Sunday, April 28, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්දියාව, ජවිපෙ සහ චීනය – සේ.පියවර්ධන

පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස කව්රුන් සිටියේ ද යන ප්‍රශ්ණය දැන් යළිත් ඉදිරියට පැමිණ තිබේ. එම ප්‍රහාරකයින් ඉස්ලාමීය සංවිධානය නොහොත් අයිසිස් හි අනුගාමිකයින් වූ බවට ජායාරූපමය සාක්ෂි තිබේ. එම බෝම්බ ප්‍රහාරකයින් සිය දිවුරුම දෙන්නේ අයිසිස් ධජය පසුබිමෙහිය. තවද මරාගන මැරුණු පිරිසෙහි නායකයා බව පෙනෙන අන්තවාදී සහරාන්ගේ ප්‍රචාරක කටයුතු පදනම් වී තිබෙන්නේද අයිසිස් මතවාදය වටාය.

තවද එම සහරාන් කල්ලියේ ත්‍රස්තවාදය කරා තරුණ පිරිස් ඇදී යාමට එක් හේතුවක් වූයේ මෙරට මුස්ලිම් ප්‍රජාවට මුහුණ දීමට සිදුවූ ප්‍රචන්ඩ ප්‍රහාරයන් බවද බොහෝ විචාරකයින් විසින් පෙන්වා දී තිබේ.

නමුත් දැන් ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රහාරය සම්පූර්නයෙන්ම වාගේ ඉන්දියානු රජයේ ක්‍රියාවක් බව පෙන්වීමට උත්සාහ කරයි. මෙම චෝදනාව ජවිපෙ විසින් එල්ල කරන්නේ කොළඹ වරායෙහි නැගෙනහිර බාහලුම් පර්යන්තය ඉන්දියාව සමඟ හවුල් ව්‍යාපාරයක් බවට පත්කිරීමට දරන ලද ප්‍රයත්නය හමුවේ රටෙහි ගොඩ නැගුණූ ඉන්දීය විරෝධය පසුබිමෙහිය.

තවද දැන් ජවිපෙ විසින් අහෝසි කළයුතු බව කියන 13වන සංසෝධනය සහ පළාත් සභා ක්‍රමය පවත්වාගත යුතු යැයි ඉන්දියාව තදබල ස්ථාවරය ඉන්නා පසුබිමකය. ඉන්දියානු විරෝධයක් අවුලවා 1989-90 සමයේ මෙන් පළාත් සභා විරෝධයක් ජනිත කිරීමටද ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යව තිබෙනවාවන්ට පුලුවන. සිය ජන්ද ප්‍රතිශතය සියයට තුනකට බැසීමෙන් පසු එය වර්ධනය කර ගැනීමට ජවිපෙ ගමන් කරමින් සිටින්නේ සිංහල බෞද්ධ ජාතිකවාදය කරා බවද පෙනෙන්නට තිබේ.

ජවිපෙ වෙබ් අඩවිය නාමල්් කුමාරගේ වලිගයේ එල්ලීම

මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මංත්‍රී නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවයට කියා තිබේ.

ඒ බව සනාථ කිරීමට ඔහු විසින් දී ඇති සාධක සමහරක් විකාර සහගතය. (ඇද අකුරින් දක්වා ඇත්තේ ජවිපෙ ප්‍රධානියකු වන නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයන්ය)

1. හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය.

ප්‍රශ්ණය වන්නේ ඉන්දියානු රජය විසින්ම මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් සංවිධානය කරන ලද්දේ නම් එම රජය විසින්ම එම බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුර ලබා දුන්නේ මන්ද යන්නයි. එම ප්‍රහාරයන් වැළැක්වීමට බැරිවූයේ ඉන්දියාව නිසා නොව ශ්‍රී ලංකා රජයේ අසමත්බව නිසාය. ඉන්දියානු රජය එම ප්‍රහාරය පිටුපස සිටියේ නම් ඔවුන්ම එම තොරතුර දෙනු ඇත්ද යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති අයකුට පවා වටහා ගත හැකි කරුණකි. මන්ද යක් එවිට ප්‍රහාරය අසාර්ථක වනු ඇති නිසාය.

2.කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ. ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ නැත” යන්නය.

මෙම සම්පූර්නයෙන්ම බොරුවකි.

පා.. නලින්ද ජයතිස්ස විසින්ම අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්. ආර්. ලතීප් කියා සිට ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් ලබා දුන්නේ එය ඉලක්කයක් ලෙස නිශ්චිතව සඳහන්ව තිබූ නිසා බවයි. ( පිටුව 597, 2019 අප්‍රෙල් 21 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි සටහන් වෙළුම 2).

