Friday, April 19, 2024

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර කොමිසම සිරිසේනට සහ රනිල්ට අපරාධ චෝදනා පැවරීමට නිර්දේශ කරයි; තවත් ගණනාවකටම චෝදනා!

2019 ප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම යහපාලන ආණ්ඩුවේ ඉහළම ප්‍රධානීන්ටත් තවත් දේශපාලඥයින්ටත් නිලධාරීන් ගණනාවකටත් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහට අමතරව, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට පොලිස් ප්‍රධානී පුජිත් ජයසුන්දර සහ එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර තිබේ

මෙම කොමිසම පත් කරන ලද්දේ ජනාධිපති සිරිසේනම විසිනි.

සිරිසේන සහ වික්‍රමසිංහ ඇතුළු අනෙක් පුද්ගලයින්ට විරුද්ධව අපරාධ චෝදනා එල්ල වනු ඇත්තේ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූවන් සේ සළකාය.

ප්‍රහාරයට පෙර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම, අන්තවාදී අදහස් පතුරුවා හරින අය අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම සහ කල්තියා නිසි පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත සඳුදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

අන්තවාදී අදහස් පතුරුවා හැරීම සඳහා විදේශ අරමුදල් ලබාගත් පුද්ගලයින්ට එරෙහිව ද පියවර ගත යුතු බව කොමිසම නිර්දේශ කර තිබේ.

මෙම වාර්තාව රජයේ කවරකු හෝ විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලබා දී තිබෙන බව එහි අද පළවී ඇති පුවතකින් අනාවරණය වේ.

ජනාධිපති රාජපක්ෂ නිදහස් දිනයේ දී කරන ලද ප්‍රකාශය අනුව මේ සියල්ලන්ටම විරුද්ධව එක් නඩුවක් හෝ නඩු ගණනාවක් පැවරීමට ඉඩ ඇතැයි නීති ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් එවැනි නඩුවක් සෑහෙන කාලයක් ගැනීමට ඉඩ ඇතැයි ද කියැවේ.

මෙම දේශපාලන අවස්ථාවෙහි මෛත්‍රීපාල සිරිසේනට නඩු පැවරුව හොත් රාජපක්ෂ අණ්ඩුව සතු තුනෙන් දෙකේ පාර්ලිමෙන්තු බලය අහොසි විය හැකි බවද වාර්තා වේ. මන්ද යත් ඔහුගේ ශ්‍රිලනිපයට ආයන 14ක් තිබෙන නිසාය.

අනෙත් අතට කොමිෂන් වාර්තාවෙහි සඳහන් එක් අයකු අතහැර අනෙක් අයට නඩු පැවරීම දුෂ්කර බවත් කතෝලික පල්ලියේ ප්‍රධානියා වන කාර්දිනල් මැල්කම් රංජිත් මස් රාත්තලම ඉල්ලා සිටිනු ඇති බවත් කොළඹ දේශපාලන අංශ දක්වයි.

කොමිෂන් වාර්තාව හෙට සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

2008 කොමිෂන් සභා විමර්ශන පනත යටතේ, කොමිසමේ සොයාගැනීම් වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා යොදා ගත හැකි බව ද නීති අංශ සඳහන් කරයි.

කාදිනල් මැල්කම් රංජිත් එම වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ දැනටමත් සාකච්ජා කර ඇතැයි ද ඔහුට වාර්තව කියැවිමට ලැබී ඇතැයිද කතෝලික ආරංචි මාර්ග සඳහන් කරයි. වාර්තාව ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ කරන ලෙස ද නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු ඉල්ලා සිට තිබේ.

නිදහස් දින සැමරුම අමතමින් ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා බවයි.

රනිල් වික්‍රමසිිංහට විරුද්ධව සාධාරණ සැකයකින් තොරව චෝදනා සනාථ කිරීම දුෂ්කරවනු ඇති නමුත් මෛත්‍රීපාල සිරිසේනට මෙම ප්‍රහාරය කල් තියා දැනුම් දුන් බව සනාථ කල හැකි නම් ඔහුට විරුද්ධ චෝදනා ඔප්පු කළ හැකි බවත් නීති අංශ සඳහන් කරයි. සිරිසේන සමඟ එම කාලය තුල රාජ්‍ය බුද්ධ් අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන කල දුරකථන කතාබහ සියල්ල ඔහුගේ දුර කථනයෙන් මකා දමා තිබේ.

ජනාධිපතිවරයාට ලැබෙන සියලු රාජකාරි දුරකථන පනිවිඩ ඉබේම පටිගතවන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නැත.

කොමිසමේ මුලසුන දැරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසිනි. එහි සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල ත්තු සහ විශ්‍රාමලත් අධිකරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අදිකාරි.

හිටපු ජනාධිපති සිරිසේන මහතා ප්‍රථම වරට කොමිසම පත් කළේ 2019 සැප්තැම්බර් මාසයේදී වන අතර එතැන් සිට එහි කාලසීමාව විවිධ කාලවලදී දීර්කර තිබුණි. කොමිසමේ ධුර කාලය ජනවාරි 31 වන දිනෙන් අවසන් විය.

කොමිසම සිය නඩු විභාගය 2019 ඔක්තෝබර් 31 වන දින ආරම්භ කළ අතර දින 214 ක කාලයක් රැස්වීම් 640 ක් පවත්වා සාක්ෂිකරුවන් 451 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ.

Archive

Latest news

Related news