Friday, April 26, 2024

මරණ දඬුවම නියම වූ චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකිය -රජිත් කීර්ති තෙන්නකෝන්

2015 ජනාධිපති පූර්ව සමයේ මිනිසෙකුට වෙඩි තබා ඝාතනය කළ චොකා මල්ලීට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව මා දිගින් දිගටම පෙන්වා දුනිමි.  රත්නපුර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා)  සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට නීති උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට ඇත.

දැනගන්නට ඇති අයුරින්, නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමකි. මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකිය.

ඒ අනුව, පුද්ගලිකවම මම ත්, සමගි ජන බලවේගය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) සම්බන්ධයෙන් මේ දක්වා දැරූ ස්ථාව තහවුරුවී ඇත.

මැතිවරණ කොමිසම ඇතුළු විෂය දැනුමක් සහිත පුද්ගලයින් ගේ අදහස වූයේ ද, පාර්ලිමේන්තුවේ විෂය භාර නිලධාරීන්ගේ අදහස ද මෙයම වේ.  හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මරණ දඩුවම නියම වූ පසුව සබරගමුව පලාත් සභාවේ සභා ලේකම් ගේ ඉල්ලීම පරිදි ඉල්ලා අස්වීය.  එය ද නීතිපති උපදෙස් මත සිදු  වූවේය.  මේ පිළිබඳව හසිත මුහන්දිරම් පැවරූ නඩුවෙන් ද ඔහු පරාජයට පත් වූ අතර පළාත් සභා මන්ත්‍රී ධූරයට හිමිකමක් නොමැති බව තීරණය විය.

සරත් ෆොන්සේකා මහතා ට සිර දඬුවම් නියම කිරීමෙන් පසුව, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීම එවකට සිටි කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් වලක්වනු ලැබීය. 

රත්නපුර ලැයිස්තුවේ ඊලඟ පොහොට්ටුවෙන් සිටින්නේ මනාප 53281 බැගින් සමාන ඡන්ද ලැබූ සනී රෝහණ කොඩිතුවක්කු සහ රංජිත් බණ්ඩාර මහත්වරුන් ය.   ප්‍රේමලාල් ජයසේකර ඉවත් කළ පසුව, පත්වන මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න තීරණය වන්නේ කාසියක් උඩ දැමීමෙනි.
රජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයෙකි.

Archive

Latest news

Related news