Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවට ආධාර දීම සඳහා වන ඇමෙරිකානු කොන්දේසි අතර මානව හිමිකම් සුරැකීම ඉහළින්ම.

ජායාරූපය: අතරුදහන්වූන්ට යුක්තිය ඉටු කිරීමත්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ සක්‍රීය කාර්යාලයක් පවත්වාගෙන යෑමත් එම කොන්දේසි අතර වේ.© sunanda deshapriya සුනන්ද දේශප්‍රිය

පසුගිය දා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබන ලද සහන වැය පැකේජයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව චීනයේ බලපෑමට නතු නොවී රටෙහි ස්වෛරීභාවය තහවුරු කළ යුතු බවත් රාජ්‍ය පාලනයේ විනිවිදභාවය සහ වගවීම වැඩි කළ යුතු බවත් එහි දක්වා තිබේ.

එළෙස අත්සන් කරන ලද පැකේජය යටතේ ආධාර ලබා දීමට හෝ වැය කිරීමට ඉඩ ඇති රටවල් 31ක අතර ශ්‍රී ලංකාවද වෙයි.

මෙම පනත යටතේ වෙන් කර ඇති අරමුදල් මගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට ආධාර ලබා දිය යුතු බව පනත් කෙටුම්පතෙහි සඳහන් වේ.

විශේෂයෙන් ජනවාර්ගික හා ආගමික ගැටුම්වලට මුහුණ දී යථා තත්ත්වයට පත්වෙමින් ඇති ප්‍රදේශවල කටයුතු සඳහා එම අරමුදල් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයට ආධාර කිරීම සඳහා පනත මගින් වෙන් කර ඇති අරමුදල් ලබා ගත හැක්කේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් විසින් එරට විසර්ජන කමිටුවට ශ්‍රී ලංකාව පිළිබද සහතික කරන ලද වාර්තා ඉදිරිපත් කළ පසු පමණි. එම සහතික කිරීම සඳහා අවශ්‍ය වන කොන්දේසි කිහිපයක් එම පැකේජයට ඇතුළත් වේ.

ජනවාර්ගික හා ආගමික විශ්වාසයන් නොසලකා ශ්‍රී ලංකාවේ සියළු ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහසට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ලදායී හා ස්ථාවර පියවර ගැනීම ඒ අතරද වේ.

අනෙකුත් කොන්දේසි අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම් හේතුවෙන් විරසකයන් පැනනැගී ඇති ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම, හමුදාවන් විසින් අල්ලාගෙන ඇති ජනයාගේ ඉඩම් සහ ඒවායේ හිමිකාරිත්වය පිළිබඳ ගැටළු විසඳීම, අතුරුදහන් වූවන් සඳහා යුක්තිය ඉටු කිරීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය සක්‍රීයව පවත්වාගෙන යෑම, ගැටුම් තිබූ කලාපයන්හි රඳවා ඇති සන්නද්ධ හමුදා ප්‍රමාණය අඩු කිරීම. පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානයට සහ කලාපීය ආරක්ෂාවට දායක විය හැකි පරිදි සාමකාමී කාර්යභාරයන් සඳහා ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය ඇතුළත් වේ.

තවද ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳ නීති අවලංගු කිරීම හෝ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වනසේ සංශෝධනය කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හා වධහිංසා පැමිණවීම පිළිබඳ ඇති චෝදනා විමර්ශනය කිරීම සහ විශ්වසනීය අපරාධ යුක්ති යාන්ත්‍රණයක් සදහා සහාය විමද මෙම කොන්දේසිවලට ඇතුළත් වේ.

මෙම කොන්දේසි මානුෂීය ආධාර සහ ආපදා සහන සඳහා වෙන් කර ඇති අරමුදල් සඳහා අදාළ නොවන බව පනත පවසයි. එම කරුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අතුරුදහන්වූවන් සොයා ගැනීම සහ වධහිංසා හා කම්පනයන්ට ගොදුරු වූවන්ට සහාය වීම; යුක්තිය, වගවීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම; සමුද්‍රීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර මිලිටරි අධ්‍යාපනය සහ පුහුණුව සඳහා රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ ස්වෛරීභාවය ප්‍රවර්ධනය කිරීම.

මෙම පනත මගින් ශ්‍රි ලංකාව ඩොලර් 15,000,000 ක් දක්වා අරමුදලක් ලබා ගත හැකි.

Archive

Latest news

Related news