Saturday, October 25, 2025

“No Kings Day”- “රජුන් නැති දිනය”. ට්‍රම්ප් ඒකාධිපතිත්වයට විරුද්ධ ජන නැගිටීම සහ අප – සුනන්ද දේශප්‍රිය

පසුගිය ඔක්තෝබර් 18 වනදා, ඇමරිකාවේ නගර 2,100කට වඩා වැඩි ප්‍රමාණයක ජනතාව “No Kings Day” නම් පැතිරුණූ සහ විසල් උද්ඝෝෂනයකට එක්විය.  එළෙස වීදි අරක් ගත් ජනතාව හැත්තෑ ලක්ෂයක් තරම් වූ බව කියනු ලැබේ.

“අපට රජවරු නැහැ” යන මූලික පණිවිඩය යටතේ, ජනතාව එක්වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලය අධික ලෙස අවභාවිත කිරීමට විරෝධය පළ කිරීම සඳහාය. එහි හෑෂ් ගැගය #nokings ය.

එයට ප්‍රතිචාර ලෙස ට්‍රම්ෆ් කෘතිම බුද්ධිය මගින් නිර්මානය කරන ලද වීයඩියෝවක් ඔහුගේ ‘ට්රුත් සෝෂල්’ නම් සමාජ මාධ්‍ය ජාලය හරහා උඩුගත කළේය. එහි දැක්වූනේ පළමුවෙන් රජ ඔටුන්නක් පැළද ගන්නා ට්‍රම්ප් ගුවන් යානයක් පදවා ගෙන ගොස් එලෙස උද්ඝෝෂනයට සහභාගි වෙමින් සිටි ජනයා මත කක්ක ගොඩවල් අතහැරීමයි! ඊට අටුවා ටීකා ලිවීම අවශ්‍ය නැත.

‘රජවරු නැති දිනය’ හි ආරම්භය වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 79 වන උපන්දිනය සහ එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සැමරීම සඳහා 2025 ජුනි 14 වන දින වොෂින්ටන්හි  පැවැත්වීමට නියමිතව තිබූ හමුදා පෙළපාළියට එරෙහි විරෝධයයි. එම යුුද හමුදා  පෙළපාළිය සංකේතාත්මක රාජාභිෂේකයක් සහ ඒකාධිපතිවාදයේ වධක ප්‍රදර්ශනයක් ලෙස සිවිල් ක්‍රියාධර පිරිස් සැලකූහ. ඊට ප්‍රතිචාර වශයෙන්, බිම් මට්ටමේ සංවිධායකයින්ගේ සන්ධානයක්  ඇති වී “ජාතික විරෝධතා දිනයක්” දියත් කළහ. ප්‍රාන්ත 50 පුරා නගර 2,000 කට ආසන්න සංඛ්‍යාවක විරෝධතා බලමුලු ගැන්වීමට එම මූලිකත්වයට හැකි විය.

2025 ජුනි 14 වන දින ලොස් ඇන්ජලීස් හි පැවති නෝ කිංග්ස් රැලියක්. ඡායාරූපය: එටියන් ලෝරන්ට්/ඒඑෆ්පී/ගෙටි ඉමේජස්

ජූනි 14 කොඩි දිනය යනු 1777 වසරෙහි දී  ඇමෙරිකාවේ කොඩිය නිල වශයෙන් පිළිගත් දවසය. එය ජාතික අභිමානය සහ ඒකාබද්ධත්වය සැමරීමක් ලෙස හැදින්වේ. සිවිල් සමාජ කණ්ඩායම් ද එම දිනය තෝරා ගන්නා ලද්දේ දේශප්‍රේමය යනු දේශපාලන ඒකාධිපත්තවයට යටත් වීම නොවන බව සංකේතමත් කරමිනි.

‘රජුන් නැති දිනය’ මහජන  ඡන්දයෙන් බලයට පැමිණි ඒකාධිපති බලතල පාවිච්චි කරන ආණ්ඩු සහිත  සියළුම රටවලට පොදු සටන් පාඨයක් විය හැකිය. මෙරට ද මහරජාණෝ නමින් ගීත පවා ගැයුණු කාලයක් තිබුණි. නගරයක් නගරයක් පාසා මහින්දාන්දෝය පිහිටවුණි.

ඇමෙරිකාවෙහි මෙම සිවිල් ව්‍යාපාරය කිසිදු දේශපාලන පක්ෂයක් විසින් දියත් කරන ලද හෝ සංවිධානය කරන ලද එකක් ද නොවිය. එරට ශක්තිමත් ස්වේච්ජක සිවිල් ක්‍රියාාකරී සම්ප්‍රදායයක් තිබේ.

මෙරටද බලය මූලික කරගත් දේශපාලන පද්ධති මගින් පීඩා විඳි රටකි. විශේෂයෙන්ම විධායක ජනාධිපති තනතුර, 18 සහ 20 ව්‍යවස්ථා සංශෝධන, සහ බලය කේන්ද්‍රීකරණය කිරීමේ ප්‍රවණතා මෙරට ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයන්ට මඟ පෑදිය.

