Wednesday, July 17, 2024

කෞටිල්‍ය, හාස්කම් සහ පැනියේ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: බොරු හාස්කම් මගින් ජනයා රවටන හැටිත්, වවේචකයින් මරා දැමිය යුත් හැටිත් කෞටිල්‍ය දේශපාලනයේ දෙපැත්ත විය.

ධනපාල පැනිය ආරක්ෂා කරමින් රාජපක්ෂ ඇමැතිවරුන් වන වීරවංසගේ සිට සිසිර ජයකොඩි දක්වා කරන ලද කතාන්තර වඩාම ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ ජනාධිපති රාජපක්ෂ විසින් තනතුරු ගනනාවකට පත් කර ඇති ඔහුගේ මිතුරකු වන දිලිත් ජයවීරගේ නාලිකාව සහ හෙට අනිද්දා මරණ දඩුවමින් සමාව ලබා නිදහස්වීමට නියමිත දුමින්ද සිල්වා පවුලට අයත් හිරු නාලිකාව මගිනි. මුට්ටි දේවී නමින් විරුදාවලී ලත් ඇමැතිීනි පවිත්‍රා පැනිය බොනු රටටම පෙන්වූයේද ඔවුන්ය.

ජනයා මෝඩයින් බවට පත් කිරීම එම ඇමැතිවරුන් සහ ඇමැතිවරයන් විසින් කරන්නේ ඇත්තටම පැනිය විහ්වාස කරන නිසාද? නැත. රැවටීම නූතන දේශපාලනයේ සීග්‍රගාමී මත් පෙත්ත නිසාය. ඒ කාරණයට මෙහි අවසානයට යළි එමු.

දේශපාලන ගුලි

ධනපාලගේ පැනිය පිළිබඳ පරීක්ෂා කිරීම දැන් ආණ්ඩුව බාරගෙන තිබේ. ඉන් අදහස් වන්නේ එම පැනියට රාජපක්ෂවරුන් විසින් කොතරම් වටිනාකමක් ලබා දී ඇත්ද යනුය. මේ වනාහී එසේ මෙසේ පැනියක් නොව පාලක දේශපාලනඥයින්ට සිත්සේ උරා බී හැකි මල්ම මල් පැනියකි. කතානායක පැනි බෝතලය අත්ට ගන්නේ මහානර්ඝ වස්තුවක් මෙන් දෝතිනි.

පැනියට වශි වී

කිසිදු වෛද්‍ය සහතිකයක් නැති ධනපාලගේ පැනිය පරීක්ෂා කිරීම බාරගෙන ඇති රාජපක්ෂවරු හෙට අනුරාධපුරයේ ඥණක්කා හෝ මහරගම වයිට් විසින් පැනියක් හෝ ගුලියක් නිර්මානය කළ හොත් එයත් ආන්ඩුවේ සරසවි සහ රෝහල්හි පරීක්ෂා නොකරනු ඇත්ද?

පොදු දේපළ භාවිත කරමින් කිසිම වෙදකමක් නොදන්නා ධනපාල පැනිය රජයේ පරීක්ෂණ කමිටුවක් මගින් විමර්ශණය කරන්නේත් රරජයේ රොහල්හි රෝගීන් පැනිය පරීක්ෂා කිරීමට අවසර දෙන්නේත් කුමන නීතියක් රීතියක් උඩද?

ඇත්ත වශයෙන්ම කියන්නේ නම් මේ සියල්ලම දේශපාලන ගුලිය.

වයිට්ගේ කුන්ඩලී වතුර මුට්ටි නම් කිසිදු රෝහලක පරීක්ෂා කර නැත. මන්දයත් එහි ඇති අද්භූත බලය, වීරවංසගේ බාසාවෙන් කියන්නේ නම් නවීන විද්‍යාවට හසු නොවන නිසාය. දැන් ධනපාල බාස් ද එයම කියන්නට ඉඩ තිබේ. මන්ද යත් හමුගේ පැනිය කව්දෝ දෙවියකු විසින් ලබා දෙන ලද්දක් බැවින් එහි ඇති දේව බලයද නවීන විද්‍යාවට හසු නොවිය හැකි නිසාය.

