ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ මධුක තක්සල ප්‍රනාන්දුට ලේක්හවුසිය තුලදී පහර දී මරණ තර්ජන කරයි.

513

ලේක්හවුසියේ ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ සහ ‘මාධ්‍යවේදියා’ නම් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මධුක තක්සල ප්‍රනාන්දුට ලේක් හවුසියේ පොහොට්ටු වෘත්තීය සමිතියේ සභාපති ඇතුලු පොහොට්ටු මැරයන් විසින් කෲර ලෙස පහර දී මරා දමන බවට තර්ජන කර තිබේ.

සිද්ධිය වී ඇත්තේ අද(10) සවස ලේක් හවුසිය තුල දී ය. මැර ප්‍රහාරය එල්ල කර මරණ තර්ජන කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ලේක්හවුස් වෘත්තීය සමිතියේ සභාපති චන්දන බණ්ඩාර, ලේක්හවුසියේ සේවකයන් වන හේමන්ත ඩෙප්, ගයාන් බණ්ඩාර, චමීර ඇල්දෙනිය, නුවන් කොඩිකාර, ලේක්හවුස් දැන්වීම් අංශයේ සංජීව පද්මකුමාර, අනුර කුමාර ඇතුළු 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසකි.

බ්‍රිතාන්‍යයේ නව මාධ්‍ය පිළිබඳ උපාධිධරයෙකු වන මධුක එහි රැකියාව අතහැර ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය රජයේ ආරාධනාව පරිදිය. පසුව ඔහු ජාතික රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක රැකියාව කළ අතර ලේක්හවුසියේ ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණ. නොවැ 16 දා ආණ්ඩුව පරාජයට පත් වූ බැවින් මධුක 18 දිනයේම තම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ලේක්හවුස් බලධාරීන්ට යොමු කෙළේය. ඉල්ලා අස්වීම බාර දුන් නමුත් ඔහු දෙසැම්බර් 31 දක්වා රැකියාවට යා යුතුය. ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන්නේ 31 න් පසුව ය. අද ඔහු ලේක්හවුසියට ගොස් ඇත්තේ ඒ අනුවය.

ලේක්හවුසියට ගිය ඔහු ‘රැස’ පුවත් පත් කර්තෘ මණ්ඩල අංශයේ සිටිය දී එහි කඩා වැදුනු ඉහත කී මැර පිරිස ඔහුව ඉන් එළියට ගෙන සීසීටීවී නොමැති වැසිකිළි ප්‍රදේශයකට ඇදගෙන ගොස් පහර දෙන අතරේ ‘තොට කටින් කතා කරලා වැඩක් නෑ මෙහෙම තමයි කතා කරන්න ඔ්නෑ’ යි බැන වැදී ඇති අතර  ‘තෝ ආයිත් ලේක්හවුස් පැත්ත පළාතක ආවොත් මරා දමනවා‘ යි  මරණ තර්ජන කර තිබේ.

මෙම පහරදීම පිළිබද මධුක ප්‍රනාන්දු විසින් ‌ලේක්හවුස් අධිකාරිිි ‌වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

ලංකා ඊ නිව්ස් ඇසුරෙනි.

රැස පුවත් පත් කාර්යාලයේ සිට වැසිකිළි ප්‍රදේශයට ඇද ගෙන යන ආකාරය සීසීටීවී කැමරා වල සටහන් වී ඇති අතර එවැනි සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.

මධුක තක්සල විවෘත බයිපාස් සැත්කමකට මුහුණ දී සිටින හෘද රෝගියෙකි. ප්‍රහාරයෙන් භීතියට පත්ව සිටින ඔහුගේ රෝගී තත්ත්වයද උත්සන්න වී ඇත. ප්‍රහාරය පිළිබඳ ඔහු කොටුව පොලිසියට පැමිණිලි කර ඇති අතර ලේක්හවුස් සාමාන්‍යාධිකාරී වරයාට ද ලිඛිතව පැමිණිලි කර තිබේ. (පිටපත් ‌මෙහි දැක්වේ) මේ දක්වා කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.