දැන් විධායක ජනාධිපති ක්‍රමය සහ 18 සහ 20 වන සංසෝධන මගින්  අධිකාරීවාදි පාලනයක් ගෙන ගිය සියළුම වර්ගයේ රාජපක්ෂවරු මෙරට ව්‍යවස්ථාදායක අඥාදායකත්වයක් ඇති බවට චෝදනා කරති. ඔවුුන්ට අමතක වී ඇති කාරණය නම් එජාප නායකයින් වූ ජේ.ආර්. සහ ප්‍රේමදාසද පොදු පෙරමුණූ- පොහොට්ටු නායකයින් වූ රාජපක්ෂ දෙබෑයන්ද  මෙරට අතිශය මර්දනකාරී විධායක අඥාදායකත්වයක් පවත්වා ගෙන ගිය බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ද සිය පාලනය ගෙන යෑම පිණිස මේ තාක් රදා පැවැතී ඇත්තේ විධායක ඒකාධිපතිත්වය මතය. ඔහු ද ජනාධිපති කාර්ය සාධක බලකා පත් කරයි. ඇමැතිවරු සිටියදී සෑම ඕනෑම අමාතයාංශයක කටයුතු නොනිල ලෙස තමන් අතට ගනියි. ස්වාධීන කොමිෂන් සභාවන්ගෙන් රිංගා යාමට උත්සාහ කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් දවස් 90කට රැදවුම් ගත කරයි.

ජනාධිපති දිසානායකගේ මෙම ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවටත් ඒ සදහා මෙයට පෙර සකස් කරන ලද ව්‍යවස්ථා සංසෝධන යෝජනා සැළකිල්ලට ගන්නා බවටත් ජාජබ ආණ්ඩුව මෑතදී ප්‍රකාශ කළේය. ඒ පිළිබදව ජනාධාපතිවරයා විසින්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර කාලරාමුවක් ලබා දෙන්නේ නම් එය ස්වකීය පොරොන්දු කඩ නොකරන බවට සහතිකයක් වනු ඇත.

මෑත කාලයෙහි ඇමෙරිකාවේ පැවැති විශාලතම ජන ඒකරාශිය සෙස මෙම රජුන් නැති දින විරෝධතාවය හැදින්වේ

“No Kings Day” ‘රජුන් නැති දිනය’ උද්ඝෝෂනය අපට වැදගත් පාඩමක් මතක් කරයි. එනම් වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධති සහිත රාජ්‍යයන්හි පවා බලය අධික ලෙස කේන්ද්‍රීකරණය වීමේ අවදානමක් තිබෙන බවයි.

ඇමරිකාවේ, යුද්ධ හමුදාවේ 250 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ විශාල සංදර්ශනය, අනවශ්‍ය බලය ප්‍රදර්ශනයක් ලෙස සිවිල් සමාජ පිරිස් විසින් විවේචනය කරන ලදී. ශ්‍රී ලංකාවේද, යුද හමුදා උත්සව මෙන්ම ජාතික සංකේත දේශපාලනීකරණය දිගටම සිදු වෙයි. චීනය, වියට්නාමය, රුසියාව සහ උතුරු කොරියාව වැනි රටවල් යුද බලය දේශපාලන සංකේතයක් ලෙස ප්‍රදර්ශණය කරන්නේ පුද්ගලාභිවාදනය ද උත්කර්ශයට නංවමිනි.

‘රජුන් නැති දිනය’ උද්ඝෝෂනය TikTok වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් පැතිර ගියේ එරට තරුණ තරුනියන්ගේ ක්‍රියාකාරීත්වය මතය.  මෙම ව්‍යාපාරයේ කොදු නාරටිය වන්නේ තරුණ ජනයාය. නිදසුනක් ලෙස ඇමෙරිකානු වැඩිමහල් ජනයා තවමත් ඊශ්‍රාලයට පක්ෂ අතර තරුණ ප්‍රජාවෙන් බහුතරය පලස්තීන අයිතිය පිළිගත යුතු බව පිළිගනී.

මෙරට  2022 “අරගලය” ව්‍යාපාරයද තරුණයන්ගේ නායකත්වය සහ ඩිජිටල් සන්නිවේදනය මත පදනම්  විය. එයටද ඊට ආවේනික වූ හෑෂ් ටැග් එකක් එනම් #gohomegota තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සඳහා වන තරුණ නැගිටීම් පරම්පරාත්මක විරෝධතාවක් පමණක් නොවේ. එය නව ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක ප්‍රකාශණයකි. ජනතා බලය ආරක්ෂා කරන්නේ රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලින් පමණක් නොවේ. ඒවාට ප්‍රශ්න කරන මහජන හඬවලිනි. ‘රජුන් නැති දිනය’ එවැනි දෝංකාර දෙන හඬකි.