බටහිර විරෝධය නුතන වෛද්‍ය විද්‍යා විරෝධයක් ලෙස

පැනියේ දේශපාලනය භයානක වන්නේ ශ්‍රී ලංකාව මේතාක් දුරට අත් කර ගන්නා ලද මහජන සෞඛ්‍ය දිනාගැනීම් මෙවැනි රාජ්‍ය නිර්දේශිත ඇස්බැන්දුම්කරුවන්ට බිලිවිය හැකි නිසාය. රාජපක්ෂ දේශපාලනයේ ප්‍රධාන සාධකයක් වන බටහිර විරෝධය, අද මෙරට ප්‍රධානතම වෛද්‍ය ක්‍රමය වන බටහිර වෛද්‍ය විද්‍යාවට ද එරෙහිව දැන් මුදා හැරෙමින් ඇති නිසාය.

ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පුරාතනයේ සිට පැවත එයි. එහි වටිනාකම් එන්නේ දුරාතියෙහි සිට පරම්පරාවෙන් පරම්පරාවට ලද අත්දැකීම් එක් කර ගැනීම මගිනි. එහි විධි ක්‍රමය පර්යේෂණය, නිරීක්ෂනය සහ නිගමනය යන්න නොවේ.

එනමුත් 1950 වසරෙහිදී 52ක් වූ මෙරට ජනයාගේ පරමායුෂ අද වන විට 76ක් දක්වා වැඩිවී තිබෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යා දියුණවද සාධකයක් වශයෙන් ඇතිවය. ආයුර්වේදය නිසා නොවේ. මෙරට ළදරු මරණ සහ මාතෘ මරණ එක පිම්මේ පහළ යවන ලද්දේ ද බටහිර වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම් සහ භාවිතයින් නිසාය. මෙම ජයග්‍රහණයන් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුයේ කිසිදු පැනියක් හෝ අද්භූත බලයකින් වඩම්මන ලද සුවිශේෂ ගුලියක් හෝ නිසා හෝ නොවේ.

අපි උදාහරණයක් ලෙස සරම්ප රෝගය ගනිමු. අද මෙරට සෑම දරුවකුටම සරම්ප එන්නත ලබා දෙනු ලැබේ. මෙම එන්තත සොයා ගත්තේ 1960ගණන් මුලදී ය. එයට පෙර, උදාහරණයක් වශයෙන් 1920 දී සරම්ප වැළදුණූ අයගෙන් සියයට 20ක් මිය ගියේය. අද මිය යන්නේ 1000කට එක් අයකු තරම්ය. සරම්ප රෝගයද බෝවන්නේ වයිරසයකිනි. එය නව කෙරෝනා වයිරසයටත් වඩා වේගයෙන් පැතිරෙයි. විද්‍යාත්මක පර්යේෂන මගින් එන්නත සොයා ගන්නා තුරු කිසිදු පැනියකට හෝ දේව බලයකට සරම්ප වසංගතය නතර කළ නොහැකි විය.

ආයුර්වේදයට පුලුවන්ද?

හුදෙක් ප්‍රතිශක්තිය මගින් වයිරස් අසාදනයක් වැළැක්විය නොහැක. එසේ වී නම් ශක්තිමත් පුරුෂයින්ගෙන් සහ ස්ත්‍රීන්ගෙන් පිරි නාවික හමුදාව තුළ එය එතරම් වේගයෙන් පැතිරෙන්නේ නැත. වයිරසය අසාදානය වැළැක්විය හැකි අත්හදා බලන ලද ක්‍රමය වන්නේ ප්‍රතිදේහ ශරීරය තුල ඇති කරවන එන්නත් ලබා දීමයි.

1930 ගණන්හිදී ජර්මනියෙහි නිපදවන ලද බලසම්පන්න අන්වීක්ෂයක් මගින් වයිරස සහ බැක්ටීරියා හොදින් නීරීක්ෂනය කරනු තුරු ඒවා මගින් රෝග බෝවන්නේ කෙසේදැයි ගැඹුරු දැනුමක් තිබුණේ නැත. ආයුර්වේද ක්‍රමයන්ට අන්වීක්ෂය අයත් නැත.

