Friday, March 29, 2024

රණවිරුවෝ, සඟවිරුවෝ සහ රණකාමී ජාතිවාදියෝ; නව අශුද්ධ ත්‍රිත්වය- තිසරණී ගුණසේකර

ජායාරූපය: අන්ත ජාතිවාදී ප්‍රචන්ඩ භික්ෂුවක් වන අම්පිටියේ සුමන සමත සනහ පාන යුදහමුදාපති ශ්වේන්ද්‍ර සිල්වා.

වූහාන්  COVID-19 වසංගතය හමුවේ සමස්ත ලෝකයා අරගලයක යෙදෙමින් සිටියදී චීන රජය දේශය වෙත දැවැන්ත පිම්මක් පැන  ඇත. චීනය අනාහොංකොං වරණය කරන ලද නව ජාතික ආරක්ෂක නීතියකට අනුව හොංකොං කැරළි කරුවන් මර්දනය කිරීම සඳහා චීන ආරක්ෂක යාන්ත්‍රනය යෙදවීම බලාත්මක කර ඇත. මෙම නීතිය හොංකොං ජනතාවගේ හෝ පරිපාලනයේ අනුමැතියකින් තොරව එහි ව්‍යවස්ථාවට අන්තර්ගත කිරීමට නියමිත ය. හොංකොං හි ටියනන්මෙන් ආකාරයේ දැවැන්ත සංහාරයක් සඳහා චීන හමුදාවට මග හෙළි කෙරෙමින් ඇත

මේ තත්ත්වය චීනයට පමණක් ආවේනික වූවක් නොවේ. ලොව පුරා බලකාමී ජාතිකවාදී ජනප්‍රිය ධාරාවේ පාලකයන් හට COVID-19 වසංගතය ආශීර්වාදයක් වී ඇත. ට්‍රම්ප් ජනාධිපති වරයා උවදුරකට වඩා විකටයකු බවට පත්ව ඇති නමුත්, ශ්‍රී ලංකාව වැනි ශක්තිමත් ආයතනික ව්‍යුහයකින් තොර, ප්‍රබල විපක්ෂයක් නොමැති රටවල ප්‍රජාතන්ත්‍රවාදය විනාශයකට මුහුණ දී ඇත.

මහින්ද රාජපක්ෂ, පොදු ජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය බාල සහෝදර ගෝටාබය නම්කරන විට, තමා අගමැති වශයෙන් රට පාලනය කරන පුටින්මෙද්වදෙව් ආකාරයේ පාලනයක් පිලිබඳ සැලසුම් කරන්නට ඇත. ඒ එසේනම් එම සැලසුම කණගාටු දායක ලෙස ව්‍යර්ථ වී ඇත. සිය වැඩිමහල් සහෝදරයාගේ දැවැන්ත සෙවනැල්ලෙන් මිදී ඇති ගෝටාබය පෙර රජ දරුවන්ට නොදෙවෙනි ආකාරයේ අසීමිත බලයක් තමා වෙත  නතු කර ගනිමින් සිටී. තම පාලනයට එරෙහිවන, ව්‍යවස්ථාමය හෝ නෛතික, ආයතනික හෝ පරම්පරා ගත කවරාකාරයේ  හෝ බලවේගයකට ඔහුගේ මනාපයක් නොමැත.

