Wednesday, May 8, 2024

සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා වැලිකඩ මිනිස් ඝාතන නඩුව බාර සීඅයිඩියට පත් කරයි.

වත්මන් අගවිනිසුරු නීතිපතිව සිටිය දී කරන ලද පරීක්ෂණකින් අනතුරුව කොළඹ සී.අයි.ඩී. මූලස්ථානයෙන් බැහැරට මාරු කරන ලද එවකට ජේෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු වූ මෙරිල් රංජන් ළමාහෝවා යළි අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මූලස්ථානයට පත්කර තිබේ. ඒ අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මිනීමැරුම් පිළිබඳ අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙනි.

2015 රනිල්-සිරිසේන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ඇවන්ගාඩ් පරීකෂණයේ දී හමුවූ ගිනිඅවි වල අංක මැකී ගොස් ඇත්තේ නෞකාවෙහි දී එකිනෙක හා ගැටීමෙන් යැයි ඉදිරිපත් කරන ලද වාර්තාවක් නීතිපති ජයන්ත ජයසූරිය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම පරීක්ෂනය බාරව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා යාපනයට තාවකාලිකව මාරු කරන ලදී. නීතිපතිවරයාගේ නිර්දේශය මත ඔහු මාරුකර යවන ලද්දේ අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වූ රවි සෙනවිරත්න විසිනි.

එම මාරුව අවලංඟු කරවා ගැනීමට ඇවන්ගාඩ් හිමිකාර නිස්සංක සේනාධිපතිගේ මිතුරකු වන එජාප මංත්‍රී වජිර අබේවර්ධන නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නට බලපෑම් කිරීමෙන් පසු, ඒ පිළිබඳව සටහනක් තබා මෙරිල් රංජන්ගේ මාරුව ස්ථිර කරන ලද බව කියැවේ.

භාරත ලක්ෂ්මන් ඝාතන පරීක්ෂනය අවස්ථාවෙහිදීත්  අපරාධ විමර්ශන අංශයේ තොරතුරු විත්තිකාර පාර්ශවයට ලැබීම පිළිබඳවද ප්‍රශ්ණ ගණනාවක් ඇතිව තිබුණේ ද එකළ ය.

මෙරිල් රංජන් ළමාහේවාගේ එක් වැඩිමහල් සහෝදරයකු වන බ්‍රිගේඩියර් නෙවිල් රංජන් ළමාහේවා හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරයි. මේ දෙදෙනාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ව යුද හමුදාවේ කටයුතු කළ අය වෙති.

දැන් අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවෙහි සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පත්කර ඇති මෙරිල් රංජන් ළමාහේවාගේ තවත් සහෝදරයකු වන්නේ වැළිකඩ බන්ධනාගාරයෙහි සමූහ ඝාතනය සිදුවූ අවස්ථාවෙහි බන්ධනාගාර අධිකාරී වූ එමිල් රංජන් ළමාහේවා ය.

මේ දිනවල විශේෂ මහාධිකරණයෙහි විභාග වන වැළිකඩ ඝාතන නඩුවෙහි දෙවන සැකකරැ වන්නේ එම එමිල් රංජන් ළමාහේවා ය. එම නඩුව මෙහෙයවන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ විමර්ශන දෙපාර්ථමෙන්තුවේ සහයෝගයෙනි. දැන් ඔහුගේ බාල සහෝදරයා එහි සහකාර පොලිස් අධිකාරීවරයෙකි.

මෙම ඝාතන නඩුවෙහි සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීම පැවරෙන්නේ ද අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවට ය. එම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ බාරව සිටින්නේ ද අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුව යි. එමෙන්ම මෙම නඩුවෙහි ඉතා වැදගත්  සාධකයක් වනු ඇති පරිවේණීය සාක්ෂි ඉදිරිපත් කළ යුත්තේ ද අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තු නිලධාරීන් විසිනි.

ඔහුගේ වැඩිමහල් සහෝදරයකු සම්බන්ධ නඩුව පවත්වාගෙන යන  අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙහි සහකාර අධිකාරීවරයකු ලෙස මෙරිල් රංජන් ළමාහේවා පත්කිරීම ශ්‍රී ලංකාවේ නීතියේ පාලනයට බලපෑමක් වනු ඇත්දැයි අදාළ පිරිස් විමසිල්ලෙන් බලා සිටින බව වාර්තා වේ.

මේ අතර වැළිකඩ සමූළ ඝාතන නඩුවෙහි වින්දිත පාර්ශවය වෙනුවෙන් තීරනාත්මක කාර්යභාරයක් ඉටුකරමින් සිටින සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවෙහිසභාපති සේනක පෙරේරාට විරුද්ධව පොලීසිට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පසුගිය 02දා බොරුල්ල පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත වාර්තාවන අන්දමට මෙම පැමිණිල්ලෙහි කිසිදු සත්‍යතාවයක් නැත. දිවයින පුවත්පතෙහි කුලී ලියන්නකු වන සමන් ගමගේ විසින් කරන ලද පැමිණිල්ලක් මත ද නීතිඥ සේනක පෙරේරාට විරුද්ධව නඩු විභාගයක් ද පැවැත් වේ.

 

©SLB

 

 

 

Archive

Latest news

Related news