Friday, May 3, 2024

දියවන්නාසන ගැටුම: ආණ්ඩුවේ කීමට ඩී.අයි.ජී.දේශබන්දු, විමලතිස්ස හිමි හංගලා, ජනපති නිවසටත් ගෙනියලා!

අපේ ජන බල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදහන්වීම ආණ්ඩුවේ වැඩපිළිවෙළකට අනුව පොලිසියේ ප්‍රධාන භූමිකාවක නියැළෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේනන්කෝන් දැනුවත්ව සිදුවූවක් බවට තොරතුරු ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් රාවයට අදහස් දැක්වූ අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ලේකම් හුණුපිටියේ චන්දසිරි හිමියන් පැවසුවේ වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ අතුරුදහන්වීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනගෙන සිටි බවය. විමලතිස්ස හිමියන් අගෝස්තු 16 වැනි දින අතුරලියේ රතන හිමියන්ගේ වාහනයට නංවා ගැනීමෙන් පසුව පැය දෙකක් ඇතුළත තමන් වහන්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට දුරකතනයෙන් ඇමතූ බවය. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ “මම දන්නව හාමුදුරුවනේ රතන හාමුදුරුවෝ විමලතිස්ස හාමුදුරුවන්ගෙන් ලිපි කීපයකට අත්සන් කරවාගෙන එවයි” යනුවෙන් පැවසූ බවද චන්දසිරි හිමියෝ කියති. මේ සිද්ධිය සම්බන්ධ දිගින් දිගටම දේශබන්දු තෙන්නකෝන් මහතා සමග කතා කළත් ඔහු නිතරම මගහැර යන ස්වභාවයක් දක්නට තිබූ බවද ඒ හිමියෝ වැඩිදුරටත් පැවසූහ. වේදිනිගම හිමියන් කෑගල්ලේ සිට මිරිහාන දක්වා සිය ජීප් රථයේ කැඳවාගෙන පැමිණි චමින්ද මාරසිංහ පැවසුවේ අතුරලියේ රතන හිමියන් වේදිනිගම හිමියන්ට පවසා තිබුණේ ජනාධිපතිවරයා මුණ ගැසීමට යාමට පැමිණෙන ලෙසට බවය. ඒ අනුව ඔවුන් අගෝස්තු 16 දින මිරිහානට පැමිණ රතන හිමියන්ට දුරකතනයෙන් දන්වා සිටි විට රතන හිමියන් KO 5600 දරන මෝටර් රථයෙන් පැමිණ විමලතිස්ස හිමියන් එම රථයට නංවාගෙන ජනාධිපතිවරයාගේ නිවසේ ගේට්ටුවෙන් මෝටර් රථය ඇතුළු කළ බවය. විමලතිස්ස හිමියන් රතන හිමිගේ වාහනයට නංවා ගන්නා අවස්ථාවේ රතන හිමියන් සමග වාහනයේ සිටි ඇමති ආරක්ෂක නිලධාරියකු රථයෙන් බැස විමලතිස්ස හිමියන්ට දොර හැර දුන් බවද ඔහු කීවේය.

මේ අවස්ථාව වනවිට මිරිහාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද සිය නිල රථයෙන් එම ස්ථානයට පැමිණි බවත් ටික වේලාවකට පසුව රතන හිමියන් ඇතුළු පිරිස රැගත් වාහනය ජනාධිපතිවරයාගේ නිවසින් පිටතට පැමිණ ඉදිරියට ගිය බවත්, ඒ සමගම මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයාද මාරසිංහගේ රථයට නැග වාහනය පිටුපසින් යන ලෙස උපදෙස් දුන් බවද ඔහු කීවේය. අනතුරුව මාරසිංහගේ රථය මිරිහාන පොලිසියට ගෙන යන ලෙසට මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බැවින් ඒ අනුව තම රථය මිරිහාන පොලිසිය තුළට රැගෙන ගිය බවද මාරසිංහ පැවසුවේය.

මිරිහාන පොලිසියේ සෑහෙන වේලාවක් සිටීමෙන් පසුව තමන්ට කුරුඳුවත්ත පොලිසියට යන ලෙස උපදෙස් දී තම රථයට රථවාහන පොලිසියේ නිලධාරියකුද කැඳවූ පසුව මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා තම නිල රථයට නැගී තමන් පිටුපස එන ලෙසට පැවසූ බවද ඒ අනුව ඔහුගේ නිල රථය පිටුපසින් සිය රථය කුරුඳුවත්ත පොලිසියට ගිය බවද මාරසිංහ කීවේය.