එළෙස ආරක්ෂාව සැළසීම නිසා විශේෂ කාර්ය බලකායට ඉන්දීය මහ කොමසාරිස්කාර්යලයෙ ස්තුති කළ බවද ලතීප් ප්‍රකාශ කර තිබේ.

තවද එම විශේෂ කාරක සභාවේ සාමාජිකයකු වූ පා.. රාජිත සේනාරත්න කියා සිට ඇත්තේ ඉ්ය මහ කොමසාරිස් කාර්යාලය ආරක්ෂා වූයේ ඔවුන් ආරක්ෂක පියවර ගත් නිසා බවත්, එහි පියවරක් ලෙස මහ කොමසාරිස්වරයා හෝටලයක නතර කරන ලද බවත්ය. ( පිටුව 218, 2019 අප්‍රෙල් 21 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි සටහන් වෙළුම 1)

නලින්ද ජයතිස්ස සිය නිගමනය සනාථ කිරීම පිනිස තමාද සහභාගි වූ එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තා විකෘති කර ඇත්තේ එසේය.

3. 2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය. එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ.

මෙයද සම්පූර්ණ බොරුවකි.

එම විශේෂ කාරක සභාවේ වාර්තාවෙහි 123 පිටුවෙහි සඳහන් වන්නේ ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් ආරක්ෂක විධි විධාන යොදා තිබු බවයි.

ජනකා විමුක්ති පෙරමුණ ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා සම්බන්ධයෙන් කරන චෝදනාව ඉතා බරපතල එකක් වන්නේ මෙම ප්‍රකාශය මගින් ඔහු පවා මෙම ප්‍රහාරය ඉන්දියානු රජය විසින් සූදානම් කරන එකක් බව දැන සිටියේය යන්න අඟවන නිසාය. ඔහු ආරක්ෂාවක් ලබා නොගත් බව කියන්නේ එය ඇඟවීමටය. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එවැනි චෝදනාවක් කළ හැක්කේ දේශපාලන අන්තවාදීන්ටම පමණි.

4. කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, ‘සාරාහෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් තිබේ. ඇය ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ද ප්‍රහේලිකාවකි. ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනේපොලිසිය මෙතෙක් සාරා” ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීය.

මෙහිදී නලින්ද ජයතිස්ස චෝදනා කරන්නේ තමාද සමාජිකයකුව සිටි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවටය. ඔහු එහිදී මෙම ප්‍රශ්ණය නැගූ බවක් වාර්තා වී ද නැත. එසේ නම් දැන් ඔහු මෙම ප්‍රශ්ණය මතු කරන්නේ ඇයි?

දේශපාලන අනුමානය නම් ඉන්දීය ඔත්තු සේවාවන්ගේ එක් තොරතුරු මූලාශ්‍රයක් වූයේ මෙම සාරා නැමැති කාන්තාව බවයි. එසේ වී නම් ඇය ඉන්දියාවට ගෙන යාමත් රහසිගතව සහ ආරක්ෂිතව රඳවා තබා ගැනීමත් ඔත්තු සේවා දේශපාලනයේ උපායක් විය යුතුය. එවැනි දේ ලොව පුරාම බලවත් රාජ්‍යයන් විසින් කරනු ලැබේ.

5.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නැමැත්තා කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇනහිටීම ද සැකයට තුඩු දෙන්නකි. එම ඝාතන ප්‍රයත්නයටසම්බන්ධ බව පැවසුනු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් ලෙස පවසමින් මුදා හැර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය වැටී ඇති තැන පෙන්වන හොඳම උදාහරණයක් වන්නේ මෙම නාමල් කුමාරගේ වලිගයේ එල්ලීමට දරන ප්‍රයත්නයයි. අන්ත ජාතිවාදියකු වන නාමල් කුමාර කිසිදු විශ්වසනීයත්වයක් නැති පුද්ගලයකු බවට පසුගිය කාලයෙහි ඇති තරම් සාක්ෂි වාර්තා විය. එම ඉන්දීය ජාතිකයා මානසික රෝගියක් බව වාර්තාවීමද දැන් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්ණයකි. ඔවුන් එම අවස්ථාවෙහි මෙම ප්‍රශ්ණය මතු කළේ නැත්තේ ඇයි? මෙමගින් ජනතා විමුක්ති පෙරමුණ කියන්නට යන්නේ නාමල් කුමාර කියූ පරිදි ජනාධිපති සිරිසේන ඝාතන ක්‍රමන්ත්‍රණයක් තිබූ බවත් ඊට ඉන්දියාව සම්බන්ධ බවත්ද? එම ඉන්දියානු ජාතිකයා ඝාතන සැළසුම්කරුවකු බවද?

