Tuesday, July 16, 2024

අධ්‍යාපනය කෑලි හතරකට; ස්වදේශ කටයුතු ආරක්ෂ අමාත්‍යාංශයට: කැබිනට්ටුව අවිද්‍යානුකූලයි – ලංකා ගුරු සංගමය

පසුගිය 12දා දිව්රුම් දෙන ලද ඇමති මංඩළයට අනුව අධ්‍යාපන විෂය පථය යටතේ අධ්‍යාපන අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දක්වා ඇති අතර මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරු 3 ක් පත්කර ඇති බව පෙන්වා දෙන  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙමගින් එම ආයතනවල කටයුතු සිදුකිරීමේදී හා එම ආයතනවල සේවාවන් ලබා ගැනීමේදී බරපතල ව්‍යාකූල තත්වයක් පැන නැගිය හැකි බව ප්‍රකාශ කරයි. එම ප්‍රකාශනය තව දුරටත් සඳහන කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ස්වදේශ කටයුතු පැවරීම තුළ සිවිල් පරිපාලනය ක්‍රමාණුකුලව හමුදා පරිපාලනයට යටත්වීම සිදුවිය හැකි බවයි.

සම්පූර්ණ ප්‍රකාශය. 

මාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය කාර්ය භාරයන් වෙන්කර ඇති ආකාරය ව්‍යාකූලයි

2020 අගෝස්තු මස 09 දිනැති අංක 2187/27 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ජනාධිපතිවරයා විසින් එක් එක් අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරු වෙත පවරන කාර්යයන් ද ඒ යටතට ගැනෙන ආයතනද හා අණපනත් ද දක්වා ඇත. එසේම මේ වන විට අදාළ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ද සිදුකර ඇත.

ඒ අනුව අධ්‍යාපන විෂය පථය යටතේ අධ්‍යාපන අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දක්වා ඇති අතර මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරු 3 ක් පත්කර ඇත. අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා යටතේ සුවිශේෂ ප්‍රමුඛතා අතර සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ කටයුතු දක්වා ඇති අතර, එම සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ විෂයයන් 5 ක් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය විෂය පථයට ඇතුළත් කර ඇත. ළමා මිතුරු පාසල් පුළුල් කිරීම, ග්‍රාමීය පාසල් සිසු ආකාර්ශිත පාසල් බවට පත් කිරීම, සියලූම පන්තිකාමර හා සනීපාරක්ෂක උපකරණ, ගුරුශිෂ්‍ය විවේකාගාර, සෞඛ්‍ය පහසුකම් හා යටිතල පහසුකම් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම, පාසල් පෙළපොත්, විෂය නිර්දේශ, ගුරු අත්පොත් ආදිය තොරතුරු තාක්ෂණ ක‍්‍රමවේදයක් ඔස්සේ එළි දැක්වීමට පියවර ගැනීම, පොකුරු පාසල් පද්ධතිය ස්ථාපිත කිරීම ඊට අයත්ය.

මේ වන විට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සෙත්සිරිපාය කාර්යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතව ඇත. මේ තත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එම අමාත්‍යාංශයට යොමු කිරීම තුළ හුදු සම්බන්ධීකරණ ගැටලූ ගණනාවක් ඇතිවනු ඇත. එසේම එම ආයතනවල කටයුතු සිදුකිරීමේදී හා එම ආයතනවල සේවාවන් ලබා ගැනීමේදී බරපතල ව්‍යාකූල තත්වයක් පැන නැගිය හැකිය.

එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල, දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය යටතට ජාතික අධ්‍යාපන ආයතනය හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව දක්වා ඇත. රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන්ම විෂය මාලා සකස් කිරීම හා යාවත්කාලීන කිරීම මෙම ආයතනවලින් සිදුවේ. අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සෙසු ආයතන කැබිනට් අමාත්‍යවරයා යටතේ පවතින බැවින් මෙම විෂය බෙදීම ද ගැටලූකාරීය. මේ ආකාරයට අධ්‍යාපන විෂයයන් බෙදා දැක්වීම විද්‍යානුකූල හා කාර්යක්ෂමව කටයුතු කිරීමට අදාළ ලෙස විෂය පථයන් වෙන් කිරීමක් නොවන බව ප්‍රකාශ කරමු.

අධ්‍යාපන අමාත්‍යාංශ සම්බන්ධයෙන් ඉහත ආකාර තත්වයක් පවතින අතර, ස්වදේශ කටයුතු විෂය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ආමාත්‍යවරයා යටතට පවරා ඇත. දිස්ති‍්‍රක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඍජුවම සිවිල් පරිපාලනය කි‍්‍රයාත්මක වන ආයතන වේ. ග්‍රාම නිලධාරීන් දක්වා එහි පරිපාලන කාර්ය විහිදී ඇත. ආරක්ෂක අමාත්‍යාංශය යටතට එවැනි කාර්යයක් පැවරීම තුළ සිවිල් පරිපාලනය ක‍්‍රමානුකූලව හමුදා පරිපාලනයට යටත්වීම සිදුවිය හැක. එසේම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී සිවිල් ආයතන ගණනාවක් ඒ යටතට පවරා ඇත. මේ තත්වය එම ආයතනයන් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවට වෙනත් අමාත්‍යාංශයකට පැවරීම යෝග්‍ය බව ප්‍රකාශ කරමු.
මෙයට,
ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය

 

Archive

Latest news

Related news