Monday, May 20, 2024

පාසල් දේපළ කොල්ලයක් ගැන ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි!

බප/ජය/ශී‍්‍ර විජයාරාම විද්‍යාලයේ ගේට්ටු කඩා ව්‍යාපාරිකයන් පාසලට ඇතුළු වන්නේ පාසල සංවර්ධනයට ද දේපළ කොල්ලයකට ද?

බප/ජය/ ශී‍්‍ර විජයාරාම විද්‍යාලය නුගේගොඩ හයිලෙවල් පාර ආසන්නයේ පවතින මේ වන විට ළමුන් 71 ක් පමණ ඉගෙනුම ලබන අක්කර 4 1/2 ක භූමියකින් යුතු රජයේ පාසලකි. මෙම පාසලට පසුගිය දිනෙක මදුර විතානගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සමග ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණි. මේ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිනිය විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත.

මේ අතර අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත 2021.03.16 දිනැතිව ඊඞී/08/01/01/01(ස) අංකයෙන් යොමු කරන ලද ලිපියකින් ඉල්ලා ඇත්තේ බප/ජය/ශී‍්‍ර විජයාරාම විද්‍යාලය ජාතික පාසලක් වන දේවිබාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමට අනුමැතිය ලබාදෙන ලෙසයි. ඊට හේතුව ලෙස අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය ධාරිතාව ඉතා ඉහළ බැවින් එහි ජීව විද්‍යා විෂය ධාරාවේ හා භෞතික විද්‍යා විෂය ධාරාවේ ශිෂ්‍යාවන් ප‍්‍රමාණයක් ඇතුළත් කිරීමට යෝජනා වී ඇති බවයි. එසේම උක්ත ලිපියේ වැඩිදුරටත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරන්නේ මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු එම විද්‍යාලය සංවර්ධනය කොට දේවිබාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමට එකඟවී ඇති බවයි.

මේ ආකාරයට දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් පාසල් සංවර්ධනය කරන්නට යන්නේ ගේට්ටු කඩා අයුතු ලෙස බලහත්කාරයෙන් පාසල් භූමියට ඇතුළු වී ද යන්න අප විමසා සිටිමු.

එසේම උක්ත ලිපියට පිළිතුරු ලෙස කිසිදු වග විභාගයකින් තොරව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇති 2021.03.19 දිනැති ලිපිය මගින් බප/ජය/ශී‍්‍ර විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමට එකඟතාවය ලබා දී ඇත.

එහෙත් මේ වන විට ශී‍්‍ර විජයාරාම විද්‍යාලය ආසන්නයේ පවතින මහාමයා විදුහලේ ළමුන් 300 කට ආසන්න පිරිසක් ගොඩනැගිලි පහසුකම් නොමැති නිසා ශී‍්‍ර විජයාරාම විදුහලට යොමු කිරීමට සැලසුම් කර තිබුණි. මේ තත්වය තුළ මහාමායා විදුහලේ ඉගෙනුම ලබන එම දරුවන්ට කෝවිඞ් 19 වසංගත තත්වය යටතේ වසරකට ආසන්න කාලයක් අධ්‍යාපනය අහිමිව තිබියදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ වූ 2021.03.29 දින පාසල් යාමේ අවස්ථාව ද අහිමි වූ අතර එම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසලක් නොමැති තත්වයක් මේ තුළින් නිර්මාණය වී ඇත.

මේ අතර දේවිබාලිකා විදුහලේ විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර සිටියේ දේවිබාලිකා විදුහලේ සිසුවියන් විජයාරාම විදුහලට ගෙන නොයන බවයි.

මේ තත්වය තුළ ගංගොඩවිල විජේරාම ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි කරමින් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, අධ්‍යාපන ලේකම්වරයා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා එක්ව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කුමන අරමුණකින්ද යන ගැටලූවක් පැන නගී.

දේවිබාලිකා විදුහල්පතිනය දේවිබාලිකා සිසුවියන් මෙම පාසලට ගෙන නොයන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරද්දී අධ්‍යාපන ලේකම්රවයා ඉහත ආකාරයේ ලිපියක් යොමු කරන්නේ කුමන අරමුණකින්ද යන්න බරපතල ගැටලූවකි. එසේම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තමන් විසින් අවධානය යොමු කළ යුතු පළාත් සභා පාසලේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි කරමින් ජාතික පාසලක දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම කනගාටුදායක තත්වයකි.

පාසල් සංවර්ධනයට යයි ගේට්ටු කඩා පාසල්වලට ඇතුළත් වන දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයන්ගේ තදියම් අරමුණ මෙම පාසල්වලට අයත් දේපළ කොල්ලකෑම ද යන්න සැකයට තුඩු දෙන කරුණකි.

ජෝෂප් ස්ටාලින්, ප්‍රධාන ලේකම්, ලංකා ගරු සංගමය.

Archive

Latest news

Related news