Thursday, May 2, 2024

යහපාලන රථගාය (රු.ලක්ෂ): සිරිසේන 3,289; විජේදාස 790; රනිල් 420; විජයකලා 420; දිගම්බරම් 420; රවි 410; රාජිත 390; අමරවීර 350;

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක (රුපියල් ලක්ෂ 28,000) මුදලක් වැය කර ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරෙනි.

ඒ අනුව 2015 ජනවාරි 08 වැනිදා සිට පසුගිය ආණ්ඩුව කාල සීමාවේදී අමාත්‍යවරු අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 28,000ක මුදලක් වැය කර ඇති බව අනාවරණය විය.

එහිදී කැබිනට් අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් ලක්ෂ 16,500ක්ද, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් ලක්ස 6,528.5ක්ද, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5,649.9කද මුදලක්ද වැය කර තිබේ.

ඒ අනුව වැඩිම මුදලක් වැය කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

රජයට හිමිවිය යුතු බදු මුදල්ද ඉවත් කර ලක්ෂ 3,289ක් වටිනා වාහන 09ක් එලෙස ගෙන්වා ඇති අතර ඊට රුපියල් ලක්ෂ 1,510ක් වටිනා වෙඩි නොවදින රථ 02ක් සහ රුපියල් ලක්ෂ 1,040ක් වටිනා BMW X5 වර්ගයේ වාහන 02ක් ඇතුළත්.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

එමෙන්ම සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද රුපියල් ලක්ෂ 390ක් වැය කර ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා ඇත.

එමෙන්ම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතාට 2016 වසරේදී රපියල් ලක්ෂ 790ක් ගෙවා BMW 740 LE වර්ගයේ වාහන 02ක් ගෙන්වා ඇත.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ රවී කරුණානායක මහතා විසින් රුපියල් ලක්ෂ 410ක් වටිනා මර්සිඩීස් බෙන්ස් රථයක් ගෙන්වනු ලැබ තිබේ.

රුපියල් ලක්ෂ 420ක් වියදම් කර කාන්තා හා ළමා කටයුතු වියළි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විජයකලා මහේෂ්වරන් මහත්මිය ලෑන්ඩ් කෘසර් ඩීසල් වර්ගයේ ජීප් රථයක් ගෙන්ව ඇත.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම් මහතාද රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතා රුපියල් ලක්ෂ 420ක් වටිනා රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස් වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ටොයෝටා VDJ 200 R වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 430ක් වැය කර ගෙන්වා ඇත.

රුපියල් ලක්ෂ 420ක් වැය කර මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ සමයේ මහින්ද අමරවීර මහතා මර්සිඩීස් බෙන්ස් GLS 350 වර්ගයේ රථයට ගෙන්වා තිබේ.

මේ අතර අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හැරුණුකොට අනෙකුත් සියලුම අමාත්‍යවරුන් විසින්ද මෙම වටිනාකම්වලට සමාන වටිනාකම්වලින් යුත් වාහන රැසක් ගෙන්වා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණි.

එලෙස අධික මුදලක් වියදම් කර සුඛෝපභෝගී වාහන ගෙන්වා ඇති පැවති එජාප+ශ්‍රීලනිප ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් පිරිසක් මේ වනවිට වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේද ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු වී සිටිති.

මෙලෙම වාහන ගෙන්වීම පිළිබඳව පසුගිය එජාප+ශ්‍රීලනිප ආණ්ඩුව සමයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටි අතර ඒ නිසාම සමහර වාහන ආනයනය කිරීම් නතර කිරීමටද හැකි විය

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news