Wednesday, April 24, 2024

ජිනීවා හමුවේ සුළුදිය වැගිරී රාජපක්ෂවරු කොවිඩ් භූමිදානයන්ට අවසර දෙයි: මෙන්න හේතු!

කතා දෙකක් නෑ, කොවිඩ් මරණ අදාහනය පමණයි” කියා රාජපක්ෂවරු පාරම් බා අනෙක් පැත්ත බලන්නටත් පෙරම අද පාර්ලිමේන්තුවෙහිදී භුමිදානයන්ට අවසර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂම කියා සිටියේය.

කොවිඩ් මරණ භූමිදානයන්ට අවසර නොදෙන ලෝකයේ එකම වාර්තා වී ඇති රට ශ්‍රී ලංකාවය. රාජපක්ෂවරුන්ගේ ආදර්ශය වන චීනයේ භූමිදානයට අවසර තිබේද නැත්ද කියා දැන ගන්නට නැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, එක්සක් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ විශේෂඥ කමිටු වාර්තා දෙකක් විසින් කොවිඩ් මරණ භූමිදිනයට අවසර දීමෙහි සෞඛ්‍ය අවදානමක් නැති බව තියා තිබියදීත් රාජපක්ෂවරු සිය අවිද්‍යාත්මක මතය වෙනස් කළේ නැත.

තවද රාජපක්ෂවරුන්ගේ සටන්කාමී බලකායක් වන අන්තවාදී භික්ෂු පිරිස් කොවිඩ් අසාදිතව මරණයට පත්වන මුස්ලිම්වරුන් භුමිදානයට අවසර දුන්හොත් ඒ සමග ආණ්ඩුවද වළ දමන බවට කැහැපට ගසාගෙන තර්ජනය කළෝය.

රාජපක්ෂවාදී ජඩ මාධ්‍ය බලකායද ඒ මතය සමාජ ගත කිරීමට සිය කාලය වැය කළහ.

දැන් හදිසියේම රාජපක්ෂවරු භූමිදානයට අවසර දෙන්නෙමු යැයි කියති.

ඇයි? හේතු ගණනාවක්ම නිසාය.

එකක් නම් පොතුවිල් සිට පොලිකන්ඩ් P2P (පො2පො) දක්වා වූ දෙමළ මුස්ලිම් පා ගමනයි. මරණයට පත්න සිය ජනයා භූමිදානයට අවසර නොදීමේ රාජපක්ෂ අත්තනෝමතිකත්වය විසින් මුස්ලිම් සමාජයම එක මිටක් මෙන් නැගී සිට පො2පො පාගමනට එක්වූහ. ඊට එරෙහිව කිසිදු මුසිලිම් දේශපාලනඥයකු හෝ පූජකයකු හඬක් නැගුවේ නැත.

රාජපක්ෂවරු ඊට බිය වීය.

දෙවනුව ලබන 22 දා ජිනීවාහිදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසි වාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති දීර්ඝ වාර්තාවෙහි ද බලහත්කාර ආදාහනය හෙලා දැක තිබේ.

මෙම සැසිවාරයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවෙහි බලහත්කාර ආදාහනය හෙලාදකින ජේදයක්ද එක්වීමට නියමිතව තිබේ. එවැනි තත්වයකදී කවුන්සිලයේ ජන්දය හිමි මුස්ලිම් රටවල් අඩුම ගණනේ ජන්දය පාවිච්චි නොකර සිටීමට බොහෝ කොටම ඉඩ තිබේ.

රාජපක්ෂවරු ඊටත් බිය වීය.

එමෙන්ම ශ්‍රී ලංකාවෙහි බලහත්කාරයෙන් අදාහනය කරන ලද මුස්ලිම් ජනයාගේ ඥාතීන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අන්තර්වාර සහනයක් ලබා දෙන ලෙසද ඉල්ලා තිබේ. මෙම පැමිනිල්ල ඉදිරිපත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සහ ත්‍යගලාභී බ්‍රිතාන්‍ය නීති සමාගමක් වන බින්ඩාමන්ස් සමඟ එක්වය.

රාජපක්ෂවරු ඊටත් බිය වීය.

අවසාන වශයෙන් පෙබරවාරි 22 දින ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් බලහත්කාර භුමිදානය නතර නොකරන්නේ නම් තමාට ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීමෙන් දුෂ්කර තත්වකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වා තිබේ. ඉස්ලාමීය රටවල කවුන්සිලයේ සභාපතිත්වය දරන්නේ පකිස්ථානයයි. ඉස්ලාමීය රටවල කවුන්සිලය මේ වන විට ශ්‍රී ලංකාවේ බලහත්කාර ආදාහනය හෙළා දකිමින් ප්‍රකාශ දෙකක්ම නිකුත් කර තිබේ.

රාජපක්ෂවරු ඊටත් බිය වීය.

කොවිඩ් අසාදිතව මරණයට පත්වන මුස්ලිම් ජනයා භූමිදානයට අවසර දෙන බව අගමැති රාජපක්ෂ කීවේ ඒ නිසාය. දැන් රාජපක්ෂවාදී මුස්ලිම් විරෝධී භික්ෂු බලකාය අන්ද මන්ද වී සිටිනවා ඇත.

කයිවාරු වෙනුවට දැන් සිදුව ඇත්තේ දේශපාලන සුළුදිය සරම අස්සෙන් වැගිරීමය.

සුළුදිය තවතවත් වැගිරීමට නියමිතය.

 

Archive

Latest news

Related news