Friday, April 26, 2024

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – වගවීම දුර්වල කරන පියවර හතරක් – TISL

(කාටූනය ඩේලි මිරර් පුවත්පතිනි)

තොරතුරු දැනගැනීමේ අයිතියෙහි ක්‍රියාකාරීත්වය අවධානමක.

විගණන කොමිසම අහෝසි කිරීමෙන්, රාජ්‍ය වියදම් නිරීක්ෂණය දුර්වල කරයි.

අල්ලස් කොමිසමේ විමර්ශන බලය අඩපන කරයි.

පොදු දේපල අවභාවිතයට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට ඇති බලය සීමා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනයන් හි ප්‍රතිපලයක් වශයෙන් විනිවිදභාවය හා වගවීම අඩාල වීම පිළිබඳවත් සමහර ස්වාධීන කොමිෂන් සභාවන් පත්ව ඇති තත්වය පිළිබඳවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය දැඩි කනස්සල්ල පල කර සිටී. මේ අතරින් වඩාත්ම සැලකිල්ලට භාජනය වන කරුණු වන්නේ තොරතුරු අයිතිය, දුෂණය විමර්ශනයන්,රාජ්‍ය මුල්‍ය අධීක්ෂණය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයන් පැවැත්වීමේ හැකියාව යි.

[title]තොරතුරු දැනගැනීමේ අයිතිය[/title]

තොරතුරු දැනගැනීමේ අයිතියෙහි පාරිශුද්ධත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල එලෙසින්ම සුරැකී තිබුණ ද, TISL ආයතනය මහජනතාවට සහ පාර්ලිමේන්තු නියෝජිතයන්ට අවධාරණය කර සිටින්නේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ප්‍රතිපාදනයන් හරහා RTI රාමුව දැඩි ලෙස අඩපන කිරීමේ හැකියාව පවතින බවයි. RTI කොමිසම පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදු කළ යුතු බවට RTI පනත මගින්ම නියම කර ඇති අතර, සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරන ලදුව RTI හි ක්‍රියාකාරිත්වය මෙලෙස අවධානමකට ලක් කරමින් ලබා දී ඇති සීමිත බලතල සහ විෂය පථය හමුවේ යෝජිත පාර්ලිමේන්තු සභාවට නිර්දේශයන් නිකුත් කිරීමට නොහැකිවනු ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ, RTI හි ක්‍රියාකාරීත්වය 2017 වසරේ පෙබරවාරි මස ආරම්භ වූ දා සිටම රට පුරා ප්‍රජාව සහ පුද්ගලයන් කෙරෙහි තොරතුරු ලබා දීම මඟින් ඇති කරනු ලැබූ සාධනීය බලපෑමේ පළමු සාක්ෂිකරුවන් වන්නේ TISL ආයතනය බවත්, තොරතුරු දැනගැනීමේ පුරවැසියාගේ මුලික අයිතිය තවදුරටත් පවත්වාගෙන යාම ධෛර්යයට කාරණයක් වන නමුත්, RTI කොමිසමේ ක්‍රියාකාරීත්වය වක්‍රාකාරයෙන් හෝ අඩපන කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිය දැඩි ලෙස දුර්වල කරනු ඇති බවත් ය.

[title]දූෂණ විමර්ශනයන්[/title]

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 අ ව්‍යවස්ථාව අවලංගු කිරීම පිළිබඳව ද TISL ආයතනයේ සැලකිල්ලට භාජනය වී ඇත. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත පිළිගැනීම දුර්වල කිරීමට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පවරා දෙනු ලැබූ, සිය අභිමතය අනුව විමර්ශනයන් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම සතු බලයද මෙම 156 අ ව්‍යවස්ථාව අහෝසි කිරීම මඟින් අවලංගු වනු ඇත.

ඔබේසේකර මහතා සඳහන් කලේ,” නීති බලාත්මක කරන අධිකාරීන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සෑම විටම පැමිණිල්ලක් ඉදිරිපත් කරන තුරු බලා සිටින බව දීර්ඝකාලයක් මුළුල්ලේ මහජනතාව නඟන මැසිවිල්ලකි. පැමිණිල්ලක් ලැබීමකින් තොරව ප්‍රගාමිව විමර්ශනයක් සිදු කිරීමේ බලය අල්ලස් කොමිසමෙන් ගලවා ඉවත් කිරීම මඟින් , දුෂණයට එරෙහිව කටයුතු කිරීමට රජයේ ඇති බැඳීම පිළිබඳව ඍණාත්මක පණිවුඩයක් ජනතාව වෙත යැවෙනු ඇත.

