Thursday, March 28, 2024

අධිකරණයේදී  නිර්දෝශිබව පෙන්වනවා වෙනුවට පළිගැනීම් කොමිසම නඩු 79න් ඉවත් කරගන්න යෝජනා කිරීම ම්ලේචත්වයක් – ටිල්වින් සිල්වා

ඡායාරූපය: ටිල්වින් සිල්වා මාධ්‍ය හමුව අමතමින්.

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවේ පිටු 2,000කට වැඩි වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ අරමුණ දේශපාලන පලිගැනීම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්න නියමිතයි. ඉදිරිපත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇමුණුම් 3ක් තිබෙනවා.

සමහරු මේ ජනාධිපතිව පත්කර ගත්තේ රට රකින්න කියලා. ඒත් ජනාධිපති දැන් බේරන්නේ රට නෙවෙයි, මහජන ධනය හොරකම් කරපු වංචනිකයො, දූෂිතයෝ. දූෂිතයෝ බේරන්නත් කොමිෂන් පත්කරගෙන ජනතාවගේ සල්ලි වියදම් කරනවා. මේ ක්‍රියාමාර්ග බියගුළුයි, ලැජ්ජා සහගතයි. කොන්ද පණ නැති ක්‍රියාවලියක්.

පළවැනි ඇමුණුම දූෂණ විරෝධී කමිටුව සහ ලේකම් කාර්යාලය සිදුකළ පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන්. මෙයට අදාළව චූදිතයන් 22ක් නම්කර තිබෙනවා. ඇමුණුම් 02 සහ ඇමුණුම් 03 තුළ විශාල නඩු ප්‍රමාණයක් ඉවත් කිරීමේ නිර්දේශ ඇතුළත්.

දෙවැනි ඇමුණුමෙන් මහාධිකරණයේ විභාගයට ලක්වන නඩු 61ක් ඉවත් කරගන්න නිර්දේශ කර තිබෙනවා.

තුන්වන ඇමුණුමෙන් නඩු 18ක් ඉවත්කර ගන්න නිර්දේශ කරනවා.

නඩු 79ක් ඉවත් කරගන්න කොමිසම නිර්දේශ කරන අතර මේ නඩුවලින් චූදිතයන් කර ඇති අයට සහන සැලසීමත් ඔවුන්ට නඩු පැවරූ අයට දඬුවම් දීමත් නිර්දේශ කර තිබෙනවා. ගැටළුව තිබෙන්නේ මෙතැනයි.

හැම ආණ්ඩුවක්ම විශාල වශයෙන් වංචා දූෂණ සිදුකළා. ඊට විරුද්ධව විශාල ජන මතයක් තිබුණා. මහාධිකරණයේ නඩු විභාග කරමින් තිබියෙදී ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත්කර දේශපාලන පලිගැනීම් නිවැරදි කරන නාමයෙන් අධිකරණයේ නඩු ඉවත් කරගන්න කරන උත්සාහයක් මේක.

රාජපක්‍ෂ පවුලේ අයට සහ සමීපතමයන්ට තිබෙන නඩුවලින් ඔවුන් නිදහස් කරගැනීමට මේ කොමිසම පත්කළ බවත් අපි ඒ කාලයේදීම ජනතාවට කිව්වා. ඇමුණුම් දෙකක තිබෙන නඩු 79ක් ඉවත් කර ගෙන නඩු පවරපු අයට දඬුවම් කරන්න සූදානම් වෙන්නේ මේ නිර්දේශ අනුවයි. මෙය ඉතා බරපතල තත්වයක්.

ඇමති මණ්ඩලයෙන් මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කරගන්නකොට මහාධිකරණයෙන් නඩුවක් පැවරී තිබෙන උදය ගම්මන්පිල මහත්තයා ඒ වෙනුවෙන් අත උස්සනවා. එයා නඩුවක් තියෙන කෙනෙක්. තමන්ගේ නඩුව ඉවත් කරගන්න තමන්ම අත උස්සනවා.

දේශපාලන පළිගැනීම් කියලා නම් කළත් මේ තියෙන්නේ එහෙම නඩු නෙවෙයි. පවතින ආණ්ඩුවක් දේශපාලන හේතුන් මත රාජ්‍ය නිලධාරීන් මාරුකිරීම, උසස්වීම් අත්හිටුවීම, වැඩතහනම් කිරීම වගේ තීන්දු තමයි දේශපාලන පලිගැනීම් ලෙස ගැනෙන්නේ.

