Thursday, March 28, 2024

ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ ඛේදවාචකයකින් අවසන් වූ වේකෝ වැටලීම (Waco Siege) – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ජායාරූපය: ප්‍රහාරයෙන් පසු ගිනිගෙන දැවෙන ඩේවිඩ් කෝරෙෂ් ඇදහිළි මධ්‍යස්ථානය.

මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී නොස්නර් (Gary Noesner) සමග වේකෝ වැටලීම (Waco Siege) පිලිබඳව කතා කලෙමි.

මූලධර්මවාදී කල්ට් නායක ඩේවිඩ් කෝරෙෂ්

ගැරී නොස්නර් එෆ්. බී. අයි හි විමර්ශකයෙකු, උපදේශකයෙකු සහ සාකච්ඡාකරුවෙකු ලෙස වසර 30 ක කාලයක් සේවය කලේය. ඔහු එෆ්. බී. අයි හි අර්බුද සාකච්ඡා ඒකකයේ ප්‍රධානියා විය. වේකෝ වැටලීම සිදුවූ අවස්ථාවේදී ගැරී නොස්නර් ආගමික මූලධර්මවාදී ඩේවිඩ් කෝරෙෂ් සමග සාකච්ඡා කරමින් ජීවිත හානියකින් තොරව ගැටුම සමථයකට පත් කර ගැනීමට අඩිතාලම දමමින් සිටියේය. එහෙත් නිලධාරීවාදය උත්සන්න වීම නිසා නිසා ගැරී නොස්නර් ගේ සාම සාකච්ඡා පරයා මිලිටරි විසඳුම යුධ සහ උන්නතිකාමී නිලධරීන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලදි. මේ නිසා ගැරී නොස්නර් පසකට විසි විය. ඉන් පසුව සිදු වූයේ අප සියළු දෙනා දන්නා ජීවිත විශාල ගනනක් විනාශ වූ වේකෝ ඉතිහාසයයි.

වේකෝ වැටලීමේ කතාව ඛේදවාචකයකි. එය ආගමික නිදහස, ෆෙඩරල් ආණ්ඩුවේ අයිතිවාසිකම් සහ සීමාවන් පිළිබඳ එකඟ නොවීම් සහ නීත්‍යානුකූල ආගමක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කතාවකි. සමහරෙකුට එය රජය අභිබවා යාමේ කතාවයි. මා හට එය ගැරී නොස්නර් සහ ඩේවිඩ් කෝරෙෂ් ගේ කතාවයි.

මේ කතාව සිදු වන්නේ 1993 වසරේදීය.

මුලින්ම අප ඩේවිඩ් කෝරෙෂ් යනු කවරෙක්ද කියා සොයා බලමු. අස්ථාවර පවුල් පසුබිමකින් පීඩා විඳි දරුවෙකු වන වර්නන් වේන් හොවෙල් (ඩේවිඩ් කෝරෙෂ් ) උපත ලැබුවේ 1959 දීය. ඔහු 1980 ගණන්වල බෝන් එගෙයින් කිතුනුවකු බවට පත්විය.ඔහු දක්‍ෂිණ බැප්ටිස්ට් පල්ලියට සම්බන්ධ වූ අතර පසුව සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් පල්ලියකට මාරු විය ඔහු තම නම ඩේවිඩ් කෝරෙෂ් ලෙසට වෙනස් කර ගත්තේය. ඔහු විසින් ටෙක්සාස්හි ඇක්ස්ටෙල් හි පිහිටි අක්කර 77 කින් යුතු වූ මවුන්ට් කර්මෙල් සෙන්ටර් ගොවිපොළේ බයිබල් අධ්‍යන අංශයක් පිහිටවන ලදි. මෙම මධ්‍යස්ථානයේ ළමුන් ඇතුළු අනුගාමිකයන් 80 පමණ පිරිසක් වාසය කළහ. ඔවුන් ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරයක් වන සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන්ගේ ශාඛාවක් වන “ඩේවිඩියන්ස්” (ඩේවිඩ්වරුන්ගේ) ආගමික නිකායට අයත් වූහ. ඩේවිඩ් කෝරෙෂ් , ඩේවිඩ් ශාඛාවේ අනාගතවක්තෘවරයා හා නායකයා විය.

