Friday, April 19, 2024

වසංගතය මැද හදිසි මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදයට ‌ගැලපෙන්නේ නැහැ – මැතිවරණ නිරීක්ෂන සංවිධාන

එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි, මෙහි පහත අස්සන් කොට ඇති මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී.

ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි ආසන්නතම හා සුදුසුම පියවර වූ, මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද ක්‍ෂණික පියවර ද අපගේ නිසි ඇගයීමට ලක්වන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවමින් සිදුවිය හැකිව තිබූ බලවත් හානියක් වැලැක්වීමෙහිලා ගත් කාලීන පියවර උදෙසා ගරු  ජනාධිපතිවරයා ද  අපගේ ප්‍රශංසාවට ලක්වන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

එහිලා මැතිවරණ කොමිෂන් සභාව ගරු ජනාධිපතිවරයාගේ අවධානය අපේක්ෂා කරමින් ජනාධිපති ලේකම්වරයා වෙත අවස්ථා දෙකකදී යැවූ ලිපිද, ඊට ප්‍රතිචාර ලෙස අදාළ ලේකම්වරයා යොමුකරන ලද ලිපිය කෙරෙහිද වෙසෙස් අවධානයක් යොමුකොට ඇතිබව අවධාරණය කල යුතුය.

එකී ලිපි මගින් මතුකොට ඇති ව්‍යවස්ථාපිත හා නීතිමය ප්‍රතිපාදන පුනරුච්චාරණය කිරීම හෝ එකී විවාදයට දායක වීම මෙම ඒකාබද්ධ නිවේදනයේ අභිලාශය නොවේ. නිරීක්ෂණ සංවිධාන ලෙස අප සාමූහිකව අවධාරණය කිරීමට අභිමත මූලික කරුණ වන්නේ ජාතික ආපදාවක් අභිමුව,ව්‍යවස්ථාමය අර්බුදයක් කරා යොමුවීමට ඇති අවම ඉඩකඩ පවා දුරුකොට, දුර්මත විරහිත සමාජ දේශපාලන පසුබිමක් ගොඩනැංවීම ඒ ඒ ව්‍යවස්ථාපිත ආයතන මෙන්ම මෙරටේ දේශපාලන පක්ෂ හා දේශපාලන පක්ෂ නායකයන් සතු අත්හළ නොහැකි වගකීමක් හා යුතුකමක් බවයි.

අනපේක්ෂිත එහෙත් අතිශය බිහිසුණු කොවිඩ් -19 වෛරස් රෝගය මගින් ජනිත කොට ඇති දුර්විපාක මගින් බලවත් හානියක් සිදුකොට ඇති එක් ක්ෂේත්‍රයක් වන්නේ මැතිවරණ ක්‍රියාවලියයි. නිසිකලට පැවැත්විය යුතුව පැවති ලෝක මට්ටමේ මැතිවරණ තිහක් (30) පමණ අදවන විට අවිනිශ්චිත අවසානයක් කරා යොමුකොට ඇත්තේ මෙකී ව්‍යසනයයි. ඒ අනුව අප පොදු නිරීක්ෂණ වන්නේ මෙරටේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති පසුබිමක විධායකය සතු කාර්යභාරය අතිශය තීව්‍ර බවයි.

විධායකය අවශ්‍යයෙන්ම ඉටුකළ යුතුව පවත්නා ව්‍යවස්ථාපිත කාර්යභාරය අසීමිතය. ඊට ද  අමතර වශයෙන්, පාර්ලිමේන්තු මහා මැතිවරණය කැඳවීම යනු විධායකය හා මැතිවරණ කොමිෂන් සභාව දැඩි  මතභේදාත්මක පසුබිමක් තුළ සිදුනොකළ යුතු කර්තව්‍යයකි.හදිසියේ මතුව ඇති මෙකී ගැටලු සහගත පසුබිම දැඩි විචාරශීලි මානයක් ඔස්සේ විසඳා ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇත්තේය.  කොවිඩ් -19 විසින් නිර්මිත ජාතික ආපදාව යනු සියලු රටවැසියන් හට සාමූහික හැඟීමෙන් ක්‍රියා කළ හැකි ස්වර්ණමය අවස්ථාවකි. එවන් දුලබ වරමක් අසංවේදී රාජ්‍යකරණ භාවිතාවන් අත්හදා බැලීම මගින් අහිමි කර නොගැනීමට තරම් දුරදර්ශී දැක්මක් අදාළ පාර්ශව සතුව ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු.

මැතිවරණය කල්දමා ඇති පසුබිමක වුවද, බලාත්මකව ඇති නාම යෝජනා පත්‍ර තුළ නම් සඳහන් බොහෝ අපේක්ෂකයන් මෙම සංවේදී කාල සමය අතරතුරදී පවා තම අපේක්‍ෂකත්වය ප්‍රවර්ධනය කරගන්නා ආකාරයේ ප්‍රචාරක කාර්යයන්හි නිරත වන අයුරු අපි දිගින් දිගටම නිරීක්ෂණ කරමින් සිටින්නෙමු. තවද ඊට සමගාමීව නිසි ක්‍රියාමාර්ග ගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව සතුව පවත්නා සීමාකම් කෙරෙහි ද අප ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන්නෙමු.

