Sunday, May 5, 2024

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන මරා දැමු නඩුවෙන් නාවික හමුදා ලොක්කන් ‘ඉවත් කරන’ නියෝගයක්!

ඡායාරූප: මේ දරුවන් පැහැර ගැනීම වසන්ත කරන්නාගොඩ දැන සිටි බවට සාක්ෂි ඉදිරිපත් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන දෙදෙනාට එරෙහිව නීතිපති දෙපාර්ථමේන්තුව විසින් ගොනු  කර ඇති නඩු විභාගය සිය පරීක්ෂණය  අවසන් වන තුරු අත් හිටුවන ලෙස ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නියෝග කර තිබේ.

2008 සහ 2009 දී කප්පම් ගැනීම සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් 14 දෙනා අතර අද්මිරාල් කරන්නගොඩ සහ රියර් අද්මිරාල් දසනායක යන අය සිටිති. මෙම පැහැරගැනීම සහ ඝාතනයන් පිළිබඳව නඩු පවරන ලද්දේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වල ප්‍රතිපලයක් වශයෙනි. එමෙන්ම මෙම දරුවන්ගේ මාපියන් දිගින් දිගටම තමන්ගේ දරුවන්ට යුක්තිය ඉටු කරන සේ අනවරත උද්ඝෝෂනයක යෙදී සිටියහ.

දේශපාලන බලපෑම් මත පදනම්ව තමන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවට එම දෙදෙනා විසින් කරන ලද පැමිණිල්ලට නිසි අවධානයක් යොමු කර ඇති බව ජනාධිපති කොමිසම සිය විශේෂ ප්‍රකාශයෙහි  කියා සිටී.

2015 ජනවාරි 8 සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ රාජ්‍ය සේවකයින්ට දේශපාලන වශයෙන් හිංසා පීඩා කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස මුලදී ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම පත් කළේය.

ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවන විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න දිසා විනිසුරුවරයකු වශයෙන් සිටිය දී සිය මිතුරකු වූ සහ එවකට අගවිනිසුරු වූ සරත් සිල්වා බේරා ගැනීම පිනිස නීතිය අවභාවිතා කළ බවට වික්ටර් අයිවන් ‘ අධිකරණ නිදහසේ මළගම’ කෘතියෙහි දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ. එමෙන්ම සාමාජිකයකු වන එහි විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු දේශපාලන හේතූන් උඩ මහින්ද රාජපක්ෂට විරුද්ධව නඩුවක් පවරන ලදැයි සරත් සිල්වා ප්‍රමුඛ විනිසුරු මඩුල්ළක් විසින් වරදකරුවකු කරන ලද අයෙකි. ඔහු ඉන් පසු ජනාධිපති රාජපක්ෂගේ උපදේශකයකු බවට පත් වී ඔහුට සේවය කළේ ය.

කොමිසමට ලැබුණු පළමු පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වසන්ත කරන්නගොඩ සහ ඩී.කේ.පී. දසනායක විසිනි.

වසන්ත කරන්නගොඩ සහ ඩී.කේ.පී දසනායක ජනවාරි 22 වනදා කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමිසම ඒ පිළිබඳව ඊළඟ දිනයේම විමර්නශය ආරම්කභ කර සතියක් ඇතුළත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් ජනවාරි 9 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද නියෝගය අනුව කොමිෂන් සභාව වහාම සිය කටයුතු ආරම්භ කරන ලදී.

 

Archive

Latest news

Related news