[alert type=”success or warning or info or danger”]ගෝටාබයගේ බල සිහිනය තවමත් ඔහු සතු ශක්තියට සමපාත වන්නේ නැත. පොදු ජන පෙරමුණ තවමත් ඔහුගේ පක්ෂය බවට පත්වී නැත. බැසිල් රාජපක්ෂ පක්ෂ යාන්ත්‍රනය මෙහෙයවන අතර, පසුපෙළ සාමාජිකයින්ගේ පක්ෂපාතීත්වය මහින්ද රාජපක්ෂ සතුව පවතී. නාමයෝජනා සැකසීම තුල මෙය වඩාත් පැහැදිලි විය. සිය සමීපතමයන් රාශියකට නාමයෝජනා ලබාදීමට ගෝටාබයට අවශ්‍ය වුවත්, ඉතාම සුළු පිරිසකට පමණක් අවස්ථාව ලැබීම තුලින් පැහැදිලි වන්නේ පොදු ජන පෙරමුණ තුල තවදුරටත් කටයුතු සිදුවන්නේ මහින්දට සහ බැසිල්ට අවශ්‍ය ලෙස බවයි. තම පාලන කාලයෙන් සය මසක් ඉක්මෙද්දී ගෝටාබය තවමත් බල සෙනග සොයමින් යන සෙන්පතියෙකුගේ තත්වයට පත්ව ඇත[/alert]

වසංගතය මගින් ජනිත කරන ලද අවිනිශ්චිත තත්වය යටතේ තමාට පක්ෂපාතී බලපදනමක් බිහිකර ගැනීම සඳහා ඔහුට වටිනා කාල අවකාශයක් උදා වී ඇත. පාර්ලිමේන්තුව විසුරුවා ඇති අතර ඇත්තේ භාරකාර අමාත්‍ය මණ්ඩලයකි. අග්‍රාමත්‍ය වරයාද  භාරකාර අගමැති වරයෙකි. මෙම අවිනිශ්චිත මොහොතේ එකම නිශ්චිත බල පදනම ජනාධිපති වරයා සතුවෙයි

වියහැකි පරිදිම, (යුද)හමුදාව ජනාධිපතිවරයා ගොඩනගමින් සිටින තම බල පදනමේ ප්‍රධාන පාර්ශවය වෙමින් පවතී. සක්‍රිය සහ විශ්‍රාමික යුද හමුදා අයවලුන් ප්‍රධාන සිවිල් පරිපාලන තනතුරු වෙත පත් කිරීම මගින් සමාන්තර බල ධුරාවලියක් ගොඩ නගමින් පවතී. රණවිරු සැමරුමේදී කළ කෙටි දේශනය තුලින් තමා හමුදාව සතු එකම සහ කොන්දේසි විරහිත ගැලවුම්කරුවා ලෙස ඉස්මතු කිරීමට ගෝටාබය කටයුතු කළේය. එහි තේමාව වුයේ මුක්තිය වෙනුවෙන් පක්ෂපාතීත්වය යන්නයි. ප්‍රශ්නකාරී  පසුබිමක් සහිත බ්‍රිගේඩියර් වරු ජනරාල් වරුන් බවට උසස් කරමින් සහ උසාවියෙන් අච්චු කරන ලද මිනීමරුවකු වූ සැරයන් සුනිල් රත්නායක නිදහස් කිරීම මගින් ඔහු සිය කතාව  ක්‍රියාවෙන් ඔප්පු කළේය.

මහා ජාතියේ අභිමතාර්ථයන්හි ප්‍රධාන ආරක්ෂකයා වශයෙන් ක්‍රියාකිරීම මගින් මහාසංඝයාගේ සහ සිංහල බෞද්ධ චන්දදායකයාගේ පක්ෂපාතීත්වය දිනාගැනීම සඳහාද ප්‍රබල උත්සාහයක් දරමින් සිටී. මුහුදු මහා විහාරය ඍජුවම හමුදා ආරක්ෂාව යටතට පත්කිරීම සහ නැගෙනහිර පළාතේ බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම් යටතේ වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ශපථ කිරීම මේ සඳහා උදාහරණ වේ.

