Friday, May 17, 2024

අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයින්ගේ තත්වය ගැන හදිසි අභියාචනයක්

මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා දෙන දෙයක් කාලා ඉන්න තිබුණා.දැන් අපිට කර කියාගන්න දෙයක් නෑ. වැඩ තියෙයි කියලා හිතාගන්නවත් බෑ .බෝඩිමෙන් එළියට යන්නත් නෑ . හැමදාමත් කාමරයෙන් කාමරේ අනිත් අයගෙන් මොනව හරි ඉල්ගෙගෙන කන්න තමයි වෙලා තියෙන්නේ. දැන් දැන් අනිත් අය කාමරේ දොරවල් අරින්නෙත් නැහැ. ඇත්තටම ඒ ළමයින්ටත් නැතිකොට කොහොමද තවත් උන්ව බලාගන්නේ.ගෙදර යන්න විදිහකුත් නැහැ. කවුරුවත් අපි බාර ගන්න ලෑස්ති නැහැ .මෙහෙම ගියොත් වහ ටිකක් කන්න තමයි වෙන්නේ,” කටුනායක ඇවරිවත්තේ ස්වයං නිරෝධායනයේ සිරවී සිටින මෑන්පවර් සේවකයෙකු පැවසීය.

ශ්‍රී ලංකාවේ COVID-19 හි දෙවන රැල්ල ලෙස සැලකෙන තත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දහස් ගණනක් කම්කරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ මෙම විශාල පොකුර දැන් කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙළඳ කලාප (FTZ) වෙත වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට නිරෝධායනය කරනු ලබන කම්කරුවන් 1000 කට වැඩි පිරිසකට අමතරව, බොහෝ කම්කරුවන්ට තම නේවාසිකාගාර සහ බෝඩිං ස්ථාන තුළ ස්වයං නිරෝධායනයවන ලෙස පවසා තිබේ. කම්කරුවන් නවාතැන්වලින් ඉවතට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට නේවාසිකාගාර හිමියන්ට පොලීසිය විසින් අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, මෙම කම්කරුවන්ට නිසි පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති නිසා, ඔවුන්ට ආහාර සහ ඖෂධ ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ ගබඩා කර ගැනීමට නොහැකි වී ඇති අතර, එබැවින් ඔවුහු දිවි ගලවා ගැනීමේ අරගලයක නියැලී සිටිති. වඩාත්ම බලපෑමට ලක්වූ සමහර ප්‍රදේශ; කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඇවරිවත්ත, ජයවර්ධනපුර හා අමන්දොලුව ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වලාන සහ කෝවින්න ප්‍රදේශ.

තවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා කිහිපයකින් COVID-19 ආසාදිත සේවකයින් සොයා ගැනීමෙන් පසුව, එම කර්මාන්තශාලා වල සේවකයින්ට රැකියාවට යෑම තහනම් කරන ලද අතර, ඔවුන්ගේ නේවාසිකාගාරවලින් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන්ට ගමන් තහනමක් ද පනවන ලදි. මෙම සේවකයින් වෙනුවෙන් වගකීම භාර ගැනීමට සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව කටයුතු කිරීමට කිසිදු ආයතනයක් ඉදිරිපත් වී නැත. රැකියාවට වාර්තා කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව ඔවුන්ගේ සේවායෝජකයින් විසින් ඔවුන්ගේ වරදක් ලෙස සැලකීම සිදුවේ. වෛරසය වේගයෙන් ව්‍යාප්ත වී ඇති ඇතැම් කර්මාන්තශාලා මගින් තම සේවකයින් සඳහා යම් සහන සලාක පමණක් ලබා දී ඇති අතර අනෙක් සේවකයින් තමන්ටම තමන්ව බලා ගැනීම හෝ කුසගින්නේ සිටීම පමණක් ඉතිරි කොට අත්හැර දමා තිබේ.

