Sunday, May 5, 2024

අයි.පී. නිශාන්ත රටහැර යාම නිසා නඩු ගණනාවක් කොට උඩ යන ළකුණු

ඡායාරූපය: මාධ්‍යවේදී කීත් නොයර් පැහැරගෙන වධහංසා පැමිණවීම පිළිබද විමර්ශනය ද ඒ අතර වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර දේශපාලන රැකවරණ පතා ස්විස්ටර්ලන්තයට යෑම නිසා ඔහු විසින් විමර්ශනය කළ ප්‍රධාන පෙළේ නඩු ගණනාවක් අතර මඟ නතරවීමේ ඉඩක් ඇතැයි කොළඹ නීති ආරංචි මාර්ග කියයි.

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීම, කීත් නොයර් පැහැරගෙන ගොස් වධහංසා පැමිණවීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම සහ කොටහේන අවට තරුණයින් 11 දෙනෙකු කප්පම් ගැනීම පිනිස පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂන ඒ අතර වේ.

මෙයට හේතුව වශයෙන් සදහන් කරන්නේ විමර්ශන බාර නිලධාරියා විසින් මෙහෙයවිය යුතු සාක්ෂි වෙනත් නිලධාරියකුට මෙහෙයවීමට සිදුවීමත් අඩුම වශයෙන් අන්තර් ජාල තාක්ෂනය ඔස්සේ හෝ එකි නඩු වලදී සාක්ෂි දීමට ඔහු කැමැත්තක් ප්‍රකාශ කර නොමැති වීමයි.

ස්විස්ටර්ලන්ත දේ්ශපාලන රැකවරණ නිති අනුව ජීවිතාරක්ෂාව සඳහා ඔහුට සිය පදිංචිය රහසක් වශයෙන් තබාගත හැකි බවත් කියනු ලැබේ. මේ තාක් දුර නිශාන්ත සිල්වා පොලිස් සේවයේ හෝ එකී නඩුවලට සම්බන්ධ හෝ කිසිදු අයකු සමඟ කිසිදු තොරතුරු හුවමාරුවක නියැලී නැතැයි ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. ස්කයිප් තාක්ෂනය ඔස්සේ සාක්ෂි දීමට හැකියාවක් ඇති බැවින් ඔහුට තවමත් සිය විමර්ශණ සම්බන්ධයෙන්  යුතුකම ඉටුකළ හැකි බව ද එම ආරංචි මාර්ගම සඳහන් කරයි.

නිශාන්ත සිල්වා නොදන්වා සේවය අතහැර ගොස් ඇති බවට විත්ති පක්ෂය විසින් ඉදිරිපත් කරන්නට ඇති හේතුව මෙම නඩුවලදී ඔහු විසින් කරන ලද විමර්ශනයන්ට කෙසේ බලපානු ඇත්දැයි තවම පැහැදිළි නැති බව ද කියැවේ.

2006 වසරෙහි සිදු කරන ලද මිනීමරුමක් සම්බන්ධයෙන් දැනටමත් ඔහුට නඩු පවරා ඇති බැවින් නිශාන්ත සිල්වා යළි ශ්‍රී‍ ලංකාවට බාර දෙන සේ ඉල්ලා සිටින බව ආන්ඩුව කීවද තවම එවැනි ඉල්ලීමක් ස්විස්ටර්ලන්ත ආන්ඩුවෙන් කර නැත.

Archive

Latest news

Related news