සංකේතාත්මක පියවරක් වශයෙන් සෑම මසකම තුන්වෙනි සිකුරාදා රැස්වන ලෙසට බෞද්ධ උපදේශක සභාවක් ජනාධිපති වරයා විසින් පත් කරනු ලැබ ඇත. මෙම  උපදේශක සභාවේ දෙවෙනි සැසි වරායෙන් පසු ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරන ලද ප්‍රකාශනයක දැක්වෙන පරිදි මහා සංඝරත්නය ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපතිවරයාගේ රණවිරු සැමරුම් දින දේශනය ඇගයීම සඳහා භාෂාව සතු වචන ප්‍රමාණවත් නැති  බවයි. තවද COVID-19 වසංගතය මැඩලීම  සඳහා රජය විසින් ගන්නා  ලද පියවර සමස්ත ලෝකයේම ඇගයීමට බඳුන්වන අතර විපක්ෂයේ හැසිරීම පිළිකුල් සහගත බවද ප්‍රකාශයේ සඳහන් විය. (https://www.presidentsoffice.gov.lk/index.php/2020/05/22/presidential-task-force-to-protect-archaeological-sites/?lang=en).

මහින්ද රාජපක්ෂ පිලිබඳ සඳහනක් නැති මෙම ප්‍රකාශනය මගින් එක් නොවරදින පණිවුඩයක් සමාජ ගත කර තිබේ.

සිංහල බෞද්ධයන්ට නව මහා රජෙක්  ලැබී ඇත.

1965 පෙබරවාරි 18 දින කේම්බ්‍රිජ් සංගමය මගින් කළු ඇමරිකානු ජාතික මහා කතුවරයකු වූ ජේම්ස් බෝල්ඩ්වින් (James Baldwin) හා ප්‍රකට සංරක්ෂණ වාදී (Conservative) චින්තකයකු වූ විලියම් බක්ලි (William Buckley) අතර විවාදයක් පැවැත්වීමට යෙදින. මාතෘකාව වුයේ  “ඇමරිකානු කාපිරින්ගේ කරමතින් ඇමරිකානු සිහිනය” යන්නයි. (The American Dream at the expense of the American Negros).

සිය අදහස් දැක්වීමේදී බෝල්ඩ්වින් පෙන්වා සිටියේ ප්‍රශ්නයට පිළිතුර රඳා  පවතින්නේ ඔබ කවුද, යථාර්තය පිලිබඳ ඔබේ හැගීම කුමක්ද සහ ඔබේ සන්තානය තුල ගැඹුරින් සටහන් වූ උපකල්පන මොනවාද යන්න මත බවයි. ජාතීන් අතර සමානාත්මතාවය උදෙසා තබනු ලබන පියවර වෙත එරෙහි වන්නන් අතර කටින් පෙන දමන අන්ත ජාති වාදීන් පමණක් නොව වැදගත් හොඳ මිනිසුන්ද සිටිති.

බක්ලි තම පිළිතුරු දේශනයේදී බෝල්ඩ්වින්ගේ අදහස තහවුරු කළ අතර ප්‍රේක්ෂකාගාරයේ සිටි බහුතර සුදු ජනයාගේද සහය මත විවාදය ජය ගැනීමට බෝල්ඩ්වින් සමත් විය.

පනස් පස් වසරකට පසුවද බෝල්ඩ්වින්ගේ තීක්ෂණ දර්ශනය වලංගු වන අතර මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිට ගෝටාබය රාජපක්ෂගේ ජයග්‍රහණය දක්වා වන පැහැදිලි කළ නොහැකි දෙයක් පැහැදිලි කිරීමට උපකාරී වේ.

