Saturday, April 27, 2024

රජය විසින් උසිගන්වන වර්ගවාදයට හා භීෂණයට එරෙහිවන්න – විමුක්ති ව්‍යාපාරය

ආයතනගත ජාතිවාදයේ හා මර්දනයේ තවත් ක්‍රියාවක් ලෙස යුධ අවසාන අදියරේදී මියගිය දහස් ගණන් දෙමළ සිවිල් වැසියන් සැමරීම වෙනුවෙන් ගොඩනගා තිබූ මුල්ලිවයික්කාල් ස්මාරකය විනාශකර දමන ලෙස ශ්‍රී ලංකා රජය විසින් නියෝග කර තිබේ. මෙම ස්මාරකය යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් විසින් ඉදිකරන ලද්දකි. ජනවාරි 8 වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ දී රාත්‍රි අඳුරේ බුල්ඩෝසර් මගින් විනාශය සිදුකරන අයුරු ඡායාරූප ගතකර තිබේ. මෙය කිසිසේත්ම එවැන්නක පළමු අවස්ථාව නොවන අතර,පෙරදීද සිංහල බහුතර ආණ්ඩු විසින් මළවුන් අනුස්මරණය කිරීම සඳහා දෙමළ ප්‍රජාවට ඇති අයිතිය අවහිර කොට තිබේ.

කෙසේ වෙතත්, රජය විසින් මෙම සුවිශේෂී පියවර ගත් අවස්ථාව සැලකිල්ලට ගත යුතුය. ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය වැරදි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් තම ජනප්‍රියත්වය ඉතාම අඩුම මට්ටමක පවතින මොහොතක සහ පළාත් සභා මැතිවරණයක් අත ළඟ තිබියදී මෙය සිදුව තිබේ.

වාර්ගික ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීම්

ප්‍රමාණවත් ලෙස ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට සහ ඔවුන්ව ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වනවිට ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා අනුප්‍රාප්තික රජයන් ජනතාව අතර වාර්ගික ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීම් අප රටට අලුත් නැත.

නිදහසින් පසු දශක ගණනාවක් පුරා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් එකිනෙකාට එරෙහිව එදිරිවාදීන් බවට පත්කොට ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුනොවුන් අතර සැකය හා වෛරය ඇති වී තිබේ. මේ හේතුවෙන් රජය ජනතාවට වගවනු පිණිස, විශේෂයෙන්ම සිංහල බෞද්ධ බහුතර ප්‍රජාව සුළුතර ප්‍රජාවන් සමඟ එක්සත් වීම වළක්වා තිබේ. මෙම හැසිරීම කිසිසේත්ම අලුත් නැත.

වෙන් කර පාලනය’ යනු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ස්වදේශික ප්‍රජාවන් ඔවූනට එරෙහිව නැගී සිටීම පාලනය කිරීමට සහ මර්දනය කිරීම සඳහා භාවිතා කළ අතිශයින්ම ඵලදායී ප්‍රතිපත්තියකි. පසුව පැමිණි අපගේ නායකයින් තම සුදු ස්වාමිවරුන්ගෙන් උගත් යටත් විජිත උරුමය දශක ගණනාවක් වේගයෙන් ඉදිරියට ගෙනයමින් සිටිති. කෙසේ වෙතත්, ඔවුන් විසින් ක්‍රියාත්මක කරන කුරිරු ප්‍රචණ්ඩත්වය සහ මර්දනය නිසා සිදුවන ජනතාවගේ බිඳ වැටීම තේරුම් ගැනීමට විශේෂයෙන්ම ෆැසිස්ට්වාදී නායකයින් අපොහොසත්ව ඇත.

ඇත්ත වශයෙන්ම තමන්ව බලයට ගෙන ආ ජනතාවගේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම ඇතුළුව තම මැතිවරණ පොරොන්දු බොහොමයක් පසුගිය වසර තුළදී රාජපක්ෂ රජය විසින් බිඳ දමා තිබේ.