අප දන්නා පරිදි, කටුනායක ප්‍රදේශය හා ඒ අවට සිටින මෑන්පවර් හා අනෙකුත් දෛනික වැටුප් කම්කරුවන් 300-400 ක් පමණ ඔවුන්ගේ වාසස්ථානවල අනිවාර්ය ස්වයං නිරෝධායනයකට භාජනය වෙමින් සිටී. සතියකට හෝ දෙකකට පෙර, නේවාසිකාගාරයක හෝ හවුල් නවාතැන්පලක යමෙකු අසාදිත බවට පරීක්ෂණයෙන් හෙළි වූ පසු, ඒ අවට ඇති සියලුම නේවාසිකාගාරවල සේවකයින් වටකර, බස් රථවලට නංවා, රට පුරා හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබීය (එනම් කළුතර, දඹදෙණිය, පේරාදෙණිය ආදී.), ඒවායින් බොහොමයක් අපිරිසිදු තත්වයේ තිබූ අතර මූලික COVID-19 ආරක්ෂණ ප්‍රමිතීන්ට ද අනුකූල නොවීය. මෙම මධ්‍යස්ථානවල ආසාදිත බව හඳුනාගත් කම්කරුවන් මාලඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලට යවා තිබේ. රෝහලේ නිසි ආරක්ෂක විධිවිධාන නොමැති බව එහි සේවකයින් පවසා තිබේ.

දැන්, ආසාදිත බව තහවුරු වූ අය පමණක් ප්‍රතිකාර සඳහා ගෙන යනු ලබන අතර, අවට සිටින අයගෙන් ස්වයං නිරෝධායනයවන ලෙස ඉල්ලා සිටී. රජයේ නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායනය යටතේ සිටින බවට ඔවුන්ගේ ගේට්ටුවල ස්ටිකරයක් අලවනු ලැබේ. කම්කරුවන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලබා නොදී බිත්ති හතරක් ඇතුළත සහ ගේට්ටුවක් පිටුපස කොටු කර තිබේ. ඔවුන්ගේ නඩත්තුව සඳහා වගකිව යුතු නිල ආයතනයක් නොමැති නිසා මෑන්පවර් නියෝජිත ආයතන සේවකයින් මෙම තත්වයන් යටතේ විශේෂයෙන් අවදානමට ලක්ව තිබේ.

“මම මෑන්පවර් ඒජන්සියක සේවය කරනවා. මගේ සැමියා දෛනික වැටුප් සේවකයෙක්. අපි දෙන්නටම මාස 1-1.5 ක් වැඩ තිබුණේ නැහැ. අපට ජීවත් වෙන්න විදිහක් නැත. අපට මේ වෙනකම් රජයෙන් කිසිවක්ම ලැබුණේ නැහැ. කලින් යුනියන් එකෙන් ලැබුනු සලාක බෑග් එකක් විතරයි හම්බ වුණේ.” කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අනිවාර්ය ස්වයං නිරෝධායනයක යෙදී සිටින මෑන්පවර් සේවිකාවක් පැවසුවාය.

“අපේ බෝඩිමේ පිරිමි, ගැහැණු 20 ක් එක්ක දරුවන් හතර දෙනෙක් විතර ඉන්නවා. අපිට කෑම නැහැ. හැම කඩයක්ම වහලා. අපිට රස්සාව නැහැ. කරුණාකරලා අපිට මොන විදිහකින් හරි උදව් කරන්න.” තම නේවාසිකාගාර තුළ අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින අමන්දොලුව මෑන්පවර් සේවකයින් විසින් පවසන ලදි. “කවුරුවත් අපි ගැන බලන්නේ නැහැ! අපි මැරිල ද ජීවතුන් අතර ද කියලා බලන්න කවුරුවත් නෑ!” තවත් සේවිකාවක් පැවසුවාය.

PCR පරීක්ෂණයට ලක් නොවූ සියලුම සේවකයින් සඳහා PCR පරීක්ෂණ සිදු කරන ලෙසත් ඉන් පසුව ඔවුන් රැකියා සඳහා යවන ලෙසත් ආයෝජන මණ්ඩලය (BOI) මෑන්පවර් ඒජන්සිවලින් ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, තමන්ට PCR පරීක්ෂණ සිදු කළ නොහැකි බවත්, තම ආයතනය වසා දමන බවත් ඇවරිවත්තේ එවැනි එක් ආයතනයක් තම සේවකයින්ට පවසා තිබේ. “අපට කෑමට පවා මුදල් නැහැ, අපි කොහොම ද අපිම PCR පරීක්ෂණ කරගන්න වියදම් කරන්නේ,” මෑන්පවර් සේවකයින් දැඩි ශෝකයෙන් පවසන ලදි.

පහතින් අත්සන් කළ නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ වෘත්තීය සමිති වන අපි, පහත සඳහන් හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නෙමු.

