Saturday, April 27, 2024

ඒකාධිපති ප්‍රවණතාවය සහ පාර්ලිමේන්තුවක් නැතිකමින් ශ්‍රී ලංකාව මුහුණ දෙන අනතුර – රංජිත් හේනායකආරච්චි.

වත්මන් කොරොන වසංගත අවධිය ඒකාධිපතියන් සහ දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් තම අරමුණු කරා යාමට, එනම් තමන්ගේ ආධිපත්‍යය ස්ථාපිත කර ගැනීම සඳහා වමනා කරන බලය තමා අතට ගැනීම සඳහා මාර්ගයක් කර ගැනීමට කුරුමානම් අල්ලනු ලොව පුරාම දකින්නට තිබේ.

[title]ලිහිල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තද පාලනයක්[/title]

ලෝකය පුරා අතීතයේ සිටම මෙවැනි අර්බුද මතුවූ අවස්ථාවන්හිදී, අර්බුදයේ ඇති සංකීර්ණ බව නිසා එයට විසඳුම් සෙවීමේ මාර්ග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැනි “ලිහිල් ක්‍රමයක්” තුළ ක්‍රියාත්මක කල නොහැකි බව ඒකාධිපතියන්වීමට ඉව අල්ලන් අතර ජනප්‍රිය මතයක් විය. වසංගත පාලනය කිරීම සඳහා අධිකාරිවාදී පාලනයක් අවශ්‍ය බවත්, අධිකාරිවාදය තුළින් ජනතාව හික්මවිය හැකි බවත්, (ඔවුනට අනුව පොදු ජනයා හීලෑකලයුතු සත්ව රෑළකි) ඔවුන්ගේ තවත් ජනප්‍රිය අදහසකි. මේ සියල්ල තුළින් ඔවුන් කැස කවන්නේ රටවල් තුල ජනයා දිනාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කර 19 වන සියවස අගබාගය කරා ආපස්සට රටවල් ඇදදමා, සමාජය යටපත් කර, අධිපතිවාදී ක්‍රමයක් තුළ සමස්ත සමාජය නැවත නතුකර ගැනීමටයි.

ලංකාවේ මේ වන විට කොවිඩ් මර්දන සියලු කාර්යයන් වාගේ කරගෙන යනු ලබන්නේ හමුදා නායකත්වයක් තුළිනි. මෙම ගමන තවත් තීව්‍ර කිරීමට මේ වන විට සමාජයේ විවිධ බලවේග තවත් කලකට අප රටට පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැති බව කියති. පසුගිය දිනක අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි විසින් කළ ප්‍රකාශයකින් කියැවුණේ, තව අවුරුදු තුනකට පාර්ලිමේන්තු මැතිවරණයක් රටට අනවශ්‍ය බවයි. ඒ වගේම රාජපක්ෂ හිතවතුන් සහ පොහොට්ටු පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් තවත් කලකට පාර්ලිමේන්තු මැතිවරණයක් අනවශ්‍ය බවත්, පලාත් සහ දිස්ත්‍රික් නායකත්වයට හමුදා නිළධාරීන් පත්කර ජනාධිපති යටතේ රට කරගෙන යා යුතු බවත් පවසයි. ලියයි. මෙයින් ඔවුන් අදහස් කරනුයේ පාර්ලිමේන්තුව වෙනුවට, එනම් මහජනයාගේ නියෝජිතයින් වෙනුවට රජයේ හමුදා මුල්කරගත් අධිකාරිවාදී පාලනයක් වෙත රට ගමන් කලයුතු බවයි.