[title]රාජ්‍ය මුල්‍ය අධීක්‍ෂණය[/title]

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්, රජයේ වියදම් සම්බන්ධයෙන් ප්‍රධාන නිරීක්‍ෂකයින් ලෙස කටයුතු කරනු ලබන විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවද, ඉවත් කරනු ලබයි. යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින්, විගණන සේවා කොමිෂන් සභාව සම්බන්ධ කිසියම් හෝ කරුණක් ඉවත් කිරීම හරහා ජාතික විගණන පනත යල් පැන ගිය එකක් බවට පත් කරනු ඇත. රජයට කිසියම් පාඩුවක් සිදුකිරීමට කටයුතු කරනු ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් පාඩු අය කර ගැනීමට ඇති හැකියාව වැනි සැලකිය යුතු බල තල, ජාතික විගණන පනත මඟින් විගණන සේවා කොමිෂන් සභාවට පවරා ඇත.විගණන සේවා කොමිෂන් සභාව ඉවත් කිරීම මඟින් මෙම අත්‍යවශ්‍ය බලතල ද අවලංගු වනු ඇත.

තවදුරටත්, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට අදාල විධි විධානයන්, පුර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවුන ද, විනිවිදභාවී සහ වගවන ප්‍රසම්පාදන ව්‍යුහයක් සහතික කිරීම උදෙසා එම ආයතනය පැවතීම ඉතා වැදගත් වේ. ඔබේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “රාජ්‍ය ප්‍රසම්පාදනය ඉතා ඉහළ දුෂණ අවධානමක් ඇති ක්ෂේත්‍රයකි. දුෂණය මැඩලීම සහ කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති බැඳීම ඉතා ඉහළින් පිළිගන්න අතරම, එම කැපවීම සාක්ෂාත් කර ගැනීම සඳහා ස්වාධීන ප්‍රසම්පාදන කොමිෂන් සභා ආයතනයක ඇති වැදගත්කම අවබෝධකරගන්නා මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

[title]නිදහස් හා සාධාරණ මැතිවරණ.[/title]

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට බලපානු ලබන්නා වූ, යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ප්‍රතිපාදනයන්, මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිත කිරීම වැලක්වීමට හෝ ඒවාට එරෙහිව පියවර ගැනීමට කොමිසමට ඇති හැකියාව අවම කරයි.යෝජිත 20 වැනි සංශෝධනය හරහා රාජ්‍ය සේවය සම්බන්ධ ඕනෑම කරුණක්කෙරෙහි විධාන නිකුත් කිරීමට කොමිසමට ඇති බලය වලක්වාලීම තුලින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශයන්හි විෂය පථය සීමා කරනු ලබන අතර මෙම සීමාසහිත වගවීම අනාගත මැතිවරණයන් හි සුපිළිපන්නභාවය අඩපන කිරීමට හේතු වනු ඇත.

ඔබේසේකර මහතා අවසාන වශයෙන්, සඳහන් කලේ, දැනට ව්‍යවස්ථාවේ ඇතුලත් කර ඇති අධීක්ෂණය කිරීමේ හා වගවීමේ යාන්ත්‍රණයන් එහි වත්මන් ස්වරූපය තුළ යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තීවුර ලෙස දුර්වල කර ඇත. ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරමින් දුර්වල පාර්ලිමේන්තු සභාවක් හඳුන්වාදීම මඟින්, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සතු බලය අඩපන කර විධායකය තුළ සංකේන්ද්‍රණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මැතිවරණය හරහා ලබා දුන්

මහජන අභිමතය පිළිගන්නා අතරම, දුෂණයට හිතකර පසුබිමක් නිර්මාණය වීමට එරෙහි මෙම රතු එලි සැලකිල්ලට ගන්නා මෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

Archive

Latest news

Related news