6. නාමල් කුමාර නමැත්තාගේ ඉහත කී ප්‍රකාශය යොදා ගනිමින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම.

ජවිපෙ නයකයකු වන නලින්ද ජයතිස්සගේ ඉතාම හාස්‍ය ජනක ප්‍රකාශය වන්නේ මෙයයි. මන්ද යත් කලින් නාමල් කුමාර වීරයකු ලෙස හදුන්වා දී මෙම කාරණය මගින් නාමල් කුමාර බොරුකාරයකු ලෙස දැක්වෙන නිසාය. මෙහිදී නලින්ද ජයතිස්ස කියන්නේ නාමල් කුමාර යොදා ගත්තේ සහරාන් පිළිබඳ කරන ලද පරීක්ෂන නතර කිරීමටය කියාය. නාමල් කුමාරගේ කතාව කෙලින්ම එල්ල කරන ලද්දේ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස් අධිකාරී නාලක සිල්වාට එරෙහිවය. නාමල් කුමාරට අනුව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධය.

දැන් නලින්ද ජයතිස්ස කියන අන්දමට  ඇත්ත කියන්නේ නාමල් කුමාරද නාලක සිල්වාද කියා තෝරා බේරා ගැනීමට නොහැක.

නලින්ද ජයතිස්සටත් සමහර විට නාමල් කුමාරට තිබූ ලෙඩේම තිබේදැයි සිතෙන තරමට මේ ප්‍රකාශ පරස්පරය.

පාස්කු ප්‍රහාරයේ දේශිය මූල බිජයන් සොයනු වෙනුවට එය ඉන්දියානු කුමන්ත්‍රණයක් ලෙස දැක්වීම අප්‍රේල් කැරැල්ල පෙති ගැසූ තරුණ තරුණියන්ගේ පිස්සුවක් ලෙස හැදින්වීම හා සමානය. 

හදිසියේම ජනතා විමුක්ති පෙරමුණ පාස්කු ප්‍රහාරය ඉන්දියාවට බැර කිරීමටද දරණ උත්සාහය ශ්‍රී ලංකාව තුළ චීන දේශපාලන බලපෑමේ පියවරක් ලෙස බොහෝ දෙනෙකු සළකති. කණගාටුවෙන් නමුත් කිව යුත්තේ සල්ලි දෙන රටවල් වෙනුවෙන් උද්ඝෝෂන කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂනයක් බවයි. කවුරුත් දන්නා පරිදි ඉරානඉරාක යුද්ධයේදී  ඒකාධිපති සදාම් හුසේන්ට පක්ෂව ලංකාව තුළ උද්ඝෝෂනයක් ජවිපෙ විසින් දියත් කළේ සල්ලි වලටය. එමෙන්ම ලොව වාමාංශිකයින් විසින් ගෙන යනු බොහෝ වැදගත් ප්‍රශ්ණ තිබියදී හදිසියේම වෙනිසියුලාවට පක්ෂව ලාකිකයින්ගෙන් පෙත්සමක් අත්සන් කලේද එරට ඒකාධිපති ජනාධිපති චාවේස්ගෙන් සල්ලි මල්ලක් ගැනීමටය. එමෙන්ම එරට ජනයාට කිසිදු නිදහසක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් නොදී රට පාලනය කරන චීන කොමියුනිස්ට් පක්ෂයට සුභ පැතුම් යවන්නේද වාසි තකාය.

ශ්‍රී ලංකාව තුල ඉන්දීය විරෝධයක් ගොඩ නැගීම චීන දේශපාලන අරමුණකි. පේස්බුක්හි සිංහල කතා කරන සිය ගණන් චීන කෙල්ලන් සහ කොල්ලන් ඉන්නේ නිකමට නොවේ. එම පිටු මුදල් ගෙවා ප්‍රවර්ධනය කරන ඒවාය. චීනයේ නව විජිතවාදය ඉතා සංකිර්ණ ලෙස සැළසුම් කරන ලද එකකි.

නලින්ද ජයතිස්ස වැනි ජවිපෙ නායකයින්ගේ දේශපාලනය විසින් ශ්‍රි ලංකාව අන්තර් ජාතික වශයෙන් යැවෙනු ඇත්තේ චීන තුරුලටය. එය මෙරට මානව නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් නැත.

 

Archive

Latest news

Related news