‘රජුන් නැති දිනය’ ව්‍යාපාරය විමධ්‍යගතය. ස්වේච්ඡා සේවකයින් විසින් සම්බන්ධීකරණය කරයි. ට්‍රම්ෆ් ඒකාධිපතිත්වයට විරුද්ධ ජාතික මට්ටමේ සිවිල් වේදිකා එයට සහාය දක්වයි.

‘රජුන් නැති දිනය’ හුදු සාමකාමී පෙළපාලියක් පමණක් නොවේ. එය අවබෝධය ඉහළ නැවීම්, කලා සංස්කෘතික ක්‍රියාකරකම් සහ ප්‍රජා සංසද දක්වා සිදුවීම් පරාසයක් හරහා දිවයයි. සංවිධායක සංවිධායිකාවන් සහභාගිවන්නන් වෛරයට ඇති කිරීමට හා බිය ගැන්වීමට එරෙහිව පැහැදිලි සහ ප්‍රබල පණිවිඩයක් ඉදිරිපත් කරයි. එය අවධාරණය කරන්නේ අවිහිංසාව සහ සිවිල් සහභාගිත්වයයි.

එහි සුවිසල් පරිමාණය තිබියදීත්, ව්‍යාපාරය ධූරාවලි ගත නායකත්වයක් ඇතිවීම වළක්වා තිබේ. ඒ වෙනුවට තොරතුරු බෙදා හැරීමට සහ සහාය ගොනු කිරීමට ඩිජිටල් සහ සමාජ මාධ්‍ය මත විශ්වාසය තබයි.

මෙරට ‘ආදරයේ අරගලය’ යෙහිද එම ළකුණු තිබුණි.

ඕනෑම අත්තනොමතික පාලකයකු මෙවැනි මහජන බලමුළු ගැන්වීම් ප්‍රචණ්ඩත්වය දෙසට හැරවීමට උත්සාහ කරයි. එවිට ආයුධ බලයෙන් ඒවා මර්දනය කිරීම සාධාරණ කළ හැකි නිසාය. මේ වනාහී මෙරට පොලිසිය විසින් ද අත්හදා බලා ඇති කූටෝපායකි. වරක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති ගුරු විරෝධතාවයකදී පොලිස් නිලධාරියකුට පිහි පහරක් එල්ල කරන ලද්දේ පොලිස් බුද්ධි අංශ සාමාජිකයකු බව හෙළිවිය.

 ‘රජුන් නැති දිනය’ හි කේන්ද්‍රීය අරමුණ වන්නේ අධිකාරීවාදය ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම නැවත තහවුරු කිරීමයි. එය පෞරුෂ වන්දනා ප්‍රතික්ෂේප කරයි. ආයතනික වගවීම ඉල්ලා සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදය ස්වයංපෝෂිත එකක් නොවේ. එහි යහ පැවැත්ම සඳහා ක්‍රියාකාරී සිවිල් සහභාගිත්වයක්, නීතිමය ආරක්ෂාවත් සහ විසම්මුතියේ සංස්කෘතියක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන තත්වය, පුරවැසි අවබෝධය සහ සහභාගිත්වය, සිවිල් සමාජය අතර ඩිජිටල් ජාල සබඳතා ඇමෙරිකාවට වඩා වෙනස්ය. අරගලයෙන් පසු බිදී ගිය ස්වේච්ජක මුල පිරීම් දේශපාලන පක්ෂ විසින් උරා ගන්නා ලදී. එසේ තිබියදීත්  ශක්තිමක් සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී  ව්‍යාපාරයක අදහසක් ගොඩ නගා ගැනීමට අප හමුවේ ඇති අභියෝගය පසුපසට දැමිය හැකි එකක් නොවේ.

‘ රජුන් නැති දිනය’ අපට අදාළ වන්නේ එනිසාය.

පසු සටහන: ශ්‍රී ලංකාවේ අරගලය, නේපලයේ පවුල් පාලනය එපා අරගලය යනාදිය බටහිර ඩිජිටල් මෙවළම් මගින් මුදල් වැය කර ඇති කරන ලද බවට දේශනා කරන මහත්වරු ‘රජුන් නැති දිනය’ ව්‍යාපාරට අඟහරු ලොවෙන් හෝ මුදල් පොම්ප කර ඇතැයි කීවොත් පුදුම  නොවිය යුතුය. මන්ද යත් සමාන්තර ව්‍යාපාරයක් වන ‘රජුන් නැති දිනය’ බටහිර කුමන්ත්‍රණයක් යැයි කීමට වචන ගලපා ගැනීම අමාරු විය හැකි නිසාය. ඔවුන්ට අනුව ජනතාවගේ ස්වේචජා ව්‍යාපාර කියා ජාතියක් නැත. සියල්ල බාහිර මැදිහත්වීම්ය.

(මෙම ලිපිය සම්මුති විසම්මුති තීරු ලිපය ලෙස පසුගිය අනිද්දා පුවත්පතෙහි පළවිය)

.

Archive

Latest news

Related news