කෝරෙෂ්ගේ ඉගැන්වීම් කෙරෙහි මිනිසුන් ආකර්ෂණය වූයේ ඔහු ලෝක අවසාන දින පිළිබඳව බයිබලානුකුල අනාවැකි ඒත්තු ගැන්වෙන ලෙස විග්‍රහ කළ නිසාය. ඔහු කල්ට් නායකයෙකු විය. ඔහු තුවක්කු භාවිතය දිරිමත් කරමින්, දිනෙන් දින වර්ධනය වන එළිදරව් අනාවැකි දේශනා කරමින් සිටියේය. ලෝකයේ අවසානය පැමිණෙන බව කෝරෙෂ් නිරන්තරයෙන් අනුගාමිකයන්ට පැවසූ අතර තම කණ්ඩායම කවදා හෝ එක්සත් ජනපද ආන්ඩුවේ ප්‍රහාරයකට ලක්වනු ඇතැයි ඔහු විශ්වාස කලේය. ඒ නිසා ඔහු තුවක්කු සහ පතොරම් තොග ගබඩා කිරීම ආරම්භ කළේය. හිටපු අනුගාමිකයන් පවසන පරිදි තමා දෙවියන්ගේ මෙහෙවරක යෙදී සිටින බව කෝරෙෂ් සැබවින්ම විශ්වාස කළ අතර බයිබලය සහ එහි සැබෑ අරුත ජනතාවට අර්ථ නිරූපණය කළ හැකි එකම තැනැත්තා ඔහු බව සිතුවේය.

ඩේවිඩ් කොරෙෂ් ආගමික මූලධර්මවාදියෙකු වූ අතර ඔහු තමන් මෙසායා හෙවත් ගැලවුම්කරුවෙකු බවත් කෙනෙකු බවත්, තමාගෙන් උපන් ඕනෑම දරුවෙකු පරිශුද්ධ බවත් දේශනා කලේය. මේ හේතුව නිසා ඔහු ඩේවිඩ් ශාඛාවේ කාන්තාවන් සමඟ බහුවිධ “විවාහ” වල නිරත වූ අතර ඔවුන්ගෙන් සමහරෙක් බාල වයස්කරුවන් වූ අතර අවම වශයෙන් දරුවන් 13 දෙනෙකුගේ පියෙක් බවට පත් විය. ඩේවිඩ් කොරෙෂ් ගේ අනුගාමිකයෝ ඔහුව අන්ධ භක්තියකින් යුතුව අදහන ලදි. ඔවුන්ට ඩේවිඩ් කොරෙෂ් අනාගතවක්තෘවරයකු මෙන්ම තම එකම ගැලවුම්කරුවා විය. මේ නිසා ඔවුන් පිලිපැද්දේ ඩේවිඩ් කොරෙෂ් ගේ නියෝගය.

මෙම මධ්‍යස්ථානයේ ලිංගික අපයෝජන සිදු වන බවට සහ මධ්‍යස්ථානයේ නීති විරෝධී ආයුධ තොගයක් ගබඩා කර ඇති බවට පැමිණිලි ලැබී තිබූ නිසා සෝදිසි වරෙන්තුවක් ලබා ගත් මත්පැන්, දුම්කොළ හා ගිනි අවි කාර්‍යාංශය (ඒටීඑෆ්) විසින් 1993 පෙබරවාරි 28 වන ඉරිදා උදෑසන මෙම මධ්‍යස්ථානය පරික්‍ෂා කිරීමට පැමිණි අතර එහිදී සිදුවූ වෙඩි හුවමාරුවකින් රජයේ නියෝජිතයන් හතර දෙනෙකු සහ ඩේවිඩ් ශාඛාවේ අනුගාමිකයන් හය දෙනෙකු මිය ගියහ. වෙඩි පහර අතරතුර කෝරෙෂ් තුවාල ලැබීය. එහෙත් ඔහු දිගටම තම අනුගාමිකයන් දිරිමත් කරවමින් ඔවුන්ට දේශන පැවැත්වීය.

මත්පැන්, දුම්කොළ හා ගිනි අවි කාර්‍යාංශය සමග සිදුවූ අවි ගැටුමින් පසුව එෆ්. බී. අයි නිලධාරීන් විසින් මවුන්ට් කර්මෙල් මධ්‍යස්ථානය වටලන ලදි. ආරක්‍ෂක ප්‍රචණ්ඩත්වය සහ ආක්‍රමණශීලී ප්‍රචණ්ඩත්වය ඩේවිඩ් කෝරෙෂ් මෙහිදී භාවිතා කලේය. ඔහුගේ වැඩිහිටි පිරිමි අනුගාමිකයෝ කුඩා ආයුධ වලින් සන්නද්ධව සිටියහ. මුලදී ඩේවිඩියන්වරු ප්‍රාදේශීය පුවත් මාධ්‍ය සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වූ අතර ඩේවිඩ් කෝරෙෂ් ඔවුනට දුරකථන සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේය. පසුව එෆ්. බී. අයි නිලධාරීන් ඩේවිඩ් කෝරෙෂ් ගේ සන්නිවේදනය කපා හැරියේය. එෆ්. බී. අයි නිලධාරීන් මවුන්ට් කර්මෙල් මධ්‍යස්ථානය වටලා අනුගාමිකයන්ට ඉවතට එන ලෙසට නියෝග කරන ලදි. එලියට ආවේ ස්වල්ප පිරිසකි. දෙවියන් වහන්සේ තමාට ගොඩනැගිල්ලේ රැඳී සිටින්නට කියා පැවසූ නිසා තමන් එලියට නොඑන බව ඩේවිඩ් කෝරෙෂ් දන්වා සිටියේය . ඔහු සමග පුද්ගලයින් 98 දෙනෙකු ගොඩනැගිල්ලේ රැඳී සිටියහ.

