Tuesday, July 16, 2024

වෙබ් සංස්කාරක චතුරංග ද සිල්වා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සංගම් විමසිල්ලෙන්.

ලංකා නිවුස් වෙඞ්.ඕආර්ජී  වෙබ් අඩවියේ සංස්කාරක ඩෙස්මන් චතුරංග ද සිල්වා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල ආකාරයට සිදු වී ඇතත්, විශාල කණ්ඩායමක් ගොස් අදාල වෙබ් සංස්කාරකවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මාධ්‍යවේදීන් තැතිගන්වන සුළු ක්‍රියාමාර්ගයක් බව මාධ්‍ය සංවිධානවල සැලකිල්ලට භාජනය වී තිබේ යැයි නිවේනයක් නිිිිිකුත් කරමින් මාධ්‍ය සංවිධාන ප්‍රකාශ කරයි.

එහ නිවේදනය පහත දැක්වේ.

2020 සැප්තැම්බර් 05
මාධ්‍ය නිවේදනය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයට ලැබුණු පැමිණිල්ලක් මත, අගෝස්තු මස 31 වැනිදා අත්අඩංගුවට ගත් ලංකා නිවුස් වෙඞ්.ඕආර්ජී  වෙබ් අඩවියේ සංස්කාරක ඩෙස්මන් චතුරංග ද සිල්වා සැප්තැම්බර් මස 01දා අධිකරණයට ඉදිරිපත් කොට සැප්තැම්බර් මස 14 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ යටතේ අධිකරණයට සහ අධිකරණ ධූරාවලියට බලපෑමක් වන ප්‍රවෘත්ති සිය වෙබ් අඩවියේ පළකිරීම, එම වෙබ් අඩවියේ ඇඞ්මින්වරයා ඔහු බව පිළිගැනීම හා පරිගණක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ රටේ පොදු යහපත අස්ථාවර කිරීමට කටයුතු කිරීම යන චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇත. විනිසුරු ලංකා ජයරත්න මහත්මියගේ අත්සනින් යුත් වරෙන්තුවක් සහිතව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පරිඝණක, ජංගම දුරකතන ඇතුලු අනෙකුත් උපාංග ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත.

“පාස්කු ප්‍රහාරයේ සැකකාර නීතිඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි. ලක්ෂ පනහකට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි. ඇප දීම පසුපස බලවත් බළල් අතක්” නමින් යුත් ප්‍රශ්නයට තුඩුදුන් වාර්තාව එක් අතකින් නොසැලකිලිමත් වාර්තාකරණයක් බව පැහැදිලි වන එකක් වන අතර පුවතේ සඳහන් තොරතුරුවල සත්‍යතාව සනාථ කිරීමේ වගකීම ඔහු වෙත පැවරේ. මෙම වෙබ් අඩවිය සාමාන්‍යයෙන් ජනමාධ්‍ය ආචාරධර්මවලට ගරු කරන බවක් ද නොපෙනේ.

අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල ආකාරයට සිදු වී ඇතත්, විශාල කණ්ඩායමක් ගොස් අදාල වෙබ් සංස්කාරකවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මාධ්‍යවේදීන් තැතිගන්වන සුළු ක්‍රියාමාර්ගයක් බව මාධ්‍ය සංවිධානවල සැලකිල්ලට භාජනය වී තිබේ. එමෙන්ම මෙම සිදුවීම, අධිකරණ තීන්දු සාධනීය ලෙස විශ්ලේෂණය කිරීමේ, අධිකරණයේ කටයුතු සොයා බැලීමේ හා එහි අක්‍රමිකතා වාර්තා කිරීමේ නිදහස අහිමි කරන ක්‍රියාදාමයක් දක්වා වර්ධනය නොවනු ඇතැයි, ජනමාධ්‍යව්දීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ  සාමාජික සංවිධාන වන, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විශ්වාසය පළ කර සිටී.

සීතා රංජනී – කැඳවුම්කරු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය,
දුමින්ද සම්පත් – සභාපති – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,
ධර්මසිරි ලංකාපේලි – ප්‍රධාන ලේකම් – මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

Archive

Latest news

Related news