[title]රජු සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය[/title]

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය ඇතිවීමට පෙර රාජ්‍යයන් පැවතුනේ රටක රජ කෙනෙක්, ඔහුගේ ඇමතිවරු සහ හමුදා විසින් රට පාලනය කිරීමයි. එම ක්‍රමයේ තිබූ අත්තනෝමතික, ඒකාධිපති ක්‍රමයට එරෙහිව නැගී සිටි ජනයාගේ සහභාගීත්වය තුළින් ඇති කරගන්නා ලැබූ රාජ්‍ය ක්‍රමය වූයේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයයි. ජනතාවගේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය තුළින් කරනු ලබන්නේ රටක රාජ්‍ය පාලනය කිරීමට තෝරාගන්නා දේශපාලන නායකත්වය, නැතිනම් ආණ්ඩුව රටේ ජනතාවගේ උවමනාවන් නියෝජනය කරන නියෝජිතයින් තුළින් පාලනය කිරීමයි.

මෙසේ තෝරාගත් මහජන නියෝජිතයින්ගේ පාලනය රටකට අවශ්‍ය වන්නේ ඇයි?

අප හොඳින්ම දන්නා පරිදි රාජ්‍ය යනු රටක ඇති ඉහළම ආධිපත්‍යය සතු ආයතනයයි. ඒ වගේම එම ආයතනයට ආධිපත්‍යයේ පූර් ඒකාධිකාරයද හිමිවේ. එසේ නම් රාජ්‍ය යනු පුර්ණ ආධිපත්‍ය සහිත මෙවමකි. මෙම පූර්ණ ආධිපත්‍ය සහිත මෙවම රටක පාලනයට අවශ්‍ය වෙනවා මෙන්ම, එහි ඇති ආධිපත්‍ය ස්වරූපය තුලනය කර ගැනීමද අත්‍යාවශ්‍ය. ජනතාවගේ උවමනාවන් නියෝජනය කරන නියෝජිතයින්ගේ ආණ්ඩුවක් (පාලකයින්) ඉටුකරන්නේ ඒ අවශ්‍යතාවයයි. එතුළින් සිදුවන්නේ ‍ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් ර තුළ ක්‍රියාත්මක වීමයි.

දැන් අපි යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපතියන්ට හෝ පැසිස්ට් නායකයින්ට නැත්නම් යම්කිසි ජනප්‍රියවාදීන් කොටසකට හිමි වනවා යයි සිතමු. පෙර කී පරිදි රටක රාජ්‍ය යනු සියල්ලට ඉහළින් ආධිපත්‍ය හිමි ආයතනයයි. එම ආයතනය ස්වභාවයෙන්ම ආධිපත්‍යවාදීය.

[title]පාර්ලිමේන්තුව වැදගත් ඇයි?[/title]

එවැනි ආධිපත්‍යවාදී රාජ්‍ය යන්ත්‍රයක් ඒකාධිපතියන් ට හිමි වූ විට සිදුවන්නේ ආධිපත්‍යවාදී යන්ත්‍රය ඒකාධිපති උවමනාවන් සඳහා ක්‍රියාවට නැගීමයි. එවිට සිදුවන්නේ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් රාජ්‍ය ක්‍රියාත්මක වනවා වෙනුවට අත්තනෝමතික ඒකාධිපති ක්‍රියාදාමයකට රට යටත් වී පාලකයින්ගේ උවමනාවන් සඳහා ජනතාව පෙළීමේ තත්ත්වයක් උද්ගත වීමයි. ‍ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන, නිදහස ප්‍රිය කරන මිනිසුන් සිටින රටකට නියෝජිත පාර්ලිමේන්තුව වැදගත්ම ආයතනයක් වන්නේ එනිසා ය.

සමහරවිට එය ඉතා දුර්වල, ලංකාවේ පාර්ලිමේන්තුව සහ එහි නියෝජිතයන් වැනි, එකක් විය හැක. නමුත් ඉතා දුර්වල නියෝජිත පාර්ලිමේන්තුවක් පවා, ඒකාධිපති පාලකයින්ට හෝ ඒකාධිපතිවාදි පාලනයකට වඩා ප්‍රගතිශීලී ය. මොනයම්ම තත්ත්වයක නියෝජිත පාර්ලිමේන්තුවකට වුවද රටක ප්‍රශ්න විසඳා ගැනීමේදී, ඒවාට අවම වයෙන් හෝ මැදිහත් වී ක්‍රියාත්මක වීමේ අයිතිය සතුව ඇත.