  • අනිවාර්ය ස්වයං නිරෝධායනයේයක සේවකයින්ට හදිසි සහන සලාක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබා දීම. මේ දක්වා සමාගම්, විදේශීය රජයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ලැබී ඇති සමහර COVID අරමුදල් ලැයිස්තුවක් මෙහි දක්වා තිබේ. මෙම කම්කරුවන්ට ආධාර සැපයීම සඳහා රජය මෙම අරමුදල්වලින් යම් ප්‍රමාණයක් උපයෝගී කර ගන්නා බවත්, මේ දක්වා අරමුදල් භාවිතා කර ඇති ආකාරය පිළිබඳ විස්තරය ප්‍රසිද්ධ කරන බවත් අපි විශ්වාස කරන්නෙමු.
  • මෑන්පවර් සේවකයින් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළුව, නිදහස් වෙළඳ කලාපයේ හා ඒ අවට කම්කරුවන් පිළිබඳ හදිසි සමීක්ෂණයක්/ අවශ්‍යතා තක්සේරු කිරීමක් සිදු කිරීම.
  • මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව COVID-19 නිසා රැකියා අහිමිවූ හෝ දැනට වැඩ කිරීමට නොහැකි වූ නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් සඳහා රුපියල් 10,000 සෞඛ්‍ය දීමනාවක් ලබා දීම;
  • කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ ඒ අවට සේවය කරන මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව සියලුම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම;
  • COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන සියලුම රජයේ නිරෝධායන පහසුකම් සහ රෝහල් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලවන බව සහතික කිරීම.
  • බෝඩිම්වල හෝ කර්මාන්තශාලාවල කිසිවෙකු COVID ආසාදිත බව හෝ රෝග ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන්නේ නම් සහ රජයේ ප්‍රතිචාර සහ හදිසි සම්බන්ධතා පිළිබඳ විස්තර ඇතුළුව අවදානම් සන්නිවේදනය සඳහා නිරන්තර ප්‍රවාහයක් පවත්වා ගැනීම. සියලුම සන්නිවේදනයන් සිංහල හා දෙමළ භාෂාවෙන් ලබා දී ඇති බවට සහතික වීම.
  • නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන කම්කරුවන්ට, අනිවාර්ය ස්වයං නිරෝධායනයක දී සහ / හෝ අගුලු දැමීමේදී වැඩට යාමට නොහැකි වූ අයට වන්දි ලබා දීම.
  • ඒකාබද්ධ කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරන ලද අගුලු දැමීමේදී වන්දි ගෙවීම පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ප්‍රසිද්ධ කිරීම සහ බලාත්මක කිරීම.
  • කර්මාන්තශාලා විවෘත කර ඇති විට හා වැඩ කිරීමට වාර්තා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින විට රජයේ සෞඛ්‍ය බලධාරීන් හරහා ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

අත්සන් කරන ලද්දේ;

ලංකා බැංකු සේවක සංගමය (CBE)

ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU)

ලංකා කාර්මික සේවක සංගමය (CIWU)

ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU)

ලංකා ගුරු සංගමය (CTU)

දාබිඳු සාමූහිකය ශ්‍රී ලංකාව, කටුනායක

විමුක්ති ව්‍යාපාරය

ශ්‍රී ලංකාවේ නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS)

ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය

මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), කටුනායක

ශ්‍රමාභිමානී කේන්ද්‍රය, සීදූව

ලංකා නැගීසිටිමු ව්‍යාපාරය, කටුනායක

එක්සත් කම්කරු සංගමය (UFL)

26.10.2020

මෑන්පවර් කම්කරුවන්ගෙන් ඉල්ලීම්

https://drive.google.com/file/d/1pWcHK_s7Djw1fOrzaXH57FSGjCha0vJy/view?usp=sharing

https://drive.google.com/file/d/1Bs4v_nygNB8a75efiaeD0OZX_fUKPLFJ/view?usp=sharing

https://drive.google.com/file/d/1Bez_KP1spMSR6BS9UMX3MsbmTBjnac2O/view?usp=sharing

https://drive.google.com/file/d/1BsdVH_nOQXwlCZf9QquKqxam1zG5GSuU/view?usp=sharing

https://drive.google.com/file/d/1Bh4GL1s09HhvGt9f0CBWtR71a7uRsb1j/view?usp=sharing

Archive

Latest news

Related news