[alert type=”success or warning or info or danger”]දේශප්‍රේමීත්වය හා මුසු කිරීම මගින් රාජපක්ෂ වරු සිංහල බෞද්ධ අන්තවාදය නම්බුකාර සහ ගෞරවනීය තත්වයට පත්කළහ. මහින්ද රාජපක්ෂ යටතේ ආරම්භ වූ මෙය ජනධිපති ගෝටාබය යටතේ සිය තාර්කික අවසානය කරා ළඟා වී ඇත. සුළු ජාතික සහයකින් තොරව පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සමත්වූ  ගෝටාබය සිය නව බල පදනම සුළු ජාතීන් නොමැතිව පමණක් නොව ඔවුන්ට එරෙහිව ද ගොඩ නගන බව පැහැදිලිය. අත්‍යන්ත ජාතිකවාදය තර්ජිත වන මුර්ගයෙක් බඳු වන අතර පසුවන සෑම  සෙවනැල්ලක් තුලින්ම සතුරකු දැකීමට පෙළඹේ.[/alert]

සිංහලයා  සතු මෙම තර්ජිත හැඟීම තදින් උකහාගෙන අවියක් ලෙස භාවිත කිරීමට මහින්දටත් වඩා දැඩි දක්ෂතාවක් ගෝටාබය රාජපක්ෂ පෙන්නුම් කරයි. සමානාත්මතාවය පිළිබඳ කාල්පනික සංරචක මකාදමා ගැඹුරේ සටහන්වූ එහෙත් පිටතට නොපෙන්වන භ්‍රාන්තීන් (fears) වෙත ආමන්ත්‍රණය කිරීමට ඔහුට ඇති හැකියාව විශ්මිතය. මුස්ලිම් විරෝධී හැඟීම් නැවත රට තුල ජනිත කිරීම සඳහා වසංගතය භාවිත කළ සූක්ෂම ආකාරය මේ සඳහා වන කදිම උදාහරණයකි

අන්තර්ජාලය තුල වූ මෑත සිදුවීමක් කොපමණ වේගයෙන් කොපමණ දුරක් අන්තවාදයේ අඳුරු කොදෙව් වෙත ශ්‍රී ලංකාව ගමන්කොට ඇත්ද යන්න පිලිබඳ මනා දර්ශකයක් සපයයි. සිය මුහුණු පොතේ (Face Book) සටහනක් තබමින් තෙෂර ජයසිංහ නම් තරුණ වෘත්තිකයෙක් සඳහන් කරන්නේ තමා ඇඩොල්ප් හිට්ලර්ගේ ස්වයං ලිඛිත උමතු ජාතිවාදී ප්‍රකාශනය වන ‘මයින් කාම්ප්’ (Mein Kampf) හි රසිකයකු බවයි. මේ පිලිබඳ ප්‍රශ්න කළ විට ඔහු හිට්ලර්ගේ දේශප්‍රේමීත්වය අගය  කරන බව සඳහන් කරයි.

ඕනෑම රටක හිට්ලර් අගය කරන මානසික රෝගී සුළුතරයක් සිටිය හැක. එහෙත් මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ මෙම හිට්ලර් රසිකයා ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් වන අතර ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික උපදේශකයෙකු වීමයි. (Strategist at Government of Sri Lanka). ගෝටාබය රාජපක්ෂ යුගයේ ජාතියේ තරුණ පරම්පරාව පුහුණු කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනයක ප්‍රධානියා ප්‍රසිද්ධියේ හිට්ලර් අගය කරන්නකු වීම, රෙජීමය කොතෙක් දුරට මහාජාතික අන්තවාදයේ අසභ්‍ය හැඩ තල බිහිවන සුලු පරිසරයක් නිර්මාණය කරමින් සිටින්නේද යන්න පිලිබඳ  උදාහරණයකි. අවසාන වශයෙන් හිට්ලර්ට ගරු බුහුමන් දක්වන රටක ඒකාධිපතිත්වය ඇතුළු ඕනෑම කරුමයක් ගැන කිවයුත්තේ ‘නොහැක්කක් නොමැත’ යනුවෙනි.

