Image courtesy of theconversation.com.
කටාන ප්‍රදේශයේ ඊයේ පැවති පොදුජන පෙරමුණේ රැළියකදී ගෝඨාභය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ප්‍රදර්ශනය විය. උසස්පෙළට කලා විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුවියකට ජනාධිපතිවරයා පවසන්නේ දේශපාලන විද්‍යාව වැනි විෂයයන් ඉගෙනගෙන වැඩක් නැති බව, ඒවාට රැකියා නැති බව හා ” ඩිමාන්ඩ්” එකක් තිබෙන විෂයයන් කළ යුතු බවය.
මෙයට දශක තුනකට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්ද කලාව කන්නදැයි ප්‍රසිද්ධියේ විමසූ අතර ඔහු පැවසූයේ කලා විෂයයන් ඉගෙනගෙන මැටි මුට්ටියක්වත් හදන්න බැරි බවය. ඒ පිළිබඳව දැවැන්ත සංවාදයක් ඇති වූ අතර ‘ගුරු තරුව‘ වැනි නාට්‍ය නිර්මාණ පවා එයට එරෙහිව බිහි විය. දශක තුනකට පසු නැවතත් ජනාධිපතිවරයෙක් එවැනිම තකතීරු ප්‍රකාශයක් සිදුකර තිබේ.
ජනාධිපතිවරයා පවසන්නේ කලා විෂයයන් හදාරා වැඩක් නැති බවයි. ඒවාගෙන් රැකියා කළ නොහැකි බවයි. සිසුවියට උපදෙස් දෙන්නේ ඒ නිසා තාක්ෂණික විෂයයන් හදාරන ලෙසයි. පසුගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ‘මට ඔබිනා – මතු රැකෙනා – ශිල්පයමයි උගතමනා‘ යැයි කියමින් අධ්‍යාපනය තුළ සිදුකරන්නට සැරසුණේ ද මෙම ප්‍රතිසංස්කරණයන්මය. කුණුගඳ ගහන ජරාජීර්ණ වූ ආර්ථික ක්‍රමයට අවශ්‍ය වන්නේ සිතන මතන, නිර්මාණශීලී, විචාරශීලී චින්තනයක් සහිත නිදහස් නිවහල් මිනිසෙක් නොවේ. එයට අවශ්‍ය කඩාහැළෙන ආර්ථිකයට මුක්කු ගැසිය හැකි ප්‍රශ්න නොකරන, විරුද්ධ නොවන, කීකරු කම්කරුවෙකි. අවනත වහලෙකි. අධ්‍යාපනය යොදාගන්නේ මිනිසුන් එලෙස ශික්ෂණය කිරීමටය.
කලා විෂයයන් හදාරන සිසුන්ට රැකියා නොමැති වීම එම විෂයයන්ගේ ප්‍රශ්නයක් නොවේ. රජය පවසන පරිදි ඒවා කල් ඉකුත් වී නැත. ගැටලුව ඇත්තේ කලා විෂයයන්, ශාස්ත්‍රීය විෂයයන්, සෞන්දර්ය විෂයයන් හදාරන සිසුන්ගේ ශක්‍යතාවන් උරාගත හැකි ආර්ථිකයක් නොමැති වීමයි. එය ආර්ථිකය මෙහෙයවන පාලකයන් වගකිව යුත්තක් මිස ඉතිහාසයක් මුළුල්ලේ වර්ධනය වූ දැනුම් පද්ධතීන් බිලිදිය යුත්තක් නොවේ.
