Thursday, May 2, 2024

මැතිවරණය ගැන තීරණය කිරීමේදී රාජකාරියට කැඳවන නිලධාරීන්ගේ ආරක්ෂාව ගැනත් සළකන්න, වෘත්තීය සමිති 21ක් මැ.කො.ට කියයි.

මැතිවරණ කොමිෂන් සභාාවහි සභාපතිවරයා වෙත ලිපියක් යවන වෘත්තීය සමිති 21ක්  පවතින  තත්වය තුළ  මැතිවරණයක් පැවැත්වීමේදී මැතිවරණ රාජකාරිවල නිරත වන ලක්ෂ දෙකකට වැඩි රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවත් මැතිවරණ ක්‍රියාවලියේදී ජාතික හැදුනුම්පත පරීක්ෂා කිරීම හා ඇගිලිවල තීන්ත ආලේප කිරීම මැතිවරණ නිලධාරීන්ට පැවරෙන ප්‍රධාන රාජකාරියක් බවත් එබැවින්  මැතිවරණ රාජකාරිවල යෙදෙන නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම මහජනතාවගේ ඡන්ද හිමිකම පිළිබඳව තීරණ ගැනීමේදී තමන් විසින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් බරපතල අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටී.

එම ලිපිය පහත දැක්වේ:

මහින්ද දේශප්‍රිය මහතා, සභාපති, මැතිවරණ කොමිෂන් සභාව.

සභාපතිතුමනි,

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධවයි

COVID-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පැවැත්වීම ගැන යළිත් වරක් කතාබහක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව 20 වැනි දා රැස්වන බව ද ජනමාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ COVID-19 අවධානම පහව ගොස් ඇති බවක් මේ වන තෙක් සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර නොමැත. නිරෝධායනය වූ කිහිප දෙනෙකුට ද කොරෝනා ආසාධනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.   චීනයේ මෙන්ම දකුණු කොරියාවේ ද කොරෝනා ආසාධනය වී සුව වූ බවට තහවුරු කළ රෝගීන් පවා යළිත් වරක් රෝගයට ගොදුරු වී ඇති වාතාවරණයක ගෝලීය වශයෙන් පවතින මෙම වසංගත තත්වය තවමත් පහව ගොස් නැත. මෙම වාතාවරණය තුළ මැතිවරණ කොමිසම විසින් මැතිවරණය කල් දැමීමට හේතු වූ තත්වයන් තවමත් ඉවත් වී නොමැත.

මෙවැනි වාතාවරණයක  මැතිවරණයක් පැවැත්වීමේදී මැතිවරණ රාජකාරිවල නිරත වන ලක්ෂ දෙකකට වැඩි රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මැතිවරණ කොමිසමේ වගකීමකි. මැතිවරණ ක්‍රියාවලියේදී ජාතික හැදුනුම්පත පරීක්ෂා කිරීම හා ඇගිලිවල තීන්ත ආලේප කිරීම මැතිවරණ නිලධාරීන්ට පැවරෙන ප්‍රධාන රාජකාරියකි.

පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සදහා විදේ ශ ගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණි අතර, එය ඉහළ අගයක් ගත්තේය. ලංකාවේ මැතිවරණවලදී  විදේශීය නිරීක්ෂකයන්ගේ පැමිණීම ද සිදුවෙයි. ගෝලීය වසංගතයත් සමඟ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය දැමීමට ලංකාවට පැමිණීමේ අවස්ථාව සලසාදීම ද ගැටලුසහගත විය හැකි අතර, විදේශීය නිරීක්ෂකයන් ගේ පැමිණීම ද ගැටලුසහගත විය හැකිය.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ඡන්ද දායකයින් ඡන්දපොළවලට පැමිණිම සැකසහිත විය හැකිය. මහ මැතිවරණයේ දී ජනතාව කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ඒකරාශී වීම නොවැළැක්විය හැකිය. රජයේ නිලධාරීන් හට මැතිවරණය පිළිබඳව සැසි රැසක් පැවැත්වීම සාමාන්‍ය ක්‍රමය වන අතර මෙවැනි වාතාවරණයක එලෙස සිදු කිරීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකිය.

විශේෂයෙන්ම මහ මැතිවරණය ගැන අවධානය යොමු කරමින් කටයුතු කරද්දී කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අවධානය අඩුවීම තුළින් කොරියාවේ සහ චීනයේ මෙන් යළිත් වරක් වසංගත තත්ත්වය ඉහළට මතුවීමේ අවධානම සෞඛ්‍ය අංශ මගින් ප්‍රතික්ෂේප කර නැත.

මේ තත්වය තුළ මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන රාජ්‍ය අංශයේ සේවකයින් නියෝජනය කරන අප වාත්තීය සමිති පැහැදිලිව ඉල්ලා සිටින්නේ මැතිවරණ රාජකාරිවල යෙදෙන නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම මහජනතාවගේ ඡන්ද හිමිකම පිළිබඳව තීරණ ගැනීමේදී අප ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් බරපතල අවධානයක් යොමු කරන ලෙසයි.

මෙයට,

  • ලංකා ගුරු සංගමය
  • සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය
  • ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
  • පළාත් කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය
  • ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
  • දුම්රිය ඒකාබද්ධ පෙරමුණ
  • තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය
  • රජයේ කර්මාන්තශාලා සේවක සංගමය
  • එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
  • එක්සත් තැපැල් හා විදුල් සංදේශ සේවක සංගමය
  • ශී‍්‍ර ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය
  • ලංකා වාත්තීය සමිති සම්මේලනය
  • රජයේ ආහාර නිරීක්ෂිකා සංගමය
  • එක්සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ සංගමය
  • ජාතික නිදහස් වෘත්තීය සමිති සම්මේලනය
  • වාරිමාර්ග පොදු සේවක සංගමය
  • ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය
  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තීය සමිතිය
  • දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව
  • දුම්රිය සේවක සංගමය
  • දුම්රිය කම්කරු එකතුව

Archive

Latest news

Related news