ගැරී කොස්නර්

එෆ්.බී.අයි නිලධාරීන් විසින් ඩේවිඩ් කෝරෙෂ් සමග සාකච්ඡා කිරීම සඳහා ගැරී නොස්නර්ව ගෙන්වන ලදි. ගැරී නොස්නර් සාර්ථක ලෙස ඩේවිඩ් කෝරෙෂ් සමග සන්නිවේදනයේ යෙදෙමින් මාස 19 සිට අවුරුදු 12 දක්වා ළමයින් 19 දෙනෙකු නිදහස් කර ගැනීමට සමත් විය. ගැරී නොස්නර් සහ එෆ්.බී.අයි නිලධාරීන් කෝරෙෂ් සමඟ පැය 60 ක ආසන්න කාලයක් සාකච්ඡා පවත්වන ලදි. ගැරී නොස්නර් සමඟ කළ සාකච්ඡාවලදී ඩේවිඩ් කෝරෙෂ් තමන් සමූහ සියදිවි නසා ගැනීමක් සැලසුම් නොකරන බව තරයේ කියා සිටියේය. එක් අවස්ථාවකදී ඔහු සතියක් ඇතුලත තම අනුගාමිකයන් සමග පිටතට ඒමට එකඟ විය. එහෙත් සමහර එෆ්.බී.අයි නිලධාරීන්ට අවශ්‍ය වූයේ ඉක්මන් මිලිටරි විසඳුමකි. මේ නිසා සාකච්ඡා අවසන් කොට ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් උත්සුක වූහ. මෙම තීන්දුවට ගැරී නොස්නර් එකඟ නොවීය. නොස්නර් සම්බන්ධ වූයේ ගැටුමේ පළමු දින 25 තුළ පමණි. ඉන් පසු ඔහුව ඉවත් කරන ලදි. එෆ්. බී. අයි හි වඩාත් ආක්‍රමණශීලී භූමිකාවක් රඟ දැක්වීමට කැමතිවූ සාමාජිකයන්ට එෆ්. බී. අයි සාකච්ඡාකරු ගැරී නොස්නර් බාධාවක් විය.

අනුගාමිකයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා මෙහිදී වැඩි වැඩියෙන් ආක්‍රමණශීලී උපක්‍රම භාවිතා කරන ලදී. එෆ්. බී. අයි නිලධාරීන් ගොඩනැගිල්ලට විදුලිය හා ජලය සැපයූ මාර්ග අවහිර කරන ලදි. එහෙත් ඩේවිඩ් කෝරෙෂ් ඇතුළු අනුගාමිකයන් යටත් වූයේ නැත. ගැරී නොස්නර් ගේ අණාවැකි සත්‍යක් බවට පසක් කරමින් ඔවුන් වඩ වඩාත් මුරණ්ඩු වූහ. දින 51 කාලයක් පුරා ඔවුන් ගොඩනැගිල්ල තුල රැඳී සිටියහ.