[alert type=”success or warning or info or danger”]ජනප්‍රිය මතවාදයට අනුව ජාතික ආරක්ෂාව සහ මහජන සුරක්ෂිතතාව හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන නොවැදගත් තැනක් ගනීනොනවතින බාහිර සහ අභ්‍යන්තර තර්ජනයන්ගෙන් මාතෘභූමිය මුදවාගනු හැක්කේ, මහා සංඝයාගේ අනුමැතිය පරිදි ගෝටාබය රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබන සන්නද්ධ රාජ්‍යයක් මගින් පමණි. දූෂිත දේශපාලකයන් සහ අකාර්යක්ෂම පාර්ලිමේන්තුව හමුවේ (යුධ) හමුදාව අවංකත්වයේ සහ කාර්යක්ෂම බවේ මුදුන් මල් කඩ ලෙස හුවා  දැක්වේ.[/alert]

මෙම මිත්‍යාව බොහෝ සිත්සතන් තුල ලැගුම්ගෙන ඇති බව දක්නට ලැබේ. පාර්ලිමේන්තුව වසාදමා, මැතිවරණ අවලංගුකොට මිලිටරි පරිපාලකයන් පිරිසක් සමග රට පාලනය කරණ ලෙසට ජනාධිපති  ගෝටාබය වෙත කරන ආයාචනා අන්තර්ජාලය තුල  සුලබව දැකිය හැක. (නාවික හමුදාව තුල හමුවන නොනවතින වෛරස් පොකුර පෙන්වන්නේ සිවිල් කටයුතු හමුදාකරණය කිරීම මගින් කාර්යක්ෂම භාවයට වඩා ව්‍යාකූලත්වය සහ ව්‍යසනයන්ට මග පාදන බවයි.)

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ පළමු හමුදාකරණ රැල්ල බිහිවිය. එහෙත් එම පළමු රැල්ලේ සහ මේ වන විට අප අත්විඳිමින් සිටින දෙවන රැල්ලේ ඇති ප්‍රධාන  වෙනස් කමක් තිබේ. පළමු රැල්ල තුල හමුදාව සිවිල් අවකාශය ආක්‍රමණය කළ ද ප්‍රධාන සිවිල් පරිපාලන ආයතන අධීක්ෂණය සඳහා අවකාශයක් නොලද අතර පාලක පවුලට සහ පාලක පක්ෂයට පක්ෂපාතීව කටයුතු කිරීමට සිදුවිය. අමාත්‍යවරුන්ට පිටුපසින් අසුන් ගැනීමට ජනරාල් වරුන්ට සිදුවිය.

දෙවන රැල්ල තුල සිදුවෙමින් පවතින්නේ, හමුදාව පාලක පක්ෂයට හා පාලක පවුලේ යම් කොටස් වෙනුවට විකල්ප තරඟකාරී බල කේන්ද්‍රයක් ලෙස ගොඩනගමින් තිබීමයි. උදාහරණයක් වශයෙන් වසංගතයට එරෙහි සටනේදී යුද හමුදාපතිවරයා අග්‍රාමාත්‍ය වරයාට වඩා  වැඩි බලයක් හොබවන ආකාරයක් දක්නට ඇත. අමාත්‍යංශ ලේකම් වරුන් ලෙස පත් කරන ලද විශ්‍රාමික හමුදා නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයකු චමල් රාජපක්ෂ අමාත්‍ය ධූරය දරන සුවිශාල අමාත්‍යංශය වෙත පත් කිරීම අහම්බයෙන් වුවක් විය නොහැක.

මෙම දෙවන රැල්ල තුලින් බිහිකරන බියජනක තත්වය වන්නේ හමුදාව තුල ජාතික තලයේ සිය භූමිකාව පිලිබඳ සංකල්පය පරිණාමනය වීමකට ඇති හැකියාවයි. හමුදාව ගැලවුම් කරුවාගේ චන්ඩියා ගේ (enforcer) සිට ගැලවුම්කරුවාම වීම දක්වා සිය භූමිකාව වෙනස් කළ අවස්ථා ඉතිහාසය තුල එමටය.

