Thursday, April 25, 2024

බොරු සාක්කි දුන් බව කියන අය එළියේ තබා ශානි අබේසේකර රිමාන්ඩ් කිරිම බියජනක පූර්වාදර්ශයක්

ශ්‍රී ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඡන්ද වේදිකාවක කතා කරන කටට එන දේ කියන දේශපාලඥයකු වැනිය. ඒ තරමටම අද පොලීසිය ස්වාධීනය.

අත්අඩංගුවට ගනු ලැබු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගැන කතා කරමින් ඔහු කියා ඇති කතාව නීතියේ ආධිපත්‍යය බිංදුවට දැමීමකි.

ඔහු කියන්නේ ගම්පහ, කළගෙඩිහේන ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් වසර හතරකට පහකට පෙර සොයාගත් බවට සාක්ෂි දුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආයුධ සොයගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මීට පෙර ලබාදුන් සාක්ෂි අසත්‍ය බව කියා තිබීම මත ශානි අබේසේකර අත් අඩංඟුවට ගත් බව.

මෙම ආයුධ සොයා ගත් අවස්ථාවෙහිදී ඔවුන් සාක්ෂි දී ඇත්තේ එම ආයුධ එවකට බස්නාහිර උතුර විශේෂ මෙහෙයුම් ඒකකය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විසින් ලබා දුන් ඒවා බවය. එම සිදුවීම සම්බන්ධයෙන් පැවැති නඩු විභායෙන්ද වාස් ගුණවර්ධන වරදකරු විය.

අධිකරණය ඉදිරියේ බොරු සාක්කි දීම බරපතල වරදකි. නමුත් දැන් සිදුව ඇත්තේ එළෙස බොරු සාක්කි දුන් බව කීයන පිරිස එළියේ සිටියදී එම පරීක්ෂනය කළ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමය. මෙම බොරු සාක්කිකාර පිරිස දැන් කියා සිට ඇත්තේ ශානි අබේසේකර මහතා විසින්ම එම ස්ථානයට ආයුධ ගෙනැවිත් දැමු බවයැයි පොලිස් ප්‍රකාශකවරයා කියා තිබේ. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ මෙම බොරු සාක්කිකරුවන්ගේ කතා සත්‍ය ලෙස හැඟෙන පරිදිය.

ෂානි අබේසේකර තමන් සේවයෙන් ඉවත් කිරීමට විරුද්ධව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුවෙහි ඔහු ප්‍රකාශ කරන්නේ තමා ඉවත් කරන ලද්දේ පසුගිය කාලයෙහි ඔහු විසින් කරගෙන යන ලද වැදගත් අපරාධ පරීක්ෂන අඩපන කිරීමට බවය.

මෙම පුද්ලගයින් වසර පහතටත් වඩා කාලයක් තමන් බොරු සාක්කි දුන් බව නොකීවේ ඇයිද යන ප්‍රශ්ණයට පොලිස් මාධ්‍ය ප්‍රකාශක හේතුවක් දී නැත.දැන් හදිසියේම මෙම සාක්ෂිකරුවන් සිය මතය වෙනස් කලේ මන්ද යන්න සොයා නෙැබැලිය යුතුද?

මෙළෙස තමන් බොරු සාක්කි දුන් බව කීමට දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම සම්බන්ධ පිරිස් ද ඉදිරියේදී එළියට ඒමට ඉඩ තිබේ. එසේ සිදුවුවහොත් දුමින්ද සිල්වා නිදහස් වී ශානි අබේසේකර සිරගතවිමට ඉඩ තිබේ.

වසර පහකින් පසු සිය සාක්ෂි වෙනස් කර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙම සිදුවීම භයානක පුර්වාදර්ශයක් සපයයි.

එමෙන්ම මෙම ආදර්ශය අනුව ශානි අබේසේකර විසින් පරීක්ෂන මෙහෙයවන ලද ප්‍රගීත් ඝාතන නඩුව, ත්‍රිකුණාමල ගන්සයිට් ඝාතන නඩුව, දූෂන වංචා නඩු යනාදිය සම්බන්දයෙන්ද තමන් බොරු සාක්ෂි දුන් බව කීමට පිරිස් මතුවීමට ඉඩ නැතැයි කිව නොහැකිය.

මෙම අත්අඩංඟුවට ගැනීම සම්බන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කරන සමගි ජන බලවේගය මෙසේ ප්‍රකාශ කරයි:

ශානි අබේසේකර මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි. කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත. එය අභියාචනාධිකරණය විසින්ද තහවුරු කර ඇත.

පසුගිය කාල සීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳව වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකර මහතා පත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි. රජය බලයට පත්වූ වහාම ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාරයෙකු ලෙස පත් කිරීම තුළින්ම ඒ බව පැහැදිලි ය. අවසානයේ දී වැඩ තහනමට ලක් වූ ඒ මහතා සැලසුම් සහගත ලෙස අත් අඩංගුවට ගත් බව පැහැදිලි ය

මෙය සමස්ථ පොලිස් සේවයේම අවධානයට යොමුවිය යුත්තකි. ඍජුව සහ නිවැරදිව වැඩ කරන නිලධාරීන්ට අත්පත් වන මෙම කණගාටුදායක ඉරණම නීතිගරුක නිලධාරීන්ට දල්වන රතු එළියකි.

ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවමින් පොලිසියට ලබා දුන් ස්වාධීනත්වය අද වන විට බරපතල තර්ජනයකට මුහුණ පා ඇත.

මැතිවරණ සමයක දී මෙවැනි තීරණ තීන්දු ගන්නා ආණ්ඩුවක් බලය ලබා ගත හොත් කුමක් සිදු කරයිද? ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ස්වාධිපත්‍යය නීති හා සාමය පිළිබඳව දල්වන අනතුරුදායක සංඥාව වටහා ගැනීම වැදගත් වේ.

මෙම අත් අඩංගුවට ගැනීම සමගි ජන බලවේගය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙයට එරෙහිව පෙළ ගැසෙන මෙන් රටේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ නීතිය සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන සියළු බලවේග වලට ආයාචනා කරමු.”

මෙම අත් අඩංඟුවට ගැනීම හෙළා දකිමින් මංගල සමරවීර මහතාද ට්වීට් පනිවිඩයක් යවා තිබේ. එජාපය හෝ ජවිපෙ තවම මේ සම්බන්ධයෙන් කිසිවක් කියා නැත.

 

Archive

Latest news

Related news