Wednesday, April 24, 2024

ශ්‍රි ලංකා නීති ඉතිහාසයේ වසර 135ක් තුළ නොවූවිරූ දෙයක්: තරුණයින් පැහැර ගැනීමේ නඩුවට විරුද්ධව කරන්නාගොඩ උසාවි යයි.

තරුණයින් පැහැර ගැනීම සම්බන්ධ නඩු විභාගය ‘අත්හිටුවන්න’: වසන්ත කරන්නාගොඩගෙන් පෙත්සමක් /23 ජූනි 2020.

තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් තමන් නම් කරමින් ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ කෙරිණ.

පෙත්සම සලකා බැලීමට ප්‍රථම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, කිසිදු නීතිමය පදනමක් නොමැතිව මෙම පෙත්සම ගොනු කර තිබෙන බවය.

අග විනිසුරුවරයා විසින් පත් කරනු ලැබු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පැවැත්වෙන මෙම නඩු විභාගය සම්බන්ධයෙන් මැදිහත් වීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

වසර 135 ක ඉතිහාසය තුළ නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රයක් අභියෝගයට ලක් කරමින් මේ ආකාරයේ නඩුවක් ගොනු කර නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ සෝභිත රාජකරුණා විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලිණ.

පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් වසර 10 ක කාලය තුළ විමර්ශන සිදු කළත් එහිදී තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බවය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දක්වමින්, නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කර පසුව නාවික හමුදාපති ධූරයට පත් ට්‍රැවිස් සින්නයියා විසින් 2017 වසරේ පොලීසියට ලබා දුන් ප්‍රකාශයකින් පසුව තම සේවාදායකයා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කෙරුණ බව සඳහන් කළේය.

2015 දී ආණ්ඩු මාරුවෙන් පසුව මෙම විමර්ශනය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ උපදෙස් මත එවක එහි සමූහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් බවත් ඔහු මේ වනවිට ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින බවත් ඔහු පැවසීය.

සිද්ධියෙන් වසර 10 කට පසුව කිසිදු සාක්ෂියක් නොමැතිව සිය සේවාදායකයා මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එබැවින් එම නඩුවේ විභාගය අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බීබීසී සිංහල

Archive

Latest news

Related news