වසංගතයේ සන්දර්භය

මෙම රජයට ඡන්දය දීමට තමන්ම මුදල් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණි සංක්‍රමණික කම්කරුවන් දැන් රැකියා, නවාතැන් හෝ ආහාර නොමැතිව, ජීවත්වීම සඳහා ලිංගික වෘත්තීන්ට යොමු වී මැදපෙරදිග රටවල අතරමංවී සිටිති.1 ගෝලීය වසංගතය හමුවේ ඇතැම් අය පොදු උද්‍යානවල මාස ගණනාවක් ජීවත් වෙමින් සිටින අතර, ඔවුන් නැවත සිය මව් රටට යාමට පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ උපකාර බලාපොරොත්තුවෙන් සිටිති. මෙම රජයට ඡන්දය දුන් නිදහස් වෙළඳ කලාපයේ (FTZ) කම්කරුවන්ගෙන් බහුතරයක් ද, දින 14 ක අනිවාර්ය නිරෝධායනයන් ගණනාවකට යටත්ව, ආහාර සලාක, වැටුප් නොමැතිව හෝ රැකියාවේ සුරක්ෂිතභාවයේ සහතිකයක් නොමැතිව එවැනිම ඉරණමකට මුහුණ දී සිටිති.2

තමන්ට PCR පරීක්ෂණ සිදුකර ගැනීමට නොහැකි වීම නිසා හෝ ඔවුන්ගේ නිවෙස් කරා ගියවිට දින 14 ක නිරෝධායනයට ලක්වීමට සිදුවීම නිසාත් රැකියාව අහිමිවිය හැකි බැවිනුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මාස ගණනක් තිස්සේ තම පවුල් වෙත ගොස් නැත. වසංගතයේ සන්දර්භය තුළ කිසිඳු අර්ථවත් මූල්‍ය හෝ සමාජ ආරක්ෂක සහායක් නොලැබුණු මොරටුවේ වීදි වෙළෙන්දන් වීදියේ වෙළඳාමෙන් ඉවත් කිරීම නිසා ඔවුන්ට තම ජීවනෝපාය අහිමි වී තිබේ.3 සංචාරක ව්‍යාපාරය වසා දැමීම හේතුවෙන් ආදායම අහිමිවීම නිසා දැඩි ලෙස පීඩා විඳි කිසිදු මූල්‍ය ආරක්ෂණ විසඳුමක් නොලැබූ සෆාරි ජීප් රියදුරන් රජය විසින් කළමනාකරණය කරන ලද ‘සංචාරක බුබුල’ හේතුවෙන් COVID ආසාදිතයින් සිටි යුක්‍රේන සංචාරකයින් සමඟ සම්බන්ධවීම නිසා නිරෝධායනයට ලක්කොට තිබේ.4 මේ පිළිබඳව පුළුල් ලෙස විමසන්නේ නම්, මෙම වසංගතය තුළ සිටින මිනිසුන්ට අර්ථවත් ලෙස ප්‍රතිචාර දක්වන සමාජ ආරක්ෂාව සහ සුභසාධන පැකේජය තිබෙන්නේ කොහේද?

මෙම වසංගතයෙන් බේරීමට අරගල කරමින් සිටින තම ඡන්ද දායකයින්ගේ ප්‍රසාදය නැවත ලබා ගැනීමට ඔවුන්ගේ ‘අවධානය වෙනතකට යොමු කිරීමට’ රජයට අවශ්‍ය වීම පුදුමයට කාරණයක් නොවේ.

බලහත්කාර ආදාහනය

මුස්ලිම් සහ ක්‍රිස්තියානි COVID වින්දිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීම,5 උතුරේ දෙමළ ස්මාරකයක් විනාශ කිරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට ගොදුරු වූවන්ට යුක්තිය ඉටුවීමේ මුවාවෙන් PTA6 සහ ICCPR7 යටතේ මුස්ලිම්වරුන් කිසිදු චෝදනාවකින් තොරව අත්අඩංගුවට ගැනීම හා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම යනු ඇත්ත වශයෙන්ම රජය අසමත් වී ඇති බව ජානතාව සැබවින්ම දැකීමෙන් වලක්වා ගැනීම සඳහා සිදුකරන ජාතිවාදී ක්‍රියාමාර්ගයන් වේ.

