Monday, May 20, 2024

විදුහල්පතිවරු පත්කිරීම ඇතුළු අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක්

(Image courtesy of retailpharmacymagazine.)

රාජ්‍ය ඇමතිවරු සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේදී වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම ඇතුළු අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක් ගෙන ඇතැයි ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත් කිරීම නීත්‍යානුකූල නොවන කි‍්‍රයාවක් බවද එය පෙන්වා දේ.

එම ප්‍රකාශණය පහත දැක්වේ:

ජනාධිපතිවරයා සහ රාජ්‍ය අමාත්‍යවරු අතර 2020.09.10 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡුාවකදී ගුරුමාරු හා දරුවන් පාසලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යකටම හවුල්වීමේ අවස්ථාව දේශපාලකයින්ට විවෘතව පවතින බවත්, එය පොදු අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇගිලි ගැසීමක් නොවේ යයි ජනාධිපතිවරයා පෙන්වා දුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශය එදින නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. එසේම පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමේදී වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව ද සොයා බලන බවත්, පාසල්වල සිටින දක්ෂ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩකඩ සොයා බැලීමට තීරණය වූ බවත් සඳහන් වී තිබුණි.

පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත් කිරීම නීත්‍යානුකූල නොවන කි‍්‍රයාවකි. පාසල්වල විදුහල්පතිවරු පත්කළ යුත්තේ 2014 ඔක්තෝම්බර් 22 දිනැති අංක 1885/31 දරණ ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයට අනුව තරග විභාගයක් පැවැත්වීමෙනි. මෙම සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයට අයඳුම් කළ හැක්කේ ශී‍්‍ර ලංකා ගුරු සේවයේ නිලධාරීන්ටය. ගුරු සේවයේ සිටින පළපුරුදු දක්ෂ නිලධාරීන් තරග විභාගයට පෙනී සිට විදුහල්පති සේවයට ඇතුළත් වීමේ අවස්ථාව උක්ත සේවා ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇත. එසේ තිබියදී වැඩබලන විදුහල්පතිවරු පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා පත් කිරීම තුළින් සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් ලත් ගුරු සේවයේ නිලධාරීන්ට විදුහල්පති සේවයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වේ. එසේම එය සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.

අධ්‍යාපන සේවාවන්ගේ සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීමේ පටිපාටි උල්ලංඝණය කරමින් පසුගිය රජය මගින් ද දේශපාලන පලිගැනීම් වූවායයි සඳහන් කරමින් පත්වීම් ලබාදීමට කටයුතු කළ අතර, අධිකරණ හා වෘත්තීය කි‍්‍රයාමාර්ග ඔස්සේ එසේ පත්වීම් නතර කිරීමට අධ්‍යාපන සේවාවන්ගේ සියලූ පාර්ශව ඒකාබද්ධව කටයුතු කරන ලදී. තරග විභාග මගින් විදුහල්පති සේවයට  ඇතුළත් විය නොහැකි පිරිස් විවිධ දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහ යටතේ පස්ස දොරෙන් විදුහල්පති සේවයට ඇතුළත්වීමේ ක‍්‍රමවේදයක් වී තිබෙන වැඩබලන විදුහල්පති පත්කිරීම් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දිගින් දිගටම විරෝධය පළ කර ඇති අතර, වැඩබලන විදුහල්පතිවරු පත්කිරීමට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ගවල නිරත විය.  2011.02.15 දිනැති 2011/ED/E/14 අංකයෙන් යුතු කැබිනට් පති‍්‍රකාව මගින් ද තවදුරටත් වැඩබලන විදුහල්පතිවරු පත් නොකළ යුතු බවට තීරණයක් ගෙන ඇත.

රජය නීත්‍යානුකූල පාලනයක් රටතුළ ස්ථාපිත කරන බවට ප‍්‍රකාශ කරමින් තිබියදී මෙසේ සේවා ව්‍යවස්ථා උල්ලංඝණය වන ආකාරයෙන් අනීතික ලෙස පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත් කිරීමට තීරණය කරන්නේ නම් එය නීත්‍යානුකූල පාලනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පරස්පර තත්වයක් නිර්මාණය කිරීමක් බව ද පෙන්වා දෙමු.

පාසල් ස්වාධීනව කටයුතු සිදුවිය යුතු ආයතන වේ. ඒ සඳහා දේශපාලකයින්ට අත පෙවීමට ඉඩදීම පද්ධතිය තවදුරටත් දේශපාලනීකරණය කිරීමකි. මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි දේශපාලකයින්ට ඉඩ ලබාදීම පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇගිලි ගැසීමක් නොවේයයි සඳහන් වුවද එය දේශපාලන ඇගිලිගැසීමක් වීම නොවැලැක්විය හැකි බව අපි පෙන්වා දෙමු.

එසේම දැනට පවතින ජාතික පාසල් 372 දහස දක්වා වැඩි කිරීමට ද තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. සමස්ත පාසල් 10174 න් පාසල් දහසක් පමණක් සංවර්ධනය කිරීමේදී සෙසු පාසල් සම්බන්ධයෙන් වන තීරණය කුමක්ද යන්න පැහැදිලි කර නැත. ජාතික පාසල් තිබීම තුළින් පමණක් පාසල් පද්ධතිය දියුණු වේ යන අදහසක් මේ තුළින් ගම්‍ය වේ. මාධ්‍ය නිවේදනයේ සියලූ පාසල්වල සමාන පහසුකම් ලෙස දක්වා තිබුණ ද තෝරා ගත් පාසල් පමණක් සංවර්ධනය කිරීමෙන් එම අරමුණ ඉටු නොවන බව ද පෙන්වා දෙමු.

මේ තත්වය තුළ පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම සඳහා කටයුතු නොකරන ලෙසත්, පාසල්වල දක්ෂ හා පළපුරුදු ගුරුවරුන්ට විදුහල්පති සේවයට පිවිසීමට හැකිවන පරිදි විදුහල්පති සේවයේ තරග විභාග විධිමත්ව පවත්වා සේවා ව්‍යවස්ථාවට අනුව විදුහල්පති ශ්‍රේණිධාරීන් විදුහල්පති පුරප්පාඩුවලට පත් කිරීමට පියවර ගන්නා ලෙසත්, අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගැනීමේදී අධ්‍යාපනඥයන් හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති සමග සාකච්ඡුා කරන ලෙසත් ලංකා ගුරු  සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Archive

Latest news

Related news