මේ වනවිටත් අප සහෝදර ජනප්‍රජාවේ විශාල පිරිසක් පිළිසරණක් අවැසි ම මොහොතක කල් ගෙවන අතර අදාළ සහන සේවා සැළසීම සඳහා නිශ්චිත රජයේ යන්ත්‍රණයක් ද ක්‍රියාත්මකය. එහිලා ඕනෑම අපේක්‍ෂකයෙකු හට එකී යාන්ත්‍රණය හා එක්ව ප්‍රචාරාත්මක අභිලාශයකින් තොරව සහන ක්‍රියාවලියට දායක වීමට බාධාවක් නැත. එකී කරුණු නොසලකා දැඩි මානව දයාවකින් සිදුකළ යුතු කර්තව්‍යයක් පවා දේශපාලනීකරණයට ලක් කිරීමට උත්සුක වන අපේක්ෂකයන් පාලනය කිරීම සඳහා  දේශපාලන පක්ෂ නායකයන් පෙරට පැමිණිය යුතුව ඇත.

මෙවන් තීරණාත්මක සමයක මැතිවරණය පැවැත්වීමේදී සැලකිල්ලට ලක් කළ යුතු තීරක සාධකය වන්නේ නීතිමය ප්‍රතිපදාන ම පමණක් නොවේ. සෞඛ්‍ය බලධාරීන්ගේ නිරීක්ෂණ හා නිගමන කෙරෙහිද ප්‍රමාණවත් අවධානයක් යොමුකළ යුතුව ඇත්තේය.

ඒ අනුව අප පොදු නිගමනය වන්නේ පාර්ලිමේන්තු  මහා මැතිවරණයට අදාළ දිනය නියම කරගැනීම සඳහා,වත්මන් ජාතික ආපදාමය තත්වය කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ හා අනෙක් අදාළ සෞඛ්‍ය අංශ මගින් ප්‍රමාණවත් තහවුරු කරගැනීමක් අවශ්‍ය බවයි.

මෙරටේ එකදු ඡන්දදායකයෙක් හෝ ඊට අනුගත කිසිදු නිලධරයෙක් අවදානමකට ලක් නොවනු ඇතැයි ලෙසින් වන තහවුරුකිරීමක් ඔස්සේ මැතිවරණය සඳහා දින වකවානු නිශ්චය කිරීම මෙහිලා වඩාත් උචිතය. මැතිවරණයක් පැවැත්වීම යනු නිරන්තර මහජන ක්‍රියාකාරීත්වය හා අන්තර්ක්‍රියා සහිත එකක් බව මෙහිලා නැවත නැවතත් සඳහන් කිරීම අවශ්‍ය නොවන බව අපගේ අදහසයි.

එහිදී අපේක්ෂකයන් හට තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මැතිවරණ නීති හා සමගාමීව උපරිම අයුරින් සිදුකරගැනීමේ නිසි අවස්ථාවක් හා ප්‍රමාණවත් ප්‍රචාරක කාල සීමාවක් සම්පාදනය කිරීම මැතිවරණ කොමිෂන් සභාව සතු වගකීමකි. පුරවැසියන් හට තමන් අභිමත අයුරින් මැතිවරණය හා සබැඳි ක්‍රියාකාරකම්වල නියැලීමේ පූර්ණ අයිතිය තහවුරුව පැවතිය යුතුබව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

තවද මැතිවරණය පැවැත්වීම සඳහා කවරාකාරයේ  තීරණයක් ගන්නේ වුවද ඊට සමාන්තරව රටේ ජනජීවිතය නිසිපරිදි යථා තත්වයට පත්ව තිබීම පූර්ව කොන්දේසියක් සේ සලකන ලෙස ද අදාළ පාර්ශවයන් වෙතින් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. සමාජ දුරස්ථකරණය මෙන්ම ඡන්දහිමියන් වරින්වර නිවෙස්තුළට සීමාකිරීමේ දුෂ්කර වාතාවරණයක පැවැත්වෙන මැතිවරණයකින් අපේක්ෂිත ප්‍රථිපලය නොලැබෙන බව අවිවාදාත්මක කරුණකි.

තවද එවන් උපදේශාත්මක මැදිහත්වීමක් සිදුකිරීමේදී අදාළ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සෞඛ්‍ය අංශ ඇතුලු අනෙක් පාර්ශව අගති විරහිතව ක්‍රියා කරනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරන්නෙමු. රටක ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තහවුරු වනුයේ නිසි කල පවත්වන මැතිවරණ මගින් පමණක් නොව එරටේ සියලු සුදුසුකම්ලත් ඡන්දහිමියන්ගේ පුර්ණ සහභාගීත්වය ද මුසු කරගැනීමට සමත් කාල සමයක පවත්වන මැතිවරණ මගින් බවද අවධාරණය කොට සිටින්නෙමු.

අස්සන් කළේ:

රෝහණ හෙට්ටිආරච්චි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (PAFFREL),

මංජුල ගජනායක, ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය  (CMEV),

අසෝක ඔබේසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්  ආයතනය (TISL)

මකීන් මනාස්,  විධායක අධ්‍යක්ෂ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය  – (CaFFE)

රසංග හරිස්චන්ද්‍ර, විධායක අධ්‍යක්ෂ, ජාතික සංවිධායක, ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය –  (NPOC)

ප්‍රබෝධ රත්නායක, සම්බන්ධීකාරක, නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය,  (MFFE)

පද්මිණි වීරසුරිය, සම්බන්ධීකාරිණි, ලක්බිමේ මවුවරු සහ දියණියෝ –  (MDL)

Archive

Latest news

Related news