Monday, May 20, 2024

මාධ්‍යවේදීන්ට පහරදීම් දෙකක්; නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී!

අධිකරණ වාර්තාකරුවන්ට බාධා කිරීම හා ඡායාරූප මාධ්‍යවේදීන්ට පහරදීම හෙළා දකිමු

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ වාර්තාකරණයෙහි නියැලෙමින් සිටි මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසිය හා විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් සිදු කළ බාධා කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම් පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වා යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙස අදාල බලධාරින් ගෙන් දැඩිව ඉල්ලා සිටී.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා දෙසැම්බර් 18 වනදා රාත්‍රියෙහි කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට සිය වාර්තාකරණයේ යෙදීම අවහිර කරමින් පොලිසිය ක්‍රියාකර ඇති අතර පසු දින (19) මන්ත්‍රීවරයා එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව වාර්තා කිරීමට ගිය ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ මංජුල පෙරේරා නමැති අයගේ පහර කෑමට ගොදුරු වි තිබේ. එම ප්‍රහාරයට ලක්වු ලේක්හවුස් ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනා ගෙන් එක් අයෙක් රෝහල් ගතව නේවාසික ප්‍රතිකාර ලබන අතර කෙසෙල්වත්ත පොලිසිය පහරදීමට වගකිව යුතු අය අත්අඩංගුවට ගෙන පරික්ෂණ පවත්වන බව වාර්තාවේ.

දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් තොරව මෙම සිදුවීම් දෙක පිළිබඳව පරික්ෂණ පවත්වා අගතියට පත් මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

මෙම අවස්ථා දෙකේදීම අවහිරව තිබෙන්නේ ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතියයි. එය නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. එබැවින් මෙම තත්ත්වය කෙරෙහි දැඩි අවධානය යොමු කොට යළි මෙවැනි සිදුවීම් ඇති නොවිමට වගබලා ගැනීම රජයේ සහ අදාල වගකිවයුතු අංශ වල මෙන්ම විපක්ෂය ඇතුලු සියලු දේශපාලන බලවේග වලද වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටි.

2019-12-20/මාධ්‍ය නිවේදනය

මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්නට සිය වෘත්තීයට බාධා කරමින් කරන ලද පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි.

අප වෙත වාර්තා වි ඇති ආකාරයට දෙසැම්බර් 19 වන දින මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයකට එරෙහිව ගම්වාසීන් විසින් දක්වන ලද විරෝධතාවයක් වාර්තා කරමින් ඡායරූප ගත කළ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතාට එම ටිපර් රථයේ සිටි පුද්ගලයකු විසින් පහර දි ඇත.මෙම පහර දීම නිසා ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතා ගේ කැමරා ආම්පන්නවලට ද අලාභ හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතුවලට බාධා කිරීමේ සිද්ධි මාලාවට තවත් එකතුවක් වන මෙම සිද්ධියත් සමඟ ජනමාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම ශ්‍රී ලංකික සමාජයේ ඇතැම් කොටස් වල සමාජ විරෝධි චරියාවේ අංගයක් බවට පත් කොට ගෙන ඇති බව පෙනී යයි. මෙවැනි තත්ත්වයක් වර්ධනය වීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පැවැත්මට අතිශයින්ම හානිකරය. පුරවැසියන්ට තීන්දු තීරණ ගැනීම පිණිස තොරතුරු නිවැරදිව වාර්තා කිරීම කරන ජනමාධ්‍යවේදීන්ට අවහිර කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිසේත්ම අනුමත නොකරයි.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයට බාධා කරන තැනැත්තන් නීතිය ඉදිරියට කඩිනමින් ඉදිරිපත් කොට යුක්තිය ඉටු කරන ලෙසත් නිදහස් මාධ්‍ය සංස්කෘතියක් පවත්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම ශක්තිමත් කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු බලධාරින්ගෙන් තරයේ ඉල්ලා සිටි.

2019-12-20/මාධ්‍ය නිවේදනය

 

Archive

Latest news

Related news