Monday, May 20, 2024

“නීතිඥ සංගමයේ සභාපතිකමට මට ජන්දය දෙන්න” – හමුදා නීතිඥ හමුවකට කුවේර සොයිසා කියයි; නීතිඥ සාලිය පීරිස් ද්‍රෝහියෙක්ලු!

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණයෙහි සභාපති ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ජේෂ්ඨ නීතිඥ සාලිය පීරිස් යුද හමුදාවට ද්‍රෝහිකම් කළ පුද්ගලයකු බව යුද හමුදා හමුදා නීති නිලධාරීන්ගේ හමුවකට සහභාගි වූ නීතිඥ කෞෂල්‍ය නවරත්න ප්‍රකාශ කර තිබේ.

ඔහු ඊට හේතු දක්වා නැතත් නීතිඥ සාලිය පීරිස් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ලෙස කටයුතු කර කිරීම එම ප්‍රකාශයට හේතු විය හැකියැයි නීති අංශ අනුමාන කරයි.

පසුගිය දෙසැම්බර් 18වනදා මෙම යුද හමුදා නීති නිලධාරී හමුව සංවිධානය කර ඇත්තේ යුද හමුදාපති ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වා විසිනි.

එම හමුවට සහභාගී වූ නීතිඥ සංගමයේ සභාපති ධූරයට තරඟ කරන නීතිඥ කුවේර ද සොයිසා ප්‍රකාශ කර ඇත්තේ මෙවර නීතිඥ සංගම් නිලවරණයට ඉදිරිපත් නොවූයේ නම්, යුද හමුදාවට බැඳී පූර්ණකාලීනව සේවය කිරීමට තීරණය කර තිබූ බවත්, තමන්ට හමුදාව පිළිබඳව එවැනි ගෞරවයක් ඇති නිසා බවත්ය.  එබැවින් හමුදා නීති නිලධාරීන්ට තමන්ට ඡන්දය ලබාදීමේ කිසිදු ගැටළුවක් නොතිබිය යුතු බවය

මෙවර නිලවරණයෙන් තමා පරාජය වුවහොත් යුද හමුදාට බැදෙන බවට කුවේර ද සොයිසා පොරොන්දුවක් දුන්නේද යන්න වාර්තා වී නැත.

මෙම හමුව සහ නීතිඥවරුන් දෙදෙනා කරන ලද ප්‍රකාශ පිළිබඳ වාර්තාව මෙයට දින දෙකකට පෙර මීඩියාඑල්කේඩොට්කොම් වෙබ් අඩවියෙහි පළ කර තිබූ අතර දෙදිනක් ගතවීත් එයට නිවැරදි කිරීමක් එවූ බවක් වාර්තා වී නැත.

එම වාර්තාව මෙයයි

එම වාර්තාව පවසන්නේ මෙම හමුව සංවිධානය කළ හමුදාපති ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වාගෙන් මේ ගැන විමසීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවය.

එනමුත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ එවැනි හමුවක් පැවැති බව පිළීගෙන තිබේ. ඔහු පවසා ඇත්තේ නීතිඥ කුවේර ද සොයිසා සහ කෞෂල්‍ය නවරත්න පැමිනීම සාමාන්‍ය කරුණක් බවයි. එනමුත් යුද හමුදා නීති නිලධාරින්ගේ හමුවක් සංවිධානය කර ඊට නීතිඥ සංගමයේ නිලවරණය සඳහා තරඟ කරන එක් පුද්ගලයකු ගෙන්වා ඔහුට කතාවක් ලබාදීම සාමාන්‍ය කාරණයක් නොවන බව බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පිළිගෙන නැත.

ඊට අමතරව මෙම හමුවට පැමිණි එක් නිලධාරියකු කොවිඩ් 19 අසාදිතයකුගේ ප්‍රථම සම්බන්ධතාවයක්ව තිබියදී කිසිදු නිරෝධායන පිළිවෙතක් අනුගමනය කරද නැත.

ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වා කොවිඩ් වැලැක්වීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් අසාදිතයින් සමඟ සම්බන්ධතා තැබූ සිය ගණන් ජනයා නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමට කටයුතු කළ අයෙකි. එනමුත් ඉහත කී වාර්තාවට අනුව ඔහු සිය නීති නිලධාරීන්ට එම නිරෝධායන නීති පනවා නැත.

එක රටක් නමුත් නීති දෙකකි.

Archive

Latest news

Related news