නව ත්‍රිත්වයේ ප්‍රධාන සංරචකය තම නිර්මාණ කරුවාට එරෙහි වනු ඇද්ද? ව්‍යාඝ්‍රයෙකු පිටේ නැග ගමන්කළ කාන්තාවට සිදුවූ දෙය ජනධිපති ගෝටාබයට  සිදු නොවනු ඇතිද? කාලය පිළිතුරු සපයනු ඇත.

මැතිවරණය දිනාගැනීම සඳහා විකල්ප වැඩ පිළිවෙලක් නොමැති නම් රජයක් මැතිවරණය හමුවේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වල මිල නංවනු ඇතිද?

පළමු නිසැක මාවත වන්නේ ජාතිවාදය ඇවිස්සීම මගින් සුළු ජාතීන් මර්දනය කිරීම සඳහා වන රජයක් බිහිකිරීමට සිංහල බෞද්ධයා  පොළඹවා ගැනීමයි. දෙවන මාර්ගය වියහැක්කේ නිරෝධායන ප්‍රතිපාදන අවභාවිතයයි. දැනට දිගහැරෙමින් පවතින මහාචාර්ය රත්නජීවන් හූල් ගේ දියණිය පිලිබඳ නාටකය තුලින් ප්‍රකට කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධාකල්ප මර්ධනය කිරීම සඳහා ජාතිවාදය හා නිරෝධායන ප්‍රතිපාදන අවභාවිතය සූක්ෂම ලෙස යොදාගන්නා ආකාරයයි.

[alert type=”success or warning or info or danger”]මහාචාර්ය හූල් ගේ දියණිය මැයි 4 වනදා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි අතර නිරෝධායනය සඳහා මුදල් ගෙවා හෝටලයක ලැගුම් ගත්තාය. සති දෙකකට පසු මැයි 18 වන දින COVID-19 පරීක්ෂණයකින් සමත්වීමෙන් පසු නීත්‍යානුකූල ලෙස නිරෝධයනයෙන් නිදහස්කරනු ලැබුවාය. මෙය තහවුරු කිරීමසඳහා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ විසින් අත්සන් කරන ලද සහතික පතක් ඇය සතුව පවතී[/alert]

අන්තර්ජාලය තුලින් නිරීක්ෂණය කළ හැකි මෙම සහතිකයට අනුව ඇය නියමාකාර ලෙස නිරෝධායන ක්‍රියා පිළිවෙත අනුගමනය කර ඇත. සිය නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවට කිසිදු සඳහනක් එහි නොමැත. කරුණු මෙසේ වුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා නිරෝධායන ප්‍රතිපාදන කඩ කළ බවට ඇයට චෝදනා කරති. ඔවුන්ට කරුණු වලංගු නොවේ. වාර්තාකරණය තුල සැඟවුණු ජාතිවාදී තර්ජනයක් දැනෙන අතර, ද්‍රෝහී චෝදනාවක් ගම්‍ය කරමින් තිබේ.

හූල් මෙනවියට තර්ජනය කිරීම කිරීම මගින් ඇයගේ පියා නිහඬ කිරීම පමණක් නොව මැතිවරණ ක්‍රියාදාමය බාර සියලුම නිලධාරීන් වෙත තර්ජනාත්මක පණිවුඩයක් යැවීම සිදු කරනු ලබයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, මැතිවරණ කොමිසමේ සභාපති වරයා වෙත ද්‍රෝහී චෝදනා ඉදිරිපත් කරමින් කරන ලද බරපතල ප්‍රකාශය මගින්ද නිලධාරී ප්‍රජාව අවනත කර ගැනීම සඳහා බලහත්කාරය භාවිතා කිරීමට රජය නොපැකිලෙන බව පෙන්නුම් කරයි.