[title]ජර්මනියේ වැඩ කැරෙන හැටි[/title]

මා ජීවත් වන ජර්මනිය වැනි රටක නම් රටේ සියලුම වැදගත් කාර්යය සිදුවන්නේ පාර්ලිමේන්තුවේ තීරණයන්ට යටත්ව ය. රටේ හමුදාව යම්කිසි කාර්යයකට යොදවනවා නම් එසේ යෙදවීමට ප්‍රථමව නියෝජිත පාර්ලිමේන්තුවෙන් අවසර ලබාගත යුතුය. බොහෝ රටවල්හි එසේ නොවුණා වුවත් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වනවා නම් රටවල නායකයින්ට හිතුවක්කාරී ලෙස ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ ඇහිරේ. ඒ අඩුම තරමින් පාර්ලිමේන්තුවේ බලය හිමි පකෂයේ රජයට වුවත් විරුද්ධ පක්ෂ වලින් සහ එහි සිටින ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයින්ගෙන් ඔවුන් කරන අත්තනෝමතික වැඩවලදි විරෝතා ඉදිරිපත් වන බැවිනි. මෙසේ ගත් කල යම්කිසි රටක නායකයින් පාර්ලිමේන්තුව බල විරහිත කරනවා නම් ඒ තුළින් දකින්නට ලැබෙන්නේ ඔවුන්ගේ ඒකාධිපති වියරුව උත්සන්න වී ඇති බවයි.

ලෝකයේ මෑත ඉතිහාසයේ හමුදා ආණ්ඩු හෝ බලය අනිසි ආකාරයෙන් ඒකාධිපතිවාදය දෙසට යොමුකර වූ රටවල් තුළ සෑම විටම ඔවුන් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ බලය අඩු කර දැමීම හෝ නැතිකර දැමීමයි. හමුදා ආණ්ඩු ගැසීමේදී ලෝකය පුරා සිදුවූයේ මෙසේ පාර්ලිමේන්තු බලවිරහිත කිරීමයි.

ලෝකයේ අර්බුදයන් ඇති වන බොහෝ අවස්ථාවල එම අර්බුදය තුල ඇති කලබලකාරීබව ප්‍රයෝජනයට ගනිමින් දක්ෂිනාන්ශික ජනප්‍රියවාදීන් රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව ආදී වදන් ඉදිරියට දමමින් ප්‍රජාතන්ත්‍රවදී බලව්‍යුහයන් බිඳදමා තම ඒකාධිපතිවාදී මනදොල පුරවා ගැනීමට තනති.

[title]ඇදිරි නීතියේ දේශපාලනය[/title]

උදාහරණයකට ලංකාවේ ඇඳිරි නීතිය ගත හැක. ඇඳිරි නීතිය දැමීමට හේතුව ලෙස ලංකා රජය හේතු කරගන්නේ කොරෝනා වෛරසය පැතිරීම වලක්වා ගැනීම හුවා දැක්වීමය. ඇඳිරි නීතිය දැමීම තුළ රටෙහි මිනිස්සුන්ට නිදහසේ හැසිරීමට ඇති අයිතිය වලා දැමේ. කොරෝනා වෛරසය ආරම්භ වූ අවස්ථාවේ දී රටට පැමිණෙන පුද්ගලයින් වෙන්කිරීමේ වැඩපිළිවෙලකට යනවා වෙනුවට ආණ්ඩුව ඇඳිරි නීතිය පැනෙව්වේ ය.

නමුත් කළ යුතුව තිබුණේ ලෝකයේ බොහෝ රටවල් ක්‍රියාත්මක කළාක් මෙන් පුද්ගලයින්ට නිදහසේ හැසිරීමට තිබූ අයිතිය සම්පූර්ණයෙන් යටපත් නොකර අත්‍යාවශ්‍ය වෙළඳ පොළවල් විවෘත කිරීමට ඉඩ තබමින්, තනි තනි පුද්ගලයන්ට මේවාට ගොස් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි තත්ත්වයක් ඇති කිරීමයි. එසේ නොකිරීම නිසා මිනිසුන් තුළ හටගත් බිය, කුසගින්නේ මිය යාමට සිදුවේය යන බිය, ඇතිවී ඇඳිරි නීතිය ලිහිල් කල සෑම මොහොතකම මිනිසුන් පොරකමින් භාණ්ඩ මිලදී ගන්නා තත්ත්වයක් ඇතිවිය.

