Saturday, May 18, 2024

වසංගත අවදානම තුළ පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවාධානමේ නොදමනු! – ජෝසප් ස්ටාලින්

පුවත්පත් නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අවදානමක් පවතින අවස්ථාවක පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවාදනමේ හෙළන සහ කෝවිඞ් 19 ව්‍යාප්තියට මග පාදන ලෙස සිසුන් හා ගුරුවරු විවධ කටයුතු සඳහා පාසල්වලට ගෙන්වීම නතර කිරීමට අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදිම කටයුතු යොදන ලෙස ඉල්ලා සිටී.

එම නිවේදනය පහත දැක්වේ.

කෝවිඞ් 19 වසංගත තත්වය පැතිර යමින් තිබියදී විවිධ කටයුතු සඳහා සිසුන් සහ ගුරුවරු පාසල්වලට ගෙන්වීම වහා නතර කළ යුතුයි

 

කෝවිඞ් 19 වෛරසය පැතිර යමින් පැවතීම හේතුකොටගෙන රජය මගින් අඛණ්ඩව ඇදිරි නීතිය පනවමින් ජනතාව ඒකරාශී වීම වැලැක්වීමට විවිධ පියවර ගෙන තිබේ. එසේම 2020.04.25 දින ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද දිවයින පුරා සියලූ පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන නැවත දැනුම් දෙන තුරු වසාදමා ඇති බව සඳහන් වේ.  එසේ තිබියදී සමහර කලාප අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු විවිධ අමතර ඉගැන්වීම්, පැලසිටුවීම් වැනි විවිධ ව්‍යාපෘති සඳහා ගුරුවරු සහ සිසුන් පාසල්වලට ගෙන්වීමට කටයුතු කරමින් තිබේ. සෞඛ්‍ය අංශ හා රජය මගින් වසංගත තත්වය පාලනය සම්බන්ධයෙන් දී ඇති උපදෙස්වලට පටහැනිව මෙසේ  විවිධාකාරයෙන් සිසුන් හා ගුරුවරු පාසල්වලට ගෙන්වීම ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමට හා වසංගත තත්වය තවදුරටත් පැතිරවීමට හේතුවිය හැකි තත්වයකි. එම තත්වය තුළ මෙවැනි කැඳවීම් වහා නතර කිරීමට පියවර ගත යුතුය.

ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ද රජයේ සහ පෞද්ගලි අංශයේ සේවකයන් සේවයට කැඳවිය  යුතු ආකාරය, පොදු ප්‍රවාහන සේවා භාවිතා කළ යුතු ආකාරය හා ජනතාව තම අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් බැහැර විය යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් කි‍්‍රයාමාර්ග ගණනාවක්  ප්‍රකාශ කර තිබියදී එම කි‍්‍රයාමාර්ගවලට ද පටහැනි ලෙස සහ එහි සඳහන් වන නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා සියලූ පාසල් විවෘත නොකිරීමේ තීරණයට ද පැටහැනි ලෙස සමහර විදුහල්පතිවරු කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කළ අතර, ඔහු පවසා සිටියේ පාසල් නැවත විවෘත කිරීමට කටයුතු යොදන තෙක් මේ ආකාරයෙන් විවිධ හේතු මත පාසල්වලට සිසුන් හා ගුරුවරු ගෙන්වීම නතර කිරීමට වහා පියවර ගන්නා බවයි.

වසංගත අවදානමක් පවතින අවස්ථාවක පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවාදනමේ හෙළන සහ කෝවිඞ් 19 ව්‍යාප්තියට මග පාදන ලෙස සිසුන් හා ගුරුවරු විවධ කටයුතු සඳහා පාසල්වලට ගෙන්වීම නතර කිරීමට අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදිම කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්

Archive

Latest news

Related news