විද්‍යාවෙන් විද්‍යාඥයින් බිහි කරයි. වෛද්‍ය විද්‍යාව වෛද්‍ය වෘත්තිකයන් බිහි කරයි. කළමනාකරණ විෂයයන් කළමනාකරුවන් බිහි කරයි. ඉංජිනේරු විෂයයන් ඉංජිනේරුවන් බිහි කරයි. තාක්ෂණ විෂයයන් හැදෑරීමෙන් තාක්ෂණවේදීන්, කාර්මිකයන් බිහිවෙයි. එසේම කලා විෂයයන් හැදෑරීමෙන් චින්තකයන් බිහිවෙයි. අදහස් නිපදවන්නන් බිහිවෙයි. විචාරශීලී, විචක්ෂණශීලී, නිර්මාණශීලී මිනිස් පෞරුෂයක් ගොඩනැගීමට කලා විෂයයන් අවශ්‍යය. ඒවා ගැඹුරට හැදෑරූ විශේෂඥයන් සමාජයට අවශ්‍යය. ඒවා සමාජ සංවර්ධනය, සංස්කෘතිය, ආධ්‍යාත්මය සමඟ බැඳුණු විෂයයන්ය. සමාජයට අවශ්‍ය වන්නේ අහවල් විෂයය හැදෑරූ අය පමණකැයි රටක නායකයෙක් තක්සේරු කරන්නේ කෙසේද? මේ විෂයය ක්ෂේත්‍රයන් සියල්ලක්ම සියලු මිනිසුන් විසින් උගත යුතුය. බාස්කට්වලට බෙදා කොටස් කොටස් කර ඉගෙනීම අධ්‍යාපන අර්බූදයේ එක් පාර්ශවයකි. සංයුක්ත අධ්‍යාපනයක් සියල්ලන්ට ලැබිය යුතුය. දැන් රජය හදන්නේ එවැනි වර්ධනීය ඉලක්කයකට අධ්‍යාපන පද්ධතිය මෙහෙයවීම පසෙක තබා කොම්පැණියක ඇණමුරිච්චියක් තද කිරීමට, බුරුල් කිරීමට පමණක් දැනුම ඇති පිරිසක් බිහිකිරීමටය. අවම වශයෙන් මේ පවසන්නේ තාක්ෂණ අධ්‍යාපනයවත් හරිහමන් ලබා නොදෙන බවයි.
කෙසේ නමුත් යමක් පැහැදිලිය. ශාස්ත්‍රීය විෂයයන් කප්පාදු වීමට නියමිතය. පසුගිය කාලයක් තිස්සේ අප ශාස්ත්‍රීය විෂයයන් කප්පාදු කිරීම නවතනු! යැයි සටන් පාඨ ගෙන උද්ඝෝෂණය කළෙමු. සත්‍යග්‍රහ කළෙමු. අරගල කළෙමු. නමුත් තවදුරටත් එම අරගලය හුදු ශාස්ත්‍රීය විෂයයන් කප්පාදු කිරීමට පමණක් සීමා කර කතා කළ නොහැකිය. මෙය ශාස්ත්‍රීය විෂයයන් කප්පාදුව සේම අධ්‍යාපනයේ නිදහස පිළිබඳ බරපතල ගැටලුවකි. උපාධි කඩ නීතිගත කරන්නැයි ඉල්ලමින් නවලිබරල් මායාවෙන් ඇස් ගිනිකන වැටුණු ඇතමුන් වඳුරු කුණුහරුපයක් බවට පත් කොට ඇති අධ්‍යාපනයේ නිදහස නොවේ. අධ්‍යාපනය පාලකයන්ගෙන් නිදහස් විය යුතුය. පාලකයන්ගේ උවමනා එපාකම් වෙනුවෙන්, ජරාජීර්ණ වූ ආර්ථිකයකට මුක්කු ගැසීම වෙනුවෙන් අධ්‍යාපනය කප්පාදු කිරීමට ඉඩ නොදිය යුතුය. මේ ගත වෙන්නේ එවැනි තකතීරු අධ්‍යාපන ක්‍රමයක් අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමට පාලකයන් බලය ඉල්ලන මොහොතකි. ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ රඟපාමින් මාධ්‍ය සංදර්ශන තබා එය සාධාරණීකරණය කිරීමට උත්සාහ දරයි. කෙසේ නමුත් අප ඉදිරියේ බරපතල අභියෝගයක් පවතියි. එය සිතට ගෙන ධෛර්යමත්ව නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට සටන් වදිමු. අරගලය පෙරට ගමු.
අන්තර් විශ්වවි ද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය