Saturday, April 20, 2024

සිරගත මුස්ලිම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා ගැන UN ප්‍රශ්න වලට ආණ්ඩුවට උත්තර නෑ!

නීතිය අයුතු ලෙස යොදා ගනිමින් මාස හතර හමාරකට වැඩි කාලයක් සිරගත කර සිටින ප්‍රකට මුස්ලිම් නීතිඥයකුට යුක්තිය ඉටු කිරීමට ගන්නා පියවර විමසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආණ්ඩුවට ප්‍රශ්න මාලාවක් යොමු කර ඇත.

මානව හිමිකම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමකින් තොරව රදවා තබා ගැනීම  සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශේෂ නියෝජිත මණ්ඩලයක් විසින් දින හැටක් ඇතුලත ලංකා ආණ්ඩුවෙන් පිළිතුරු අපේක්ෂාවෙන් 2020 ජුලි 22 දා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  වෙත යොමු කළ ලිපියට ආණ්ඩුව මේ දක්වා පිළිතුරක් සපයා නැත.

අප්‍රේල් 14 දා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද නීතිඥ හෙජාස් හිස්බුල්ලා තවමත් ඉන්නේ සිරභාරයේය.

ඔහු සම්බන්ධයෙන් රජය ගන්නා පියවර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවටම එරෙහිව වෙනස්කම් දැක්වීමේ රටාවක් පිළිබිඹු කරන බව විශේෂ නියෝජිතයන් හය දෙනකු විසින් ලංකා ආණ්ඩුව වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් විමසා සිටින ප්‍රශ්න මාලාවට පසුබිම්  තොරතුරු ද සංදේශයේ ඉදිරිපත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ප්‍රමුඛ නීතිවේදියකු  හා මානව හිමිකම් ආරක්ෂකයෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයකු වන හෙජාස් හිස්බුල්ලා විවිධ ප්‍රධාන පෙලේ නඩු කටයුතු වලට මැදහත් වූවකු අයෙකු බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නීති විරෝධී ලෙස 2018 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පවරණ ලද නඩුව පුළුල් ප්‍රචාරයකට ලක් වූ බව හෙජාස් හිස්බුල්ලාගේ හතලිස් වන උපන් දිනය එළැඹීම සමග ප්‍රසිද්ධියට පත් කොට ඇති මෙම ලිපිය මගින් සිහිපත් කර දී තිබේ.   එම අත් අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පරස්පර ප්‍රකාශ කළ අයුරු එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සිහිපත් කර දී තිබේ.

නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුදා පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවක දී පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කියා සිටියේ හෙජාස් හිස්බුල්ලා “පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඇති සම්බන්ධතාවය “අනුව අත්අඩංගුවට ගත් බවය.

යම් සංවිධාන කිහිපයක් ඔස්සේ බෝම්බකරුවන් සමග ඔහුගේ “විවිධ සම්බන්ධතා” පැවැති බවද පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේය.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාම අනතුරුව තවදුරටත් කියා සිටියේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරීන් ක්‍රියාකර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් හෝ අනුමැතියක් සොයා බලා නොවන බවය,  යන්නද විශේෂ නියෝජිත මණ්ඩලය වැඩිදුරටත්  මතුකර පෙන්වා දී තිබේ.

සාක්කි නෑ:

” වාර්තාවී ඇති පරිදි හිස්බුල්ලා මහතාට එරෙහි රදවාගැනීමේ නියෝගය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, ඒහි 9(1) වගන්තිය හා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 4(B) ජේදය අනුව ක්‍රියාත්මක කර තිබේ.

මේ නියෝගයේ දිනය 17 අප්‍රේල් 2020 ලෙස දාතම් කර තිබෙන්නේ වී මුත්, එය හිස්බුල්ලා මහතාට ලැබෙන්නට සලස්වා ඇත්තේ 25 අප්‍රේල් 2020 දින දී, එනම් අත්අඩංගුවට ගෙන දින 11 කට පසුවය,”  යි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ  විශේෂ නියෝජිතයන් හය දෙනා තවදුරටත් සංදේශය මගින්  පෙන්වා දී තිබේ.

“දැනගැනීමට ඇති පරිදි රදවාගැනීමේ නියෝගය අනුමාන මත පදනම්ව ඇති අතර එය  කියන්නේ මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ට හිස්බුල්ලා මහතා ගෙන් ‘පුද්ගලික ආධාර හා අනුබල’ ලැබුන බවත්, හා ජන කොටස් අතර ආගමික සමගියට අනර්ථදායක මෙවන් ක්‍රියාවන් පිළිබදව රහසිගත තොරතුරු  ශ්‍රී ලංකාවේ පොලිසියට ලැබී තිබුණු බවත් ය.

නමුත් මේ චෝදනාවන් ස්ථීර කෙරෙන කිසිම සංයුක්ත සාක්ෂියක් රඳවා ගැනීමේ නියෝගයේ දී සපයා නැත.”   රඳවා තබාගෙන සිටින නීතිඥයාට නීතියේ පිහිට ලබා ගැනීමට බලධාරීන් විසින් බාධා කෙරුණු අයුරුද එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ආණ්ඩුවේ අවධානයට යොමු කර ඇත.

“ඔහු අත්අඩංගුවට ගත් දා සිට හිස්බුල්ලා මහතාට ඔහුගේ නීතීඥයන් අප්‍රමාදව, අතරමග බාධා කිරීම් වලින් තොරව, හෝ වාරණයකින් තොරව හා පූර්ණ රහසිගතභාවය සුරැකෙන අයුරින් මුණගැනීමේ අවස්ථාවක්,  හා නිසි පහසුකම් සහිතව අදහස් හුවමාරු කරගැනීමට හා උපදෙස් ලබා ගැනීමට සෑහෙන කාලයක් ලබා දීමත් ප්‍රතික්ෂේප කෙරී තිබේ.

ඔහුට නීතිඥයන් මුනගැනීමට අවසරය ලැබී ඇත්තේ කෙටි අවස්ථා දෙකකදී පමණි. පළමුවැන්න, අප්‍රේල් 15 දා  විනාඩි පහක් හා දෙවැන්න අප්‍රේල් 16 දා විනාඩි 15 ක් ලෙසින් ය. මේ සාකච්ඡා පවා පැවැත්වී ඇත්තේ පොලිස් නිලධාරීන් ඉදිරියේ සිටිය දී ය. මේ පොලිස් නිලධාරීන් කියා ඇත්තේ සාකච්ඡා සිංහල භාෂාවෙන් කරන ලෙසය. ඒ ඔවුන්ට තේරෙනු පිණිසය.”

ඔහු අත්අඩංගුවට ගත් දා සිට ගත වී ඇති සති හයකට වැඩි කාලය තුලදී අවසර දී ඇත්තේ දෙවරක් පමණක් තම භාර්යාව මුනගැනීමට හා ඉතා කෙටි දුරකතන ඇමතුම් කිහිපයක් පමණක් ලබාගැනීමට  බව සංදේශය හෙළි කරයි.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ඔහු හා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ අයකු අතර දුරකතන සාකච්ඡාවක් සිදු වි ඇති බවයි.

නමුත් ලැබෙන තොරතුරු අනුව එහි සැබෑ තත්ත්වය වන්නේ හිස්බුල්ලා මහතා තම ඥාතින් වන ඔවුන්ගේ දේපල පිළිබද නීති උපදේශක ලෙස බොහෝ කලක සිට කටයුතු කර ඇති බව පෙනී ගොස් තිබේ.”

හෙජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගෙන සිරගතකොට ගෙන සිටින්නේ නීතිවිරෝධී සහ අත්තනෝමතික ලෙස බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංවිධාන විසින් මීට ඉහත කීප වාරයක් කරුණු දක්වමින් පෙන්වා දී තිබේ.

ජගත් සංවිධානයෙන් ප්‍රශ්න වැලක් :

ඔහු ගැන පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් පිළිතුරු දෙන ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ  විශේෂ නියෝජතයන් හය දෙනා විදේශ කටයුතු අමාත්‍යවරයාට හා ආණ්ඩුවට  යොමු කළ  සංදේශය මගින්  ඉල්ලා ඇත.   ආණ්ඩුවට යොමු කළ ප්‍රශ්න

“1. කරුණාකර, ඉහත සදහන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් වැඩිමනක් තොරතුරු හෝ අදහස්, අර්ථ නිරූපන යමක් තිබේනම් ඒවා සපයන්න.

  1. කරුණාකර, හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමට හා රදවා තබා ගැනීමේ කරුණු කාරණා හා නෛතික හේතු පිලිබදව සවිස්තර තොරතුරු සපයන්න.
  2. කරුණාකර,  හිස්බුල්ලා මහතාව අතරමග බාධා කිරීමෙන්  තොරව හෝ වාරණයකින් තොරව හා සම්පූර්ණ රහසිගත භාවය රැකෙන අයුරින් තමන්ගේ  නීතිවේදින් සමග අදහස් හුවමාරු කරගැනීමෙන් හා   උපදෙස්  ගැනීමෙන් වැලැක්වීමේ මූල කාරණයන් පිලිබදව තොරතුරු සපයන්න;

එමෙන්ම,  රදවා තබා ගන්නා පුද්ගලයන්ගේ අයිතීන් පිලිබදව ඇති ජාත්‍යන්තර  ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි  තමන්ගේ කැමැත්ත පරිදි  නීතිවේදින් කරා ප්‍රවේශවීමේ  මාර්ගය අප්‍රමාදව සැලසීම සම්බන්ධයෙන් පියවරගෙන ඇත්තේ කොයි අයුරින්ද යන්න පැහැදිලි කරන්න.