දැන් රාජපක්ෂවරුන් විසින් ධනපාල පැනිය හෝ වෙනත් ආයුර්වේද පැනියක් මගින් නව කොරොනා වයිරසය පාලනය කළ හැකි බව දේශනා කරන්නේ ඉහත කී මූලික විද්‍යාත්මක කරුණූ නොදැන නොවේ. ගෝඨාභය රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ ආයුර්වේද වෙදුන්ගෙන් නොව සිංගප්පූරුවේ සිටින බටහිර වෛද්‍ය විද්‍යාව භාවිත කරන ඉහළම පෙළේ වෛද්‍යවරුන්ගෙනි. රාජපක්ෂ දේශපාලන පවුලේ කවරකුවත් තමන්ට කොවිඩ්19 අසාදනය වුවහොත් ධනපාල පැනිය බොන්නට යන්නේ නැත. ඔවුන් යනු ඇත්තේ බරහිර වෛද්‍ය විද්‍යාවේ සරණ පතාය.

එසේ වුවත් දහස් ගණනින් ජනයා ධනපාල පැනිය බීමට කෑගල්ලට යවන ලද්දේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය විසිනි.

කැමරාව ඉදිරියේ පැනිය බීවේ වෙනින් කව්රුවත් නොව රාජපක්ෂවරුන්ගේ සෞඛ්‍ය ඇමැතිනියයි. එය ලෝකයට බෙදා හැරියේ රාජ්‍ය මාධ්‍ය විසින්ය.

ඇයි?

කෞටිල්‍යගෙන් ඉගෙන ගැනීම

මිථ්‍යාව මත පදනම් වී ජනයා රැවටීම, නූතන ජාතිකවාදී දේශපාලනයේ එක් කොටසක් නිසාය.

කෞටිල්‍ය නෙහොත් විශ්ණු ගුප්ත නම් රාජකීය උපදේශක අර්ථ ශ්‍රාස්ත්‍රඥයා ජීවත් වූයේ මෙයට වසර 2000 කට තරම් පෙර ඉන්දියාවෙහිය. ඔහුගේ උපදෙස් ලබා මයුරන් අධිරාජයා බලයේ මුදුන් පෙත්ත කරා නැගුණි.

සිය “අර්ථසාස්ත්‍ර” නම් කෘතියෙහි ඔහු මෙසේ ලිවීය:

අඥාණයින් රැවටීමට මැජික්, ගුප්ත දේ සහ විශ්වකර්ම යොදා ගන්න.

නාගයෙක් හෝ වරුණ (ජල දෙවියා) යැයි මවා පෙන්වීමට ඒජන්තයෙන් යොදා ගන්න. ඔහු සුදු පාටින් පිරියම්කර රහසිගත ක්‍රමයකින් ජලයෙන් මතුවීමට සළස්වන්න. එමෙන්ම ගං ඉවුරෙන් (රහසිගතව සෑදූ උමගක් මගින්) ආපසු යන ලෙස දක්වන්න. අනතුරුව තවත් රාජ සේවකයින් නාගගේ සතුරා පසුපස් පන්නන බවත් ඕනෑම දෙයක් කළ හැකි වරමක් නාගගෙන් රජුට ලබා ගන්නා බවත් මවා පෙන්වන්න”

කැළනි ගගෙන් මතුවූ බව කී ජනප්‍රවාදගත මානි අක්ඛිත නා රජුගේ නියෝජිත නාගයා මතකද? ඒ නාගයා විසින් ගෙන ආ බව කී ධාතු වන්දනාව මතකද? කැළනි පන්සලේ භික්ෂුවක තමාට මහ හඩක් ඇසුණූ බවත් ඒ් හඩින් ජලය දෙබෑකරගෙන ආ බව කී එම නාගයා මතුවීම රාජපක්ෂවරුන් බලයට පත්ව රට සුඛිත මුදිත කරවීමේ සංකේතයක් බව ඇඟවූවා මතකද? සුද ඇදුමින් සැරසී ජනී ජනයා දෙහොත් මුදුන් දී ලීටර් පහේ ප්ලාස්ටික් වතුර බෝතලයක දමා සිටි නාගයාට වැදගෙන යනු දිලිත් ජයවීරගේ නාලිකාවෙන් පෙන්වූවා මතකද?

කැළනි නාගයා සහ පැනිය යනු කෞටිල්‍යගේ උපදේශයේ නූතන අනුවර්ථනයන්ය.