නමුත් මේ නඩු රහස් පොලීසිය, පොලීසිය නැත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වගේ පිළිගත් ආයතන පරීක්‍ෂණ පවත්වලා නීතිපතිවරයාගේ නිර්දේශ මත නැත්නම් අල්ලස් කොමිසම විසින්ම මහාධිකරණවල පැවරූ නඩු. මේ පවරපු නඩු මහාධිකරණයෙන් භාරගෙන තිබෙනවා. නඩු නිමිත්තක් නැත්නම් මහාධිකරණය නඩු භාරගන්නේ නැහැ. භාරගත් නඩුව අවුරුදු කිහිපයක් විභාග වෙමින් තිබෙනවා. ඒවා ඉවත් කරගන්න කියලා කොමිසමකින් නිර්දේශයක් දෙනවා.

රටේ පිළිගත් ආයතන විසින් පවරපු නඩු විභාගවීම, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ කිසිවක් මේ ආණ්ඩුවට අදාල නැහැ.

තමන් නිර්දෝෂී නම් නඩුවලට ඉදිරිපත්වී ඒ බව ඔප්පු කරනවා වෙනුවට කොමිෂන් සභා හරහා නිදහස් වීමයි මේ සිදුවෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාම බරපතළ ලෙස සලකනවා. ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් පෙළ ගස්වනවා. මේක මෙහෙම සිද්ධ වෙන්න ගත්තොත් බරපතළ පූර්වාදර්ශයක් බවට පත්වෙනවා.

මේ නඩුවලින් විශාල ප්‍රමාණයක් මහජනතාවගේ සල්ලි හොරකම් කරලා වංචා කරලා ඉන්න අය සම්බන්ධයෙන් පවරලා තිබෙන්නේ. අධිකරණය හමුවේ ඔවුන්ගේ නිර්දොෂීභාවය ඔප්පු කරලා නිදහස් වෙන්න පුලුවන්.

තමන් නිර්දෝෂී නම් නඩුවලට ඉදිරිපත්වී ඒ බව ඔප්පු කරනවා වෙනුවට කොමිෂන් සභා හරහා නිදහස් වීමයි මේ සිදුවෙන්නේ.

මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් වගේම අධිකරණයට අපහාස කිරීමක්. ඇත්තටම අධිකරණයට අපහාස කිරීමක් සිද්ධ වෙන්නේ මේකෙන්. අපේ රටේ අධිකරණය පිළිබඳව අපි කාටත් විවේචන තිබෙනවා.

දේශපාලන ඇඟලිගැසීම් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් ඒ තුළ පවා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙන්නේ අධිකරණය හරහායි. කොමිෂන් සභාවක් මැදිහත් වෙලා නඩු ඉවත් කරගන්න යනකොට අධිකරණයේ කාර්යභාරය පැත්තකට දානවා.

නීතිපති වා නඩු ඉවත්කරගන්නවා නම් එක පැත්තකින් අධිකරණය අක්‍රීය කරනවා, අනික් පැත්තෙන් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කර අධිකරණ ක්‍රියාවලියට අපහාස කරනවා.

මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය කියන ආයතනික පිළිවෙළක් තිබෙනවා. යම් අධිකරණයකදී දෙන තීන්දුවක් සම්බන්ධයෙන් ඊට ඉහළ අධිකරණයකට පැමිණිලි කරන්න පුළුවන්.

මේ සියල්ල පැත්තකට දාලා කැකිල්ලේ අධිකරණය වගේ කොමිසමකින් ගත් තීන්දුවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න යනවා. මේක ඉතා බරපතළ තත්වයක්.

අධිකරණයේ තිබෙන නඩු පවරා තිබෙන්නේ අල්ලස් කොමිසම නැත්නම් නීතිපතිවරයා. කොමිසමේ වාර්තාව අනුව මේ නඩු ඉවත් කරගන්න නම් නීතිපති උසාවි යන්න ඕනෑ. නීතිපති නඩු දාලා ඒ නීතිපතිම ගිහිල්ලා නඩු අයින් කර ගන්නවා. අල්ලස් කොමිසමත් එහෙමයි.

එතකොට එහෙම නීතිපති දෙපාර්තමේන්තුවකින්, අල්ලස් කොමිසමකින් වැඩක් තියෙනවාද? මේ ක්‍රියාවලියට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ නැති බව අපි හොඳටම දන්නවා. මේ කොමිසම හමුවේ සාක්‍ෂි ගන්න නීතිපති දෙපාර්තමේන්තුවටත් එන්න කිව්වා. නීතිපතිතුමා ඊට විරෝධය පළකළා. මේ කොමිෂන් එක ව්‍යවස්ථාවටත් විරුද්ධ බව ප්‍රකාශ කර නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්‍ෂේප කළා. අධිකරණයෙනුත් තහංචි දැම්මා.