අප, ජනතාව බෙදී සිටීම මත තම පැවැත්ම රඳා පවත්වා ගන්නා මෙම පීඩාකාරී නායකයන් කෙරෙහි තව කොපමණ කාලයක් අන්ධ වී සිටිනවා ද? අපි ඒ අවබෝධය ඇතිකර ගන්නා මොහොතට දැනටමත් බොහෝ කල් ගත වී නැද්ද? ඒ මොහොතට අපව රැගෙන යනු ඇත්තේ කුමක් ද?

අනිවාර්ය ආදාහනය සහ යාපනය විශ්ව විද්‍යාලය තුළ දෙමළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීම ආදිය මගින් මෑතදී සිදු වූ සුළුතර විරෝධී ක්‍රියාමාර්ග අප විසින් දැඩි ලෙස හෙළා දකින්නෙමු. කටුක බෙදීම් සහ ධ්‍රැවීකරණයන් මගින් අපේ සමාජය සහ අපගේ අනාගතය තීරණය කිරීමට රජයන් විසින් ගනු ලබන ආයතනික උත්සාහයක කොටසක් ලෙස මෙම ක්‍රියාවන් අපි විසින් හඳුනා ගන්නෙමු.

ෆැසිස්ට් දේශපාලනය

දිගු කලක් තිස්සේ අපව වෙන්කර දැමූ මෙම ෆැසිස්ට් දේශපාලනයට එරෙහි වීමට එක්ව නැගී සිටින ලෙස විමුක්ති ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ආණ්ඩු බලයට පත්වීමට සහ බලයේ සිටීමට භාවිතා කරන මෙවැනි බෙදුම්කාරී ක්‍රියාමාර්ග හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු. එසේ කිරීමෙන් අපව වළක්වන දේශපාලන හා පාලක සංස්කෘතිය පරදවා අපව වෙන් කොට ධ්‍රැවීකරණය කර තබා ගැනීමට උත්සාහ කරන ජනවාර්ගිකආගමික බෙදීම් ඉක්මවා ජයගන්නා ලෙස අප ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. රාජ්‍යය විසින් උසිගන්වන ලද ඕනෑම ප්‍රචණ්ඩත්වයකට එරෙහිවන ලෙසත්, ජනතාව වශයෙන් රජය අපට වගකිව යුතු බව පවත්වා ගන්නා ලෙසත් අපි ශ්‍රී ලංකා ජනතාවගෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු.

2 Situation Of Garment Factory Workers In Katunayake – Covid-19 – https://www.colombotelegraph.com/index.php/situation-of-garment-factory-workers-in-katunayake-covid-19/

3 [Video] Heated Situation Breaks Out At Street Vendors Protest Opposite Moratuwa MC Building: Call For Lifting Of Ban On Trade Activities – https://asianmirror.lk/news/item/32665-video-heated-situation-breaks-out-at-street-vendors-protest-opposite-moratuwa-mc-building-call-for-lifting-of-ban-on-trade-activities

4 ආණ්ඩුව ගේන්න කඩේ ගිය අපිට දැන් රෙදි නැතුව යන්න වෙලා තියෙන්නේසංචාරකයන් යාල සෆාරි අරන් ගිය රියදුරන් https://www.youtube.com/watch?v=qRdCL5iB-v0&feature=youtu.be

5 Distressing cremation of Muslim COVID-19 victims – http://www.ft.lk/opinion/Distressing-cremation-of-Muslim-COVID-19-victims/14-708520

6 PTA: Terrorising Sri Lanka for 42 years – Socio-economic and psychological impact on families of PTA detainees following the Easter Sunday Attacks – https://twitter.com/lstlanka/status/1328605000436772866?s=19 & Justice for Hejaaz – https://twitter.com/Justice4Hejaaz

Archive

Latest news

Related news