මෙම ප්‍රාහාරය සඳහා බ්‍රැඩ්ලි ටැංකි දහයක්, ඒබ්‍රම්ස් ටැංකි දෙකක්, සටන් ඉංජිනේරු වාහන හතරක්, එෆ්.බී.අයි නියෝජිතයින් හයසිය හැට අටක්, ටෙක්සාස් ජාතික ආරක්‍ෂක බළකායේ සාමාජිකයින් දහතුනක්, ටෙක්සාස් රේන්ජර්ස් තිස් එක් දෙනෙකු, ටෙක්සාස් මහජන ආරක්‍ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකසිය තිස් එක් දෙනෙකු, මැක්ලෙනන් කවුන්ටි ෂෙරිෆ් කාර්‍යාලයෙන් 17 දෙනෙකු සහ වේකෝ පොලිස් නිලධාරීන් දහඅට දෙනෙකු එක්ව සිටි අතර ඇමරිකානු ඉතිහාසයේ සිවිල් සැකකරුවෙකුට එරෙහිව මෙතෙක් රැස්කර ඇති විශාලතම හමුදා බලකාය බවට වාර්තා වෙයි. 1993 අප්‍රියෙල් 19 වන අවසාන වැටලීමේදී ආයුධ සන්නද්ධ වාහන මගින් ගොඩනැගිල්ලට කඳුළු ගෑස් ගසන ලද අතර එමගින් ගින්නක් ඇති විය. ඉන් පසුව ඇතිවූ ගැටුම සහ පැතිරී ගිය ගින්න නිසා අනුගාමිකයන් 76 ක් මිය ගිය අතර, ළමුන් 25 ක්, ගර්භනී කාන්තාවන් දෙදෙනෙකු සහ ඩේවිඩ් කෝරෙෂ් ද මිය ගිය පිරිස අතර වූහ. ප්‍රහාරය අවසන් වූයේ මහා විනාශයකිනි

වේකෝ වැටලීම සිය වෘත්තියේ විශාලතම අත්හදා බැලීම්වලින් එකක් බව ගැරී නොස්නර් පවසයි. යම් ලෙසකින් තමන් ගේ උසස් නිලධාරීන් ඩේවිඩ් කෝරෙෂ් සමග තව දුරටත් සාකච්ඡා කිරීමට ඉඩ සලසා දුන්නේ නම් මේ මහා විනාශය වළකා ලීමට අවකාශයක් තිබූ බව ගැරී නොස්නර් විස්වාස කරයි. වේකෝ වැටලීම සහ සිදුවූ විනාශය එතැනින් අවසන් වූයේ නැත. වේකෝ සිද්ධීන් සම්බන්ධයෙන් පළිගැනීම සඳහා වැකෝ වටලෑමේ දෙවන සංවත්සරයේදී, තිමතී මැක්වීග් විසින් ඔක්ලහෝමා සිටි බෝම්බ ප්‍රහාරය දියත් කරන ලදි .මෙම ප්‍රහාරයෙන් එක්සත් ජනපද රජයේ කාර්‍යාල සංකීර්ණයක් වන ඇල්ෆ්‍රඩ් පී. මුරා ෆෙඩරල් ගොඩනැගිල්ල විනාශ විය. මෙම මාරාන්තික ත්‍රස්ත ක්‍රියාවෙන් පුද්ගලයන් 168 දෙනෙකු මරු දුටූහ. යම් ලෙසකින් ගැරී නොස්නර් සාකච්ඡා වටයකින් වේකෝ වැටලීම සංසිඳවා දැමුයේ නම් අපට ඔක්ලහෝමා සිටි බෝම්බ ප්‍රහාරය පිලිබඳව අසන්නට නොලැබෙනු ඇත.

සත්‍ය වශයෙන්ම මට ගැරී නොස්නර් යනු ජීවිත බේරාගත් සහ තව ජීවිත බේරා ගැනීමට උත්සහ කල වීරයෙකි. වේකෝ වැටලීම සිදු වන අවස්ථාවේදී එෆ්.බී.අයි පාර්ශවය මෙන්ම ඩේවිඩ් කෝරෙෂ් පාර්ශවය අතර සිටි එකම තර්කාන්විත සහ සිහිවත් (sane ) පුද්ගලයා ඔහුය. ඔහුගේ මැදිහත්වීම නිසා ළමුන් 21 දෙනෙකු ඇතුළුව 35 දෙනෙකු ආරක්‍ෂිතව මුදා හැරීමට හැකි වීම ජයග්‍රහණයකි.

අවසානයේදී වේකෝ වැටලීම පිලිබඳව අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද කියා ගැරී නොස්නර් ගෙන් මම ඇසුවෙමි. පහත දැක්වෙන්නේ ඔහු මා හට දුන් පිළිතුරය

” I would only say that the tragedy of Waco should serve to illustrate that life is not black and white, yes or no. In reality, life is complicated and nuanced. There were good people on both sides of the incident and some bad decisions made on both sides as well. Many seem to want to condemn one side or the other exclusively, not wanting to delve into the facts surrounding this real-life tragedy. I am proud my negotiation team secured the safe release of 35 people, including 21 children, but saddened by the tragic outcome. While I have been a critic of some FBI management decisions at Waco, my firm belief is that David Koresh held it within his power to safely lead his people out every single day of the siege, yet refused to do so”

Archive

Latest news

Related news