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේදී මිරිහාන පොලිසියේ නිලධාරියා තම රථයෙන් බැසගත් පසුව පිස්තෝල දෙකක් හා මාංචු කුට්ටම් දෙකක් සමගින් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනකු නැග ඇති අතර, අනතුරුව මාරසිංහගේ රථය කොල්ලුපිටියේ පොලිස් ස්ථානය පෙනෙන දුරක් දක්වාත් පසුව කොළඹ කෞතුකාගාර භූමිය වෙතත් ධාවනය කර පසුව කොළඹ තුරඟ තරග පිටිය දක්වාත් ගමන් කර තිබේ. මේ ගමනේදී මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරසිංහගේ රථයට ඉදිරියෙන් ගමන් කර ඇතිමුත් ගංගාරාම පන්සල අසල නවතාගෙන සිටීමෙන් පසුව ඔහු මේ ගමනින් ඉවත් වී තිබේ.

මාරසිංහගේ වාහනයට කුරුඳුවත්ත පොලිසියෙන් නැඟුණු නිලධාරීන් දෙදෙනා තමන් යන්නේ කුමන රාජකාරියක්ද සඳහා යන්න අවසන් මොහොත දක්වා දැන නොසිටි බවටද තොරතුරු ඇත. ඒ බව හෙළිවන්නේ ඔවුන්ගේ පිටවීමේ සහ පැමිණීමේ සටහන් අනුවය. ඔවුන් දෙදෙනා 16 දින තොරතුරු සටහන් පොතෙන් (R.I.B.) පිටවීම රාත්‍රී 19.35 සටහන් කර ඇති අතර පැමිණීම සටහන් කර ඇත්තේ රාත්‍රී 22.20ටය. එම සටහන, ගිය විශේෂ රාජකාරිය නිමකර පැමිණි අවස්ථාව ලෙසින් සටහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසූ විට පැවසුවේ වේදිනිගම හිමියන්ට පෙරළා පොල්ගහවෙලට යාමට අවශ්‍ය වූ බැවින් තමන් එම ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් දුන් බවය. එහෙත් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් එවැනි සටහන් යොදා ඇති බවක් තමන් නොදන්නා බව කීවේය. එසේම රතන හාමුදුරුවන් සමග එම්.එස්.ඩී. නිලධාරීන් සිටින්නට හැකියාවක් තිබෙන බවත්, එයට හේතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවමත් ආරක්ෂාව ඉල්ලා තිබිය හැකි බවත්ය. එහෙත් එය සොයා බැලීම ඇමති ආරක්ෂක අංශයේ කාර්යයක් බවද ඔහු කීවේය. එසේම වේදිනිගම හිමියන් පැහැර ගැනීමක් සිදුව නැති බවද ඒ හිමියන් රතන හිමියන් සමග ගොස් ඇත්තේ කැමැත්තෙන් බවටද ඔහු කීවේය.

කුරුඳුවත්ත පොලිසිය අයත් කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් මේ ගැන විමසූ විට කියා සිටියේ අදාළ සිද්ධිය පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවය.

මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුමින්ද සරණගුප්තගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ මාරසිංහ ඇතුළු පිරිස පොලිසියට යන්නට නොදන්නා බව කිවූ බැවින් තමන් ඔවුන්ගේ වාහනයට නැග පොලිසිය කරා පැමිණි බවය. මාරසිංහ කොළඹ නොදන්නා නිසා ඔවුන්ටද ගමන් මග පෙන්වීමට කොළඹ ගිය බවද ඔහු කියා සිටියේය. තම පොලිස් අධිකාරී කොට්ඨාසයෙන් බැහැර වෙනත් ප්‍රදේශයකට යන්නේ නම් ඒ සඳහා කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අවසර ගත්තේදැයි රාවය විමසූ විට ඔහු පැවසුවේ තමා උසස් නිලධාරීන්ගේ උපදෙස් මත එසේ කළ බවය. උසස් නිලධාරියා කව්දැයි රාවය අසා සිටි විට ඔහු එයට පිළිතුරු නොදී වැඩ තිබේ යැයි පවසා දුරකතනය විසන්ධි කළේය.

මාරසිංහ ඇතුළු පිරිසට පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය වූ විට ඊට ඉඩ ලබා නොදුන්නේ ඇයිදැයි යන්න අදාළ නිලධාරියාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමන් එසේ නොකළ බවය. එහෙත් මාරසිංහ පවසන්නේ තමන්ට පැමිණිල්ලක් කිරීමට ඉඩ නොදුන් බවය. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති සාරානාත් සමරකෝන් රාවයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර කොල්ලුපිටිය ස්ථානාධිපතිවරයා දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි විය. ■
(මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ලබන රාවය කලාපයේ පළවේ.)

රාවය

Archive

Latest news

Related news