  1. කරුණාකර, හිස්බුල්ලා මහතාට විරුද්ධව යොදා ඇති චෝදනාවල නිශ්චිත ස්වභාවය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සපයන්න.

කරුණාකර ඔහුව මේ වන විට හෝ අනාගතයේදී හෝ ත්‍රස්ත ක්‍රියා වලට චෝදනා  කරන්නේ නම් ජාත්‍යන්තර නීති ප්‍රතිමාන මගින් පැහැදිලි කර දී ඇති අයුරු ත්‍රස්තවාදය යන්නට දී ඇති අර්ථකථනය මත කෙරෙන තේරුම් ගැනීම් මත පදනම්ව ඔහුට විරුද්ධව එම  චෝදනා ඉදිරිපත් කෙරේදැයි පෙන්වා දෙන්න.

එමෙන්ම  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1566 (2004) යෝජනා හා ත්‍රස්තවාදය පිටුදකින අතරේ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම පිලිබද විශේෂ නියෝජිතයා විසින් ඉදිරිපත් කරන ලද අර්ථ දැක්වීම් ආකෘතියේ සීමාවන් ඇතුලත්  කෙරේදැයි පෙන්වා දෙන්න.

  1. කරුණාකර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ග ගෙන තිබේ දැයි පෙන්වා දෙන්න.

මෙහි දී සුවිශේෂ ලෙස ආගමික සුළුතරයන්ට අයත් වන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන්නන්ට ඔවුන්ගේ යුක්තියුත්ත නීත්‍යානුකූල කටයුතු බියෙන්, තර්ජනයන්ගේ  තොරව හෝ තැතිගැන්වීමේ ක්‍රියාවන්ගෙන් තොරව, මොනම ආකාරයක හෝ හිරිහැරකිරීම් හා වධ බන්ධනයන්ගෙන් මිදී කරගෙන යෑමට ආරක්ෂාව හා ශක්තිය ලැබෙන පරිසරයක් ලබා දී ඇත්දැයි පෙන්වා දෙන්න.”

  1. කරුණාකර, ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා අනෙක් ජාතික හෝ ආගමික සුලුතර ජනතාවන්ට විරුද්ධව ක්‍රමයෙන් ඉහල යන වෛරී ප්‍රකාශන හා වෙනස්කොට සැලකීම් සම්බන්ධව කෙරෙන චෝදනා නිරාකරණය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තොරතුරු සපයන්න.
  2. කරුණාකර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට මානව හිමිකම් වලට ගරු කරන, නීතියේ නිසි ක්‍රියාදාමය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනයක් මගින් එය ප්‍රතිස්ථාපනය නොකර, නැවතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතට ගෙන ඒම  සඳහා, ඔබතුමාගේ ආණ්ඩුව විසින් 2020 ජනවාරි 20 වැනිදා කළ නිවේදනය කුමක් මත පදනම් වන්නේ දැයි කරුණාකර පැහැදිලි කරන්න.

ශ්‍රී  ලංකාව  විසින් අත්සන් තබා ඇති එක්සත්  ජාතින්ගේ විවිධාකාර මානව හිමිකම් ගිවිසුම් යටතේ පවතින ඔබතුමාගේ ආණ්ඩුවේ  ජාත්‍යන්තර බැදීම් වලට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැලපෙන අයුරු ගැන පැහැදිලි කිරීමක්  කරන්න.

ප්‍රශ්න මාලාව ඇතුලත් සංදේශයට අත්සන් තබා ඇත්තේ ….

සිරගත නීතිඥ හෙජාස් හිස්බුල්ලා ගැන ආණ්ඩුව උත්තර නොදුන් ප්‍රශ්න මාලාව ඇතුලත් සංදේශයට අත්සන් තබා ඇත්තේ අදහස් දැක්වීමේ හා ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය ප්‍රවර්ධනය කීරීමේ හා ආරක්ෂා කිරීමේ,  මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ තත්වය පිළිබඳව, සුළු ජාතින්ගේ ප්‍රශ්න  පිලිබඳව, වර්ගවාදය වර්තමානයේ ගන්නා විවිධ රූපාකාරයන් පිළිබඳව, වාර්ගික වෙනස්කොට සැලකීම්, විදේශිකයන් නොරිස්සීම හා ඒ මත පදනම් වන අසහනයන් පිළිබඳව, ආගම් හෝ විශ්වාසයන් ඇදහීමේ නිදහස පිලිබඳව හා ත්‍රස්තවාදය පිටුදැකීමට කටයුතු කරන  අතරේ ම මානව හිමිකම් හා මූලික නිදහස ප්‍රවර්ධනය කිරීමේ හා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන  එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් හය දෙනායි.

(https://theleader.lk)

Archive

Latest news

Related news