Thursday, May 2, 2024

මහර ඝාතන: අගතියට පත් පාර්ශවයට අවසර; විරවංශගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය නියෝගයක්!

ඡායාරූපය: මහර බන්ධානාගරයෙහි සිදුවූ වෙඩි තැබීමෙන් පසු සිරගතව සිටි සිය ඥාතීන් පිළිබද තොරතුරු ඉල්ලා අයාචනා කරන පිරිසක්. ( ජායාරූපය ද ගාර්ඩියන්)

පසුගිය නොවැම්බර් 29දා මහර සිරගෙදරදී සිදුවූ සිරකරු ඝාතනය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂනය යළි අද (30) කැඳවන ලද අවස්ථාවෙහිදී පසුගිය නඩු වාරයෙහිදී රජයේ නීතිඥවරිය විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටී නීතිවේදී කණ්ඩායමට විරුද්ධව ගෙන එන ලද චෝදනා නොතකා ඔවුන්ට දිගටම අගතියට පත් සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමට වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අවසර දුන්නේය.

නිශාරා ජයරත්න එදින චෝදනා කළේ මෙම නීතිවේදී කණ්ඩායම රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් පැමිණ ඇති බවත් රාජ්‍ය නොවන සංවිධානයන්ට ඕනෑ විදිහට කටයුතු කළ නොහැකි බවත්ය.  

අද දින මෙම නීතිවේදී කණ්ඩායමට සේනක පෙරේරා, අචලා සෙනවිරත්න, චූලා අධිකාරී, තම්බයියා ජේ. රත්නරාජා, නාමල් රාජපක්ෂ, ලුතීෆ් සයිනුල්, විජේරත්න සහ චාමර යන අය අයත් වූහ.

කියවන්න :රජයේ නීතිඥ නිශාරා ජයරත්නගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්

තවද මෙම ඝාතනයන්ට අදාළ නඩුව සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ සිරකරුවන් අතර කළහයක් ඇතිවීමට හේතුව යම්කිසි පෙති වර්ගයක් පානය කිරීම යැයි වීරවංශ විසින් කරන ලද කතාව පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිඥ සේනක පෙරේරා ප්‍රමුඛ නීතිවේදී කණ්ඩායම විසින් කරන ලද ඉල්ලීමක් අනුවය. විමල් වීරවංශගේ ප්‍රකාශය අනුව ඔහු මෙම අපරාධයෙහි තොරතුරු දන්නා බව පෙනෙන බැවින් එවැනි අයකුගෙන් කරුණු විමසීමට අධිකරණයට ඇති අයිතිය මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවෙහි රජයේ නීතිඥවරිය වන නිශාරා ජයරත්න කියා සිිටියේ අමාත්‍ය වීරවංශ විසින් කරන ලද එවැනි කතාවක් ගැන තමන් නොදන්නා බවයි. ඊට පිළිතුරු වශයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනවිරත්න පෙන්වා දුන්නේ  තමන් එම කරුණ ඉදිරිපත් තළේ මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට මිස රජයේ නීතිඥවරියට නොවන බවයි.

විමල් වීරවංශ මහර ඝාතන සම්බන්ධයෙන් දක්වන ලද අදහස්

එම ඉල්ලීමට ඉඩ දුන් වැලිසර මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන අයගෙන් මෙම අපරාධය සම්බන්ධයෙන් ඔවුන් විසින් කර ඇති ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

ද දින මරණ පරීක්ෂන වාර්තා හතරක් ඉදිරිපත් කරන ලද ඒ සියලු දෙනාම වෙඩි වැදීමෙන් ඝාතනයට ලක්ව ඇති බව එමගින් සනාථ වී තිබුනි. එම මළ සිරුරු ආදාහනය කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

මරාදුමුණු රැඳවියන් සිව්දෙනෙක් (වමේ සිට): මාලන් ක්‍රේග්, රසික හර්ෂණ, සම්පත් පුෂ්පකුමාර සහ අමිත් සුබසිංහ ( ජේඩීඑස්)

ලබන ජනවාර් 10 දින මෙම නඩුව යළි කැදවනු ඇති අතර එවිට ඉතිරි මරණ පරීක්ෂන වාර්තා තුනද එදිනට ඉදිරිපත් කැරෙනු ඇතැයි විශ්වාස කෙරෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

Archive

Latest news

Related news