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තියෙන නඩුව ඉවත් කරගන්න මේ කොමිෂන් එකට ගියා. අධිකරණය ඊට විරුද්ධව තීන්දුවක් දුන්නා. මේ කොමිසම අපේ රටේ වංචා දූෂණ නැවැත්වීමට තිබෙන ආයතන පද්ධතියම හෑල්ලුවට ලක්කරනවා.

මේ කොමිසම රාජපක්‍ෂවරුන්ගේ නඩු බේරාගැනීම වෙනුවෙන් හොර පාරක ඇවිල්ලා අධිකරණ ක්‍රියාවලියට අත තැබීමක්. අනික් පැත්තෙන් දූෂිතයන්ට ලයිසන් දීමක්. මේකෙන් වෙන්නේ දේශපාලඥයින් බය නැතිව මහජන ධනය හොරකම් කරන්න විශාල වශයෙන් පෙළඹවීමක්. අන්තිමේදී රජයේ ආයතනවලටත් මහජනතාවටත් ආණ්ඩුවලට සම්බන්ධ හොරු භය නැති තත්වයක් ඇති වෙනවා.

මෙවැනි ක්‍රියාවලියක් යනකොට අල්ලස් කොමිසම මොනවා කරන්නද? අනික් පැත්තෙන් දූෂණයට එරෙහිව කටයුතු කරන ආයතන සහ නිලධාරීන් බියට පත්වෙනවා. අකර්මණ්‍ය වෙනවා. ආණ්ඩුවේ දූෂණ හොයන්න පෙළඹෙන්නේ නැහැ.

රටක මෙවැනි දේවල් සිදුවෙනවා කියන්නේ එය ම්ලේච්ඡත්වයට ගමන් කිරීමක්.

කොමිසමෙන් චූදිතයන් කර සිටින නම් ලැයිස්තුවේ අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ නමත් තියෙනවා. මේකට අපේ නම් දැම්මට අපි බය නැහැ. අපි හැමදාමත් වංචාදූෂණ හෙළිකරන්න කටයුතු කරනවා වගේම අධිකරණයේ නඩු පවරලත් තියෙනවා. ඒක අපේ අයිතියක්. අපි පැමිණිලි කළ දේවල් ගැන සොයා බැලීමත් අපි කළා. පැමිණිළි කරපු එක වැරදියි කියලා ආණ්ඩුව දැන් කියනවා නම් අපි ඒක පිළිගන්නේ නැහැ.

මේ වගේ කොමිෂන් වාර්තාවලට අපේ නම් දාලා අපිව බය වද්දන්න ආණ්ඩුවට බැහැ. වංචාදූෂණවලට එරෙහි සටන අපි නවත්වන්නේ නැහැ. දූෂිතයන්ට සහ දූෂිතයින් ආරක්ෂා කළ පුද්ගලයින්ට අනුර දිසානායකත් ජවිපෙත් විශාල බාධාවක් වෙලා. ඒ නිසා බය වද්දන්න උත්සාහ කරනවා. කොමිසමකට එන්න කිව්වොත් අපි කොමිසමේදී දූෂිතයින් හෙළිදරව් කරන්න කෙලින් වැඩ කරනවා.

සමහරු මේ ජනාධිපතිව පත්කර ගත්තේ රට රකින්න කියලා. ඒත් ජනාධිපති දැන් බේරන්නේ රට නෙවෙයි, මහජන ධනය හොරකම් කරපු වංචනිකයො, දූෂිතයෝ. දූෂිතයෝ බේරන්නත් කොමිෂන් පත්කරගෙන ජනතාවගේ සල්ලි වියදම් කරනවා. මේ ක්‍රියාමාර්ග බියගුළුයි, ලැජ්ජා සහගතයි. කොන්ද පණ නැති ක්‍රියාවලියක්.

අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ මේ උත්සාහය පරද්දන්න එකතු වෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි හැම උත්සාහයක්ම හැම තැනකදීම ගන්නවා. අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ දැන් වැටී තියෙන තත්වයෙනුත් පහළට වැටෙන්න එපා කියලයි.

26 දින  බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී දක්වන ලද අදහස් ඇසුරිනි. උපුටාගෙන සසකස් කරන ලද්දේ ලංකාට්රුත් අඩවියෙනි.

Archive

Latest news

Related news