Sunday, July 21, 2024

ට්‍රම්ප්ගේ ප්‍රහාරය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස්ට අප්‍රිකාව සහාය පළ කරයි.

Image: Dr Tedros Adhanom Ghebreyesus © sunanda deshapriya .

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත් කොවිඩ් 19 වසංගතය පිළිබඳව වැරදි උපදෙස් නිකුත් කළ බවට පසුගිය අඟහරුවාදා චෝදනා කළ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර කපා හරින බවට තර්ජනය කළේ ය.

2020 නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී පහර දීම සදහා සතුරන් ට්‍රම්ප් සොයමින් සිටින ට්‍රම්ප් විසින් ටෙඩ්‍රොස් ගොදුරක් ලෙස යොදා ගැනෙනු ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය පූරෝකථනය කරයි.

වසංගතය ඇමෙරිකාවෙහි මුවවිටටම පැමිණ තිබියදීත් ආරක්ෂිත පියවර ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් කියා සිටියේ එය ගණනකට ගත යුතු නැති බවයි. ඇමෙරිකානු මාධ්‍ය විසින් පෙන්වා දී ඇති පරිදි 2019 නොවැම්බර් මාසයේ දීම චීනයේ වසංගතයක් පැතිර යමින් ඇති බවටත් එය ඇමෙරිකාව කරා පැමිනිය හැකි බවටත් එරට බුද්ධි අංශ විසින් වාර්තා කර තිබේ. එනමුත් ජනාධිපති ට්‍රම්ප් ඒම වාර්තා ගණන් ගෙන නැත.

ට්‍රම්ප් විසින් ටෙඩ්‍රොස්ට කළ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් අප්‍රිකානු සංගමයේ මුලසුන හොබවන දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ඊට පසුදාම එනම් බදාදා රෑ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් “පෙර නොවූ විරූ ගෝලීය සෞඛ්‍ය අර්බුදයේ මුල් අවධියේ සිටම සුවිශේෂී නායකත්වයක් පෙන්නුම් කර ඇති” බවයි.

මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ප්‍රයත්නයන් මෙහෙයවන බැවින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සහ සමස්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ උත්සාහයන්ට සහයෝගය දැක්වීමට අත්වැල් බැඳ ගන්නා ලෙස ද අප්‍රිකානු සංගමය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිට තිබේ.

ට්විටර් පණිවඩයක් මගින් රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාම් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට “අප්‍රිකාවේ පූර්ණ විශ්වාසය හා සහයෝගය ඇති” බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඊයේ පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී, කොරොන වයිරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය සහයෝගීතාව සඳහා කරන ආයාචනා කරමින් එක්සත්කම ඉල්ලා සිටියේ ද ඩොනල්ට් ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාරයක් වශයෙනි.

කොවිඩ්-19 යනු නව වයිරසයකි. එහි හැසිරීම තවමත් හඳුනාගෙන නොමැත. මාර්ගෝපදේශ නිකුත් කිරීම, සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීම සහ වෙනත් විසඳුම් ලබා දීම සඳහා WHO දිවා රෑ වැඩ කර ඇතත්, සිය ප්‍රයත්නයන්හි ශක්තීන් සහ දුර්වලතා නිරන්තරයෙන් තක්සේරු කළ බවත් පිළිගත්තේය. “අපගේ වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යාමට අපට අවශ්‍ය,යැයි ඔහු එහිදී කියා සිටියේ ය.

පසුගිය දිනවල තමන්ට වර්ගවාදී ප්‍රකාශ සහ මරණ තර්ජන එල්ල වූ බව මෙහිදී ඔහු ප්‍රථම වරට හෙළිදරව් කළේ ය.

මෙම ප්‍රහාර මා ගණන් ගන්නේ නැහැ. ඊට වඩා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම කෙරෙහි ඇත්ත අවධානයක් යොමු කිරීමට මම කැමැත්තෙමි,” යැයි ඔහු පැවසූ ඔහු “මිනිසුන් මිය යන අතරවාරයක දී පුද්ගලික පහර දීම් ගැන මා සැලකිලිමත් විය යුත්තේ ඇයි?” දැයි අසා සිටියේ ය.

මම තනි පුද්ගලයෙක්. ටෙඩ්‍රොස් යනු විශ්වයේ තිතක් පමණයි.” යැයි කි ඔහු වයිරසය දේශපාලනීකරණය වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේ එය තවත් මරණයන්ට හේතු වියහැකි බව පවසමිනි.

ඔබට බොඩි බෑග් (මෘතදේහ බහාලන බැග්) දැකීමට අකමැත්තේ නම් වයිරසය දේශපාලනීකරණය කිරීමෙන් වළකින්න.” යනු ඔහුගේ හෘදයංගම ආයාචනය යි.

(රොයිටර් පුවත් ද ඇසුරෙනි.)

Archive

Latest news

Related news