Wednesday, April 24, 2024

“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු කළ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් ගැන ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස ඉල්ලා සිට තිබේ.

මේතාක් කල් විරුද්ධ ස්ථාවර ගනිමින් සිටි දෙමළ දේශපාලන පක්ෂ නායකයින් තිදෙනෙකු වන දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, දෙමළ ජාතික මහජන පෙරමුනේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ දෙමළ ජනතා ජාතික සන්දානයේ නායක සී. විග්නේශ්වරන් සිය පක්ෂ නියෝජනාය කරමින් මෙම ලිපියට අත්සන් තබා තිබේ. ඊට අමතරව දෙමළ සිවිල් සමාජ සංවිධාන කිහිපයක්ද විනිදිතයින් නියෝජනාය කරන සංවිධාන කිහිපයක්ද ඊට අත්සන් තබා ඇත.

මෙම දේශපාලන වර්ධනය ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලීන බලපෑමකට හේතු විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ තාක් දකුණේ දේශපාලන පක්ෂ සමඟ පැවැත් වූ සමීප දේශපාලන සම්බන්ධතා මෙම ස්ථාවරය මගින් අවසානයකට ගෙන එයි.

මෙරට දකුණෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ යුද සමයේ සිදුවූ බවට කියැවෙන යුද අපරාධ සොයා බැලීමට සහ එම අපරාධයන්හි වරදකරුවන්ට දඩුවම් පැමිණවීමට විරුද්ධ බවත් එබැවින් දේශීය වගවීමේ සැබෑ යාන්ත්‍රණයක් සදහා අවකාශයක් නැතැයි ලිපිය මෙසේ සඳහන් කරයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකද ඇතුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ණාවලියේ නායකයන් නිශ්චිතව හා ව්‍යතිරේකයකින් තොරව ප්‍රකාශ කර ඇත්තේ නඩු පැවරීම්වලින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කෙළසීම් සඳහා වගවීම සඳහා අව්‍යාජව ක්‍රියාත්මක කළ හැකි දේශීය ක්‍රියාවලියක් සඳහා ඉඩක් නොමැති බව සාමාජික රටවල් විසින් පිළිගැනීමට දැන් කාලය පැමිණ තිබේ.”

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ නව යෝජනාවක් සම්මත කිරීම මගින් ශ්‍රී ලංකාවෙහි සිදිව ඇති ජන සංහාරය, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව ජාත්‍යන්තර යුද අධිකරණයට සහ එවැනි අනෙක් පලදායි අන්තර් ජාතික වගවීමේ යාන්ත්‍රණයන්ට යොමු කරන ලෙස එම ලිපිය කවුස්සිලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටී. ඒ සඳහා මෙම කාරණය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට සහ මහා මණ්ඩළයට යොමු කළ යුතු බව කියා සිටින එම ලිපිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරිය විසින් ඉහත සඳහන් කළ ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ කරුණු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත යොමු කරන ලෙස එය ඉල්ලා සිටී.

එහි තවත් ඉල්ලීමක් වන්නේ ශ්‍රී ලංකාවෙහි අඛණ්ඩව සිදුවන උල්ලංයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අධීක්‍ෂණය කිරීම සහ රට තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ක්ෂේත්‍ර කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට සාමාජික රටවල් විසින් බලය පවරණ ලෙසය.

යුද්ධාවසානයේ සිට යුද සමයේ කෙරුණූ බරපතල මානව හිමිකම් කෙළෙසීම් විමර්ශනය කර නිසි පියවර ගන්නා බවට ශ්‍රී ලංකා රජය විසින් 2009 මැයි මාසයේ සිට දෙන ලද පොරොන්දු එකින් එක එම ලිපියේ දක්වා තිබේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විවිඡ වාර්තා මගින් ඉදිරිපත් කරන ලද වගවීම පිළිබඳ නිර්දේශයන්ද එහි දක්වා තිබේ.

එය තවදුරටත් මෙසේද සඳහන් කරයි:

හමුදාකරණය ඇතුළු දෙමළ ජනතාවට එරෙහි අඛණ්ඩ තීව්‍ර කැරෙන මර්දනය, දේශපාලන සිරකරුවන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම, පුරාවිද්‍යාත්මක ගවේෂණවල නාමයෙන් ඉඩම් අත්පත් කර ගැනීම, ගවයින්ට කණ කැවීමේ අයිතිවාසිකම් වැනි සාම්ප්‍රදායික, සාමූහික ඉඩම් අයිතිවාසිකම් උදුරා ගැනීම, දේශපාලන හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිළිබඳ සෙවිල්ල තීව්‍ර කිරීම, අපගේ මුස්ලිම් සහෝදර ජනයාට කොවිඩ් කාලයෙහි භූමදානය කිරීමේ අයිතිවාසිකම් ලබා නොදීම, අනුස්මරණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම යනාදිය මගින් පිරිහෙමින් පවතින තත්වයට පිළියම් යෙදීමේ හදිසි අවශ්‍යතාව අවධාරනය කෙරේ.”

40/1 යෝජනාව යටතේ ශ්‍රී ලංකා රජයට ඇති බැඳීම් ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් සඳහා 2021 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වන විට අවසාන යෝජනාවක් මගින් නිශ්චිතවම පහත සඳහන් නිගමනයට එළඹෙන ලෙස අපි සාමාජික රටවල්වලින් ඉල්ලා සිටිමු.

ජන සංහාර, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ ඇතුළු සන්නද්ධ ජනවාර්ගික ගැටුමේදී සිදු කළ බවට කියැවෙන උල්ලංනයන් සහ අපරාධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ සිය වගකීම ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව යෝජනාවෙන් ප්‍රකාශ කළ යුතුය. එවැනි සන්දර්භයක් තුළ, ස්වකීය දේශීය යාන්ත්‍රණයන් මගින් හෝ දෙමුහුන් යාන්ත්‍රණ මගින් ශ්‍රී ලංකාව තුළ වගවීම ඇති කිරීම පිළිබඳ අපේක්ෂාවක් නොමැති බව යෝජනාව පිළිගත යුතුය.”

Archive

Latest news

Related news