Sunday, May 5, 2024

රටේ දේශපාලන බෙදීම දේශ මාමක බලවේගය සහ උපන් ගෙයි දේශද්‍රෝහීන් අතරයි – අගමැති රාජපක්ෂ

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අපි දැන් සිටින්නේ 21 වැනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඬුවම් සිහිගන්වමින්, කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහංචියම පනවා තිබේ. මෙහි ඇති සාධාරණය කුමක් දැයි ජනතාව තීන්දු කළ යුතුය. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කළද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීති ප‍්‍රකාරව වැරදිකරුවකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබූවෙකු වුවද නිර්දෝෂී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ‍්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.

වෙනත් රටවලට අපගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය. මේ යෝජනාවේ පළමු ක‍්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි. මෙකී වාර්තාව ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත්කොට තිබූ නිල නොවන ත‍්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි. ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශ්ව විසින් එල්ල කළ සියලූම පදනම් විරහිත චෝදනා, .ජා.දෙමළ ජාතික සන්ධාන.වි.පෙ යහපාලන හවුල පිළිගෙන ඇත. 30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අපේ ආණ්ඩුව තීරණය කර ඇත.

අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යතන යුරෝපයේ සාමූහික දඬුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහංචියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත. .ජා.පයේ ලක්ෂ්මන් කිරිඇල්ල මංත්‍රීවරයා, මේ ගමන් තහංචිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා, තම පක්ෂය 2015 දී කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් ලබා දීමේ කුමන්ත‍්‍රණයක් (ඞීල් එකක්) නිසා බවය. දෙමළ ජාතික සන්ධානය නම් ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඬුවම ගැන කෙළින්ම ප‍්‍රසාදය පළ කොට ඇත. 2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය.

යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමූහික දඬුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන් පෙනෙන්නේ මේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීනුත් අතර බෙදීමක් හැටියට බව නොවේද?

අගමැති රාජපක්ෂ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි.

.

Archive

Latest news

Related news