Friday, May 17, 2024

“වාචික නියෝග චක්‍රලේඛ සේ සලකනු” යන ගෝඨාභය නියෝගය අත්තනෝමතික රජාන්ඩු සමයට යෑමක් – සේනක පෙරේරා, ජනතා නීතිඥයෝ

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද නියෝගය රජ සමය සිහ ගන්වන අත්තනෝමතික නියෝගයක් බව ජනතා නීතිඥයෝ එකතුවෙහි කැදවුම්කරු නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.

ජනාධිපති මාධය ඒකකය විසින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාවකට අනුව එහිදී ජනාධිපති රාජපක්ෂ මෙසේ පවසා තිබේ.

නතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු‌ය. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා ඇත. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නා බැවින් ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දිය යුතුය”

මෙම ප්‍රකාශය රටෙහි පවත්නා ලිඛිත නීතියට නොසළකා හැරීමක් බව පවසන නීතිඥ සේනක පෙරේරා කට වචනය නීතියක් සේ සැලකූ අත්තනෝමතික රාජාන්ඩු සමය පසු කර සමාජයන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙහි බෙහෝ දුර පැමිණ ඇති බවද සදහන් කරයි. කවර හෝ දේශපාලනඥයකුගේ කට වචනය නීතියක් සේ සැලකීමට නොහැකි බවත් නීති රීති සම්පාදනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පිළිගත් ක්‍රියාපරිපාටියක් ඇති බවත් ඔහු සදහන් කරයි.

නීතිඥ සේනක පෙරේරා වැඩි දුරටත් මෙසේ සදහන් කරයි:

නීතිඥ සේනක පෙරේරා

ඉහත සඳහන් ප්‍රකාශය ජනාධිපති රාජපක්ෂ විසින් කළ බව සදහන් වන බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙහි පසුගිය 25 දින පැවැති රැස්වීමේදී ඔහු විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අදාළ නිලධාරීන් පවත්නා නීතිමය රාමුව අනුගමනය කළ යුතුය. ඒසේ නොකළ හොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වෙයි. ඒවැනි නීති කාර්යකදී අධිකරණය පිළිගත යුත්තේ කට වචනයද ලිඛිත නීතියද යන ප්‍රශ්ණය පැන නගිනු ඇත.

මෙම නියෝගය අදාළ වන්නේ ජනාධිපතිවරයාගේ වාචික නියෝගවලට පමණක් බව එම වාර්තාවෙන් අදහස් වන නමුත් ආන්ඩුවේ අනෙක් ප්‍රධානීන්ද මෙවැනි වාචික නියෝග නිකුත් කිරීමට පටන්ගත හොත් කුමන තරමක අවුල් සහගත තත්වයක් ඇතිවනු ඇත්දැයි කල්පනා කළ යූතුය.

දින 14 නීතිය ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් දක්වා ඇති රීතිය ද බරපතල ප්‍රශ්ණ ඇති කරයි. රාජ්‍ය ආයතනයක් යම්දි විමසුමකට දින 14ක් තුළ පිළිතුරු නොඑවන්නේ නම් ඒම ඉල්ලීම් අනුමත කළ එකක් ලෙස සළකන ලෙස ජනාධිපති නියෝග කර තිබේ. මෙම ඉල්ලීම් මුදල් හො අනෙක් ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් නම් මෙළෙස නිල අනුමත කිරීමකින් තොරව රාජ්‍ය නිලධාරීන් කටයතු කිරීමට පටන් ගත හොත් සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය.

ජනාධිපතිවරයාගේ මෙම නියෝගය හල්දුම්මුල්ලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටමත් සියළු රජයේ සේවාවන්ටත් අදාළ වන එකකි. එසේ වූ විට සිදුවනු ඇත්තේ ලිඛිත නීතිය වෙනුවට වාචික නීතිය, රටේ නීතිය බවට පැමිණමයි. එවැනි තත්වයක් යනු රාජාන්ඩු ක්‍රමයකි. රජුගේ වචනය අවසාන නීතිය විය. එය ප්‍රශ්ණ කළ නොහැකි විය.

මහජනයා මුහුණ දෙන ප්‍රශ්ණ කඩිනමින් විසදිය යුතු බව අපි පිළිගනිමු. ඒසේ නමුත් එය කළ යුත්තේ නිසි ක්‍රමවේදයන්ට අනුවය.

දැන් ජනාධිපති රාජපක්ෂගේ මෙම නියා්ගයෙන් ශ්‍රී ලංකාව ආපසු රාජාන්ඩු යුගයකට ගෙන යන්නේ දැයි ප්‍රශ්ණ කිරීම සියලු ප්‍රජාතන්ත්‍රවාදී පිරිස්හි වගකීමක් වේ.”

 

Archive

Latest news

Related news