Friday, May 17, 2024

මාලදිවයන යැදීම නොහොත් කෝවිඩ් මළසිරුරු මැද රාජපක්ෂ ආන්ඩුව එම්බාම්වීම!

බලහත්කාරයෙන් කොවිඩ් අසාදිත මළසිරුරු ආදාහනය කිරීමේ අඥාන තිරණය නිසා රාජපක්ෂ ආන්ඩුව අමුවෙන්ම එම්බාම් වන තත්වයක් ඇතිව තිබේ.

ඊයේ මාලදිවයිනෙහි විදේශ ඇමැතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය රටෙහි කොවිඩ් අසාදනය වී මිය යන මුස්ලිම් ජනයාගේ මළසිරුරු බාරගෙන මලිදිවයිනෙහි භූමිදානය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ නැත.

මාලදිවයින් විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශය

කොවිඩ් අසාදිත වී මියයන මුස්ලිම් ජනයාගේ මළසිරුරු බලහත්කාරයෙන් අදාහනය කිරීමට රාජපක්ෂවරු තීරණය කල විට වසර මුලදී එසේ නොකරන ලෙස මුස්ලිම් සමාජයෙන් මතුවූ දුක්ගැනවිල්ල අන්තවාදී භික්ෂුන් සහ ජඩ මාධ්‍ය විසින් යටපත් කරන ලද්දේ තර්ජනයෙන් සහ ගර්ජනයෙනි.

මාල දිවයින් විදේශ ඇමැතිවරයාගේ ඉහති කී ප්‍රකාශයෙන් පසු සිය රටෙහි පුරවැසියන් වෙනත් රටක වැළලීමට රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලීම නින්දිත ලැජ්ජා නැති එකක් බව සමාජ මාධ්‍ය විචාරකයෝ එක දිගට ප්‍රහාර එල්ල කළහ.

සජබ පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙම ඇදහිය නොහැකිබවත් මාස ගණනාවක ඉල්ලීම් වලින් පසු මෙරටදීම එම භූමිදානයන් කිරීමට අගැමැති රාජපක්ෂ එකඟ වු බව තමා සිතා සිටි බවයි.

“මෙය සත්‍යයක් නම්, ස්වකීය පුරවැසියන්ගේ ‘අවමංගල්‍ය කටයුතු සඳහා පහසුකම් සපයන ලෙස’ ශ්‍රී ලංකාව අසල්වැසි රටකින් ඉල්ලා සිටීම අපකීර්තියකි. සියළුම ශ්‍රී ලාංකිකයන්ට තමන් ඉපදුණු හා හැදුණු වැඩුණු පසෙහි ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව අවසාන චාරිත්‍ර ඉටු කිරීමට අයිතිය තිබිය යුතුය,” යැයි මංගල සමරවීර කියා සිටියේය.

දැන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසන්නේ මාලදිවයිනේ කොවිඩ් විනිදිත මුසිලිම් ජනයාගේ සිරුරු මාලදිවයිනෙහි භූමදාන කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයිනෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය නොදන්නා බවයි.

එමගින් පෙනි යන්නේ ජනාධිපති රාජපක්ෂ අඩුම ගණනේ සිය අමාත්‍ය මංඩලයටවත් මෙැවැනි බාරදූර පියවරක් ගැන දන්වා නැති බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ ද තවම මේ ගැන කට ඇර නැත.

මියයන කොවිඩ් අසාදිත මුස්ලිම් ජනයාගේ සිරුරු මෙරට භූමිදානය කළ යුතු බව අමාත්‍ය මංඩල රැස්වීමේ දී නොව සිය පේස් බුක් පිටුවේ කියූ ගෝඨාභයගේ පුද්ගලික නීතිඥ සහ අධිකරණ ඇමැති අලි සබ්රිගෙන්ද සද්දයක් නැත.

මෙරට මුස්ලිම් සමාජයද මෙම යෝජිත පියවරට තවම කැමැත්තක් දක්වා නැත.

කොවිඩ් අසාදිතව මියගිය මුස්ලිම් ජනයාගේ මළසිරුරු තවම ආන්ඩුවේ මෝචරි සාක්කුවේය. අපරාජිත බලවන්තයින් යැයි කියාගත් රාජපක්ෂවරු දැන් මළ සිරුරු කිහිපයක් හමුවේ වේවලන්නට පටන් ගෙන තිබේ.

මේ මළසිරුරු මෙන්ම ආන්ඩුවද මේ ප්‍රශ්නයේදී එම්බාම් වන්නට පටන් ගෙන තිබේ.

ඒ කොතෙක්ද කිවහොත් රාජපක්ෂවරුන්ගේ වම්අත කරන දේ දකුණු අත දන්නේ නැත.

රාජපක්ෂවරු මෙම මළසිරුරු භූමිදානයට ඉඩ නොදුන්නේ කිසිදු විද්‍යාත්ම පදනමක් මත නොව තමන් විසින්ම දේශපාලන වේදිකාවේ කිරුළු පළන්දවන ලද සිංහල බෞද්ධ නාමයෙන් පෙනී සිටින අන්තවාදී බලවේග නිසාය.

එක් මුස්ලිම් මළසිරුරක් හෝ භූමිදානය පිනිස ඉඩ දුන්හෛාත් ආන්ඩුවද භූමිදානය කරන බවට එම පිරිස් අනතුරු හැඟවූහ. රාජපක්ෂවරුන්ට මාලදිවයින වැනි රටක පසුපස යමින් යදින්නට වී ඇත්තේ එකී අන්තවාදී බලවේගයන්ට ඇති බිය නිසාය.

එනයින් මෙම කාරනයේදී ආන්ඩුවද එම්බාම් වූ ඇවිදින මළමිනියක් වැන්න.

මළසිරුරුවලට මෙතරම් බලයක් ඇතැයි අප මීට පෙර දුටුවේ අරාබි කාන්තාරයන්හි සැඟවුණූ වස්තු සොයා යන අද්භූත චිත්‍රපටිවලදී පමණි.

දැන් එම අපේ ඇස් ඉදිරිපිටදීම සිදුවෙයි.

ඒ මේ මළසිරුරු සමස්ත ප්‍රජාවක ආත්ම ගරුත්වයේ සංකේතය බවට පත් ව ඇති නිසාය.

රාජපක්ෂවරුන් සිය රටෙහි ජනයා අන් රටක භූමිදානය කරන ලෙස යදින්නට තරම් දේශපාලන පල්ලමකට වැටී තිබේ. අන්තවාදය කිසි විටෙක කිසිවෙකුට දීර්ඝ කාලීන බලයක් වී නැත.

දැන්වත් ඒ පාඩම ඉගෙන ගන්න.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news