ඒ වගේම ඇඳිරි නීතිය දැමීම සමගම හමුදාවන් රටෙහි පාලනය, නිල වයෙන් හෝ නිල නොවන ආකාරයෙන් පැවරීම තුළ සිදුවූයේ ද එම බිය තවත් තහවුරු කිරීමකි.

රාජ්‍ය පාලකයින් ප්‍රශ්නය ආරම්භයේම ඇඳිරි නීතිය දැමීම සහ හමුදාවන්ට රටෙහි ප්‍රධාන වැඩ කොටස් භාර දීම තුලින් පෙන්නුම් කරනු ලබන්නේ ඔවුන්ට අර්බුදයකට විසඳුම් සෙවීමේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් නැති බවත් ඔවුන් දන්නා එකම ආකාරය යුද්ධයකදී මෙන් ඇදිරි නීතිය දමා හමුදාව අතට පාලනය ගැනීම පමණක් බවත්.

මෙම ඇඳිරි නීතිය දැමීමට සහ හමුදාවන්ට පාලනයේ ප්‍රධාන කොටස භාරදීම සාධාරණීකරණය කිරීමට ඔවුන් ගෙනෙන තර්කය වන්නේ ලංකාවේ මිනිස්සුන්ට සංයමයක් නැති බවත් ඔවුන්ව මෙවැනි තද පාලනයකට යටත් නොකර ඔවුන් හැසිරවිය නොහැකි යැයි කීමය. අප මොහොතකට මෙම කියමන දෙස බලමු.

[title]ඇදිරි නීතිය නැතිව බැරිද?[/title]

ඕනෑම තත්ත්වයක් තුළ මිනිසුන් එකවර පූර්ණ සංයමයට පත් නොවේ. රටක නායකයින් කළ යුතු වන්නේ, රජයක් විසින් කළ යුතු වන්නේ, ඔවුනට තේරුම් ගත හැකි ආකාරයෙන් ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම තේරුම් කර දීමයි. ඒ සඳහා රටේ ඇති මාධ්‍යයන් ප්‍රයෝජනයට ගැනීමයි. ඒ අතර ම රටක නීතිය සහ සාමය පවත්වාගෙන යආයතනය වන්නේ පොලිසිය. තත්වය ඉතා හොඳින් පැහැදිලි කිරීමෙන් තුළ පැනවූ සීමාවන් අනුගමනය නොකර අනිසි අයුරින් හැසිරෙන අය අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන්ට අවවාද කිරීමේ කාර්යය සඳහා පොලීසිය යෙදවිය යුතුවා මිස එය කිසිසේත්ම හමුදාවට බාරදිය යුතු කාර්යයක් නොවේ. බොහෝ විට ඇඳිරිනීතිය නොදැම්මා නම්, මිනිස්සුන්ගේ හැසිරීම්වලට සීමාවල් දමා අ්‍යාවශ්‍ය වෙළෙඳපොළ විවෘත තැබුවා නම් මිනිසුන්දසදහසක් තරම් ඇදිරිනීතිය කඩ කර අද අත්අඩංගුවට පත් නෙවීමට බොහෝ විට ඉඩ තිබුණි. ඒ් කඩවල කෑම නැතිවේය යන බිය එවිට ඔවුන් තුල ඇති නොවන බැවිනි. මෙම කාරණයේ දී හමුදා යෙදවිය යුතු වන්නේ භාණ්ඩ බෙදාහැරීම, ගමනාගමන පහසුකම් සැපයීම වැනි අවශේෙෂ කාරණාවන් සඳහා ය.

රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට අතියින් වැදගත් වන නියෝජිත පාර්ලිමේන්තුව මෙරට ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරියේ රට අර්බුදයක ගිලී තිබූ මොහොතකයි. ඉන්පසු රට පවතින්නේ නියෝජිත පාර්ලිමේන්තුවනැති හිතුවක්කාරී පාලන බලයකට යටත්වයි. මේ තුළ පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ සූක්ෂම ආකාරයෙන් ආධිපත්‍යවාදී, නැත්නම් ඒකාධිපතිවාදී හෝ හමුදා පාලනයකට රට යටත් කිරීමට සූදානම් වීමකි.

ඒකාධිපතියන් සහ ජනප්‍රියවාදීන් හැමවිටම පහරදෙන්නේ රටක ඇති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්ටයි. එපමනක් නොව ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදයට පහර දෙනවා මෙන්ම රටෙහි ඇති විවිධත්වයට නැතිනම් විවිධත්වය පවත්වාගැනීමට ගොඩනගා ඇති ව්‍යුහයට ද පහර දෙති. රටක ඇති බහුබව ඔවුන් පිලිනොනී. විවිධත්වය වෙනුවට එක ආයතනයක්, හමුදාව, සහ ආගමක් ආයෝජනය කරනු ලබයි. පැහැදිලිවම එතුල වැළලීයන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

[title]පාර්ලිමේන්තුව නොකැඳවීමේ වරද[/title]

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීම කල් දමා ගින් දිගටම මේ තත්ත්වය පවත්වාගෙන යාම ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වනවා පමණක් නොව එය වගකීමෙන් තොරටෙහි අනාගතය කිසිම ආකාරයෙන් නොසිතා ක්‍රියා කිරීමකි. මොහොතකට අපි මේ පවතින තත්ත්වය තුළ ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය අසාදන වූවා යැයි කල්පිතයක් ලෙස සිතමු. එසේ වීමටත් නොවීමටත් ඉඩ ඇත. ඔහුද මිනිසෙකි. එංගලන්තයේ අගමැතිවරයාට ද මෙම රෝගය ආසාදනයවී රෝහල්ගතව සිටී. නමුත් එංගලන්තයේ ඔහු අසනීප වූවාට ඔහු මියගියා වුවත් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව රට එතනින් එහාට කරගෙන යෑමේ වගකීම දරයි. නමුත් යම් ආකාරයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර හමුදාවන් වලට යම් යම් වගකීම් භාර දී හමුදා නිලධාරීන් රජයේ ඉහල තැන් වලට පත් කර ඇති මෙවැනි අවස්ථාවක යම් ආකාරයකින් ඔහු ඔත්පල වූ හෝ මියගියහොත් රටට ඇතිවෙන තත්ත්වය කුමක්ද? මෙවැනි පාර්ලිමේන්තුවක් නැති තත්වයකදී රටෙහි ආයතනයන් වග කියන්නේ කාට ද?

මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොතකා හැරීමක් පමණක් නොව රට පිළිබඳව වගකීමකින් තොර හිතුවක්කාරී මහන්තත්ත ක්‍රියාවකි. එනිසා අද සියලු ප්‍රජාතන්ත්‍රවාදී රටවැසියන්ගේ වගකීම නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනාධිපති වරයාට බලකර සිටීමයි. එය රටවැසියාගේ සාධාර අයිතියකි. මෙවැනි ප්‍රශ්න උද්ගත වී ඇති අවස්ථාවක තිබූ තත්ත්වයන් නොසලකා ඔහු නිකුත් කළ ගැසට්ටුව ආපසු ගැනීම කළ නොහැකි කාරණයක් නොවේ. එසේ නොකිරීම මගින් ඊට වඩා බරපතල අනතුරකට රටට කැඳවනු ඇත.

මෙය වර්ධනය විසින් සංවර්ධනය රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරි කාලයේ විශාල අර්බුදයකට රට ගොදුරු කරනු ඇති බව නම් පැහැදිලිය. මේ යන ගමන සහ මෙම ක්‍රියාදාමය ‍ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට සම්පූර්ණයෙන්ම පටහැනි ය.

 

 

Archive

Latest news

Related news