන මුදාහැර තිබේ. එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබදව කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශණ කොමිෂන් සභා වාර්තාව අනුවද ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් වී ඇති ආකාරයක් දක්නට නොමැති පරිසරයක් තුළ ඔහුට එරෙහිව මේ මොහොතේ යම් චෝදනාවක් නැඟීමට සාධාරණ හේතු ඇත්නම් එය නොපමාව අධිකරණයක් හමුවට යොමුකරමින් සාධාරණ නඩු විභාගයකට අවස්ථාව සලසාදීම අදාල බලධාරීන්ගේ වගකීමකි. එමෙන්ම ඔහු අත්අඩංගොඩ ගැනීමේදී අදාල අංශ හැසිරී ඇති සම්ප්‍රදාය විරෝධී ආකාරය සැලකිල්ලට ගැනීමේදී ද ඒ පිළිබදව කිසිසේත්ම සතුටුවිය නොහැකිය. අළුයම 02.00 ට පමණ කථානායකවරයා දැණුවත් නොකර මෙවන් ක්‍රියාවක් සිදු කිරීම ට කරුණු පැහැදිලි කළ යුතුය.

රිෂාඩ් ගත්හැටි පාර්ලිමේන්තුවට අපහාසයක්

එය පැහැදිලි ලෙසම පාර්ලිමේන්තුවට ද කරන ලද අපහාසයක් ලෙස සැලකිය හැකිය. කතානායකවරයාට ද එමඟින් බරපතල අවමානයක් සිදුකර තිබේ. මෙවැනි අමනෝඥ ක්‍රියාවන් මඟින් සිදුවන්නේ ත්‍රස්තවාදයට එරෙහිව මේ රටේ ආරක්ෂක අංශ හා යුක්තිය පසඳලීමට මැදිහත්වන ආයතන ගන්නා යහපත් ක්‍රියාමාර්ගයන්ද හෑල්ලුවට ලක්වීමය. සැකයට බදුන්වීමය.

ඒ අනුව අප රටේ සියලුම පාර්ශවයන්ගෙන් ඉතාමත්ම වගකීමකින් යුතුව ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය ද  ඇතුලුව මේ රටේ සිදුවූ බරපතල අපරාධයන්ට අදාල වූ සිදුකරන්නා වූ විමර්ශණ හා අනෙකුත් සියලුම නෛතික ක්‍රියාමාර්ග සමඟ පටු දේශපාලන අරමුණු එක්කර නොගන්නා ලෙසය. එමෙන්ම රටේ ජන ජීවිතයේ සුරක්ෂිතභාවයද ඇතුලු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ද විධිමත් අවධානයක් යොමුකරවමින් රටේත් ජනතාවගේත් යහපත උදෙසා අවශ්‍ය කටයුතු නොපමාව සිදුකරන ලෙසටය.

අප එක්සත් වූ විට, සමගිසම්පන්න වූ විට ඕනෑම අභියෝගයකට අපිට මුහුණ දිය හැක. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා නායකත්වය දියයුතුය. විනාශ වූ රටවල් ගොඩනැගෙන්නේ ඒ අයුරිනි.

දේශබන්ධු කරු ජයසූරිය, සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news