Thursday, April 25, 2024

පොලීසිය නීතියේ පාලනයට කොකා පෙන්වීමේ භයානක පෙර නිමිත්තක්!

(Image courtesy of choice.npr.org)

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනීම සහ ඉන්පසු පොලිසීය ක්‍රියාකරමින් සිටින ආකාරය මෙරට මානව අයිතිවාසිකම් සහ නීතියේ පාලනය පිළිබඳ බියකරු පෙරනිමත්තකි.

ප්‍රශ්ණය ඔහු අත් අඩංඟුවට ගැනීම නොවේ. අත්අඩංඟුවට ගත් ආකාරය සහ අනතුරුව පොලීසිය නීතියේ පාලනය අබමල් රේණුවක් තරම් හෝ මායිම් නොකර කටයුතු කරගෙන යන හිතුවක්කාර අන්දමයි.

ඔහු අත්අඩංඟුවට ගන්නා ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ. මෙරට පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද පුද්ගලයින් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ කොතෙක් නම් කර ඇත්ද? සුදරෝලි පුවත්පතෙහි කර්තෘ වූ විද්‍යායාදරන් 2009 පෙබරවාරි මාසයෙහි පැහැර ගැනීමෙන් පසු එවකට ආක්ෂක ලේකම් වරයා වූත් අද ජනාධිපතිවරයා වන ගොා්ඨාභය රාජපක්ෂ කීවේ “ ඔහු ත්‍රස්තවාදියෙක්. ඔහු ගැන කතා කරතොත් ඔබේ අතෙත් ලේ ගෑවේවි” කියා ය. නමුත් ඔහු නිදොස් කොට නිදහස් කරන ලද්දේ කිසිදු චෝදනාවක් ගොනු කිරීමෙන් තොරවය.

එබැවින් අප බැලිය යුත්තේ පොලීසිය කියන කතා දෙස නොව ඇත්ත වශයෙන් සිදුව ඇති දේ දෙස ය.

ඔහු මෙරට ප්‍රධාන පෙළේ නීතිඥයකුව සිටියදීත් පොලීසිය ඔහුට අත්අඩංඟුවට ගන්නා කාරණය කීවේ නැත. ඔහු රදවා තබාගෙන සිට්න්නේ කුමන නීතියක් යටතේදැයි ඔහුට දැනුම් දුන්නේ ද නැත. මේ වනාහී මෙරට ව්‍යවස්ථාව විසින් ඕනෑම පුරවැසියකුට ලබා දී ඇති අනුළංඝනීය අයිතීන් ය.

ඔහු අත්අඩංඟවට ගෙන දින අටක් ගතවීමෙන් පසු මෙරට නීතිඥයින් 158 දෙනෙකු ශ්‍රී ලංකා නිතිඥ සංගමයට ලිපියක් යවමින් කියා සිටියේ එතෙකුදුත් ඔහු රදවා තබා ගැනීම සිදුවන්නේ අනීතිකව බවයි. මේතාක් ඔහු මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට පමුණුවා ද නැත. එයද නීති විරෝධීය.

වඩාත්ම තැතිගන්වන සුළු කරුණ නම්, හිස්බුල්ලා මහතාට ඔහුගේ පවුලට ඔහු හමුවීමට දී ඇති කාලය විනාඩි 15ක් පමණක් වීමයි. තවද ඔහුගේ නීතිඥයින්ට ඔහු හමුවී කතා කිරීමට අවසර දී ඇත්තේද විනාඩි 15ක් පමණක් වන අතර එම කතාබහට ද රහස් පොලීසිය සවන්දී තිබේ. මේ වනාහී ද නීතියේ නිසි පරිපාටිය දරුණු ලෙස කෙළෙසීමකි. මෙළෙස පොලිස් අත්අඩංඟුවට පත් අයකුට ස්වකීය නීතිවේදීන් සමඟ සාකච්ජා කිරිම සීමා කළ හැකි කිසිදු නීතියක් සාමාන්‍ය තත්වය යටතේ නැත.

පොලීසිය බියක් සැකක් නැතිව මෙළෙස හිජාස් හිස්බුල්ලාගේ අයිතීන් කෙළෙසන්නේ ඇයි? නීතියේ පාලනය නොසළකා කටයුතු කරන ලෙස ඔවුන්ට උපදෙස් ලැබී ඇත්ද? එවැනි කෙළෙසීම් වෙනුවෙන් කිසිදු දඩුවමක් නොලැබෙන බවට ඔවුන්ට සහතිකයක් ලැබී ඇත්ද?

මෙවැනි අත්අඩංඟුවට ගැනීම් සහ දින ගණන් නිතිවිරෝධීව රඳවා තැබීම් සිදුවුයේ යුද සමයේ දී ය. එවැනි අවස්ථාවලදීත් නීතියේ නිසි පරිපාටිය පොලීසිය විසින් අනුගමනය කළ යුතුව තිබුණි.

1980 ගණන් මුල් සමයේ සැකපිට අත්අඩංඟුවට ගත් දෙමළ තරුණ පිරිස් මුහුණ දුන් තත්වයම 1988 වන විට සිංහල තරුණ පිරිස් කරා ද පැමිණයේ ය. නීතිය හා සාමය රැකිය යුතු පොලීසියට හිතුවක්කාර ලෙස කටයුතු කිරීමට බලය දුන් විට එයට සීමාවක් නැතිව යයි.

අද නීතිඥ හිජාස් හිස්බුල්ලාට අත්වෙමින් ඇති ඉරණම ඉදිරියෙහි දී සිංහල සහ දෙමළ නීතිඥයින් කරා නොඑනු ඇතැයි සිතීමට හේතුවක් නැත. අප දැන් අත්දකිමින් සිටින්නේ නුදුරු අනාගතය පිළිබඳ පෙරහුරුවකි.

කොවිඩ් 19 විසින් ඇති කරනු ලබන සමාජ ආර්ථික ගැටළු වැඩි කල් නොයා දරුණූ තත්වයකට උත්සන්න වනු ඇති බව ආර්ථික විශේඥයෝ පෙන්වා දී තීබේ. ලංකාව වැනි රටකදී එම තත්වය වඩාත් නරක් වීමට ඇති ඉඩ වැඩි ය. එවැනි තත්වයක් විසින් මර්දනාකාරී පාලනයකට දොරවල් විවර කැරෙනු ඇති අතර අද හිජාස් හිස්බුල්ලා මුහුණ දෙන තත්වය එවිට සාමාන්‍ය බවට පත්වනවා ඇත.

මෙම වර්ධනය වන භයානක තත්වය පිළිබඳව බැරෑරැම් සාකච්ජාවක් සහ සාමූහික පියවරයන් අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසා ය.

සේ.පියවර්ධන

Archive

Latest news

Related news