නාගයා මතුවීම මෙහි කොටා බලන්න 

කෞටිල්‍ය මෙසේද ලීවේය:

සඳ සම්පූර්නයෙන් බැබලෙන හෝ නව සඳ ඇති රැයෙහි රාක්ෂයකු පැමිණ මිනිසුන් පණ පිටින් ගිල දමන බවට කටකතාවක් පතුරන්න. අනතුරුව රාක්ෂයා ලෙස පෙනී සිටිමින් රාජ සේවකයකු මිනිස් බිල්ලක් ඉල්ලා සිටිය යුතුය. ඉන්පසු එතැන පසුකර යන කවරකුට හෝ යකඩ දණ්ඩකින් පහර දී ඝාතනය කොට එය රාක්ෂයා පිටින් යැවිය යුතුය. තවද රහස් ඔත්තුකරුවන් සහ ශ්‍රාස්ත්‍රකරුවන් ලවා තැන තැන යක්ෂයින් දැක ඇති බව ප්‍රචාරය කළ යුතුය.”

ග්‍රීස් යක්කු මතකද? උන් ආයෙත් නොඒවිද?

ජනයා රවටා මුදල් සොයන හැටිද කෞටිල්‍ය කියා දුන්නේය:

ජනයාගෙන් මුදල් එක් කර ගැනීමට බොරු හාස්කම් පෙන්වන්න.

එක රුයකින් හෝ එකවරම වාගේ හාස්කමක් ලෙස පන්සලක් හෝ දේවාලයක් බිහිවූ පෙන්වන්න. පොළක් හෝ උත්සවයක් දමා මුදල් ගරාගන්න. නැත්නම් හිස් ගණනාවක් ඇති නාගයකු ඉපිද ඇතැයි මැජික්කාරයකු ලවා පෙන්වන්න. නැත්නම් අකලට මල් පීදීමක් සොයා ගන්න. එය දිව්‍යමය සිදුවීමක් බව ප්‍රචාරය කරන්න. එහෙමත් නැත්නම් අද්භූත රෝගයකට ප්‍රතිකාර යැයි බොරු බෙහෙතක් අලෙවි කරන්න”

සුදුවෑන් වෙනුවට

අද මෙන්ම එදාද රජවරුන්ගේ බේගල් විශ්වාස නොකළ අද පැනිය ප්‍රශ්ණ කරන්නාක් වැනි විසංවාදීහු සිටියහ. ඒවැනි අයට දිය යුතු බෙහෙතද කෞටිල්‍ය දක්වා තිබේ:

හාස්කම් ප්‍රශ්ණ කරන අය ත්‍රස්ත කරන්න.

මේ හාස්කම් පිළිනොගන්නා අයවලුන් බිය ගන්නවා ඒවා පිළිගැනිමට පෙළඹවිය යුතුය. රහස් ඔත්තුකරුවන් ලවා මේ විසංවාදකයින්ට වස මිශ්‍ර වතුර බොන්නට දී රෝගයට හේතුව දේව සාපයක් යැයි ප්‍රචාරය කළ යුතුය. වස කැවූ අයවලුන් විසෙන්ම ඝාතනය කොට දේවියන්ගේ පළිගැනීමක් යැයි ප්‍රචාරය කළ යුතුය”

අද විස මිශ්‍ර වතුර වෙනුවට වෙඩි උන්ඩ හෝ සුදුවෑන් තිබේ.

රට සුඛිත මුදිත කිරීමේ හාස්කම ප්‍රශ්න කරන සුලුතරය වෙත දේව සාපයක් නොඑවනු ඇතැයි සිතිය හැකිද?

පැනි කතාව මෙතැනින් අවසන් නැත. රැවටිල්ලේ දේශපාලනය සහ හාස්කම්හි අනෙක් පැත්තක්ද තිබේ. එනම් අනෙකා නැති භංගකළ යුතු බවට කියැවෙන දේශද්‍රෝහී කුමන්ත්‍රණ යනාදියයි.

බොහෝ ජනයා හාස්කම් මෙන්ම අනෙකා ද්‍රෝහියකු සේ පිළිගන්නේ මන්ද යන්නද විභාග කල යුතු මැයකි.

Archive

Latest news

Related news