නිල  වාර්තා අනුව COVID-19 රෝගය නිසා මරණයට පත්වූ 9 වන ශ්‍රී ලාංකිකයා වන ෆාතිමා රිනොසා හට අත්වූ ඉරණම හමුවේ කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් ඇති බවට සෞඛ්‍යය බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් සහතිකය පිලිබඳ විශ්වසනීයත්වය බිඳී යයි. වෙනත් රෝගී තත්වයක් මත රෝහල් ගත වූ රිනොසා, PCR පරීක්ෂණයක් මගින් COVID -19 වැළඳී  ඇති බවට හඳුනා  ගන්නා  ලද අතර ඇයගේ  මුළු පවුලම නිරෝධායනය  සඳහා වැලිකන්ද  වෙත පිටත්  කරන ලදී. නමුත් පසුදින මුළු පවුලම නැවත ආපසු ගෙන ආ අතර ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස නියෝග කරන ලදී. ඔවුන්ගේ PCR පරීක්ෂණ වල ප්‍රතිපල ඔවුන්ට ලබා නොදෙන ලදී. (https://www.bbc.com/sinhala/sri-lanka-52662991).

සිය පවුල වැලිකන්ද වෙත යමින් සිටිය දී රිනොසා මරණයට පත්වූ අතර ඇය දැක ගැනීමට ලැබුණු  ඇයගේ පුත්‍රයා පවසන ආකාරයට ඇයගේ සිරුර කුප්‍රකට සිරුරු පැස (body bag) තුල බහා නොතිබිණ.

මෙම සියලු කාරණා වලින් පැහැදිලි වන ආකාරයට යම් කිසි වැරදීමක් සිදුවී ඇති අතර ඇයගේ මරණයට හේතුව COVID -19 නොවේ. කෙසේ වෙතත් ඇයගේ නම  COVID -19 මරණ ලේඛනයට ඇතුලත් කොට ඇත. රිනොසාගේ පවුල වෙතින් සමාව අයැදීමක් සිදුකොට නැති අතර එසේ කිරීම මහා බල පරාක්‍රමයට මදි පුංචි කමක් ලෙස සිතුවා විය හැක. සත්‍ය ගවේෂණය අත්හැර දමා ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රජයේ නිල සත්‍ය පමණක් ප්‍රතිරාවය කිරීම මගින් මෙම තත්වය පවත්වාගෙන යාමට රුකුල් දෙමින් සිටී.

තවත් උදාහරණයක් සලකා බලන්නේනම්, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කොට ඇති දත්ත සටහනකට අනුව මැයි මස 19 දින දක්වා COVID -19 රෝගීන් 91 රංගල නාවික හමුදා කඳවුර තුලින් හමුවී ඇති අතර මෙය මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 10% පමණ වේ. (http://www.newswire.lk/2020/05/17/11075-area/)

රංගල කඳවුර වැලිසරින් බොහෝ ඈත වන අතර කොළඹ වරායට  ඉතා ආසන්නව පිහිටා ඇත. එසේ වෙතත් රජයේ සහ නාවුක හමුදා ප්‍රකාශකයන් දිගින් දිගටම වැලිසර පොකුර ගැන කතා කරන අතර රංගල පොකුරක් ගැන සඳහනක් නොකරයි. බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද මෙයම ප්‍රතිරාවය කරයි. මෙම බොරු සහ අර්ධ සත්‍ය දෙස බලද්දී වසංගතය මර්දනය කර ඇති බවට රජය කරන ප්‍රකාශය පිළිබඳව සැක උපදී.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්මන් මැතිවරණයකට ඉඩ දුනහොත් හෝ ජූනි දෙවෙනිදාට පසුව පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දුනහොත් එය ශ්‍රී ලංකාවේ අසරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බවට නම් සැකයක් නැත.

-2020 මැයි 27 දා Daily FT පුවත් පතට තිසරණී ගුණසේකර ලියූ Military, monks, militant racists – the new trinity? නම් ලිපිය ලංකා ඊ නිව්ස් වෙනුවෙන් සිංහලට නැගුවේ,

ඉන්දික/